Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සියනෑ කෝරළය ආලෝකවත් කරන රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහර

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කර ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවීම සහ අපට අදීන සංස්කෘතියක් උරුම කරදීම අනුස්මරණය කිරීම් වස් රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහාවිහාරස්ථ ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය මගින් 82 වන වරටත් පවත්වනු ලබන රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහර 2010 ජුනි මස 24 වැනි දා රාත්‍රි අත්‍යාලංකාරයෙන් වීථි සංචාරය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් ව තිබේ.


කලුගල
සෝරත නා හිමි

මිහිඳු මහාරහතන් වහන්සේගේ ලංකාගමනය සිංහල ජාතිය පිළිබඳ ශ්‍රේෂ්ඨතම දිනයකි. බුදුදහම සිංහල ජාතියට අමුතුම ප්‍රාණයක්, ජීවයක් ලබා දුන් බව සත්‍යයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ආදී කතෘවරයාවූයේ මිහිඳු මහා රහතන් වහන්සේය.පොසොන් පොහොය සිංහල ජාතිය දීප්තිමත් වූ දිනයකි. පොහොසත් වූ දිනයයි. බුද්ධිමත් වූ දිනයයි. අපේ රටේ ලොකුම සම්පත බුදු දහමයි. එවැනි අනගි සම්පතක් අපට දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේගේ අපරිමිත ගුණ සිහිකිරීම සඳහාත්, කෘතගුණ සැළකීම පිණිසත් 1928 වූ ජුනි මස 15 වනදා ශ්‍රී බලාභිවෘද්ධි වර්ධන සමිතිය මගින් මල් පෙරහරකින් මෙම පූජෝත්සවය ආරම්භ කරන ලදී. වල්පොල ශ්‍රී විමලරත්නාරාමයේ සිට වල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ආපසු විහාරස්ථානයට ගෙවදුණු එම පෙරහර අද වන විට ලංකාවේ පවත්වනු ලබන පොසොන් පෙරහර මෙන්ම අන් පෙරහර අතරද සුවිශේෂි ස්ථානයක් ගනී. මුළු පළාතේම සියලු දෙනා ඒකරාශී කරගෙන මේ සත්ක්‍රියාව සිදුකිරීම විශේෂත්වයකි.

1928 වල්පොල ශ්‍රී විමලරත්නාරාමයේ වැඩ විසූ හතරලියැද්දේ සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත ආරම්භවූ “වල්පොල සංගමය” වර්තමානය වනවිට ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය නමින් ප්‍රචලිතය. 1930 වකවානුවේ ලාංකීය සමාජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ආගමික ව්‍යාපාර ආරම්භවූ යුගයකි. ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල උණුසුම ගමට ද දැනුනු කාල පරිච්ඡේදයයි. වල්පොල පොල් පිතිමූකලාන ගම්වල ජීවත්වූ ප්‍රභූ පිරිස් විසින් බාල පරම්පරාව නිවැරැදි මඟට යොමු කිරීම සඳහා වල්පොල සංගමය ආරම්භ කළ අතර, වර්තමානයේ අපගේ සංස්කෘතිය ආරක්‍ෂා කරනු, විධිමත් ආයතනයක් බවට එය පත්ව ඇත.

උඩරට, පහතරට, සබරගමු නැටුම් වලින් අලංකෘත, අලි ඇතුන් රාශියක් පෙරටු කරගත් ත්‍රිවිධ රත්නය සංකේතවත් කරමින් අංශ තුනකට බෙදා වීථි සංචාරය ආරම්භ කරන වල්පොල පොසොන් පෙරහර ග්‍රාමීය මංපෙත් ඔස්සේ ගමන් කරන හැම දනන් තුඩ රැව් දෙන සදා මතකයේ රැදෙන එකම සංස්කෘතික මංගල්‍යයයි. පෙරහර වෙනුවෙන් මඟ දෙපස දන්සල් පැවැත්වීමද විශේෂත්වයකි.

වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් විහාරාධිපති පුත්තලම් – හලාවත දෙදිසාවේ සහ දකුණු අලුත්කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍ර විශාරද කලුගල සෝරත නා හිමිපාණන් වහන්සේගේ මූලික අනුශාසනා සහ දේශප්‍රේමී භික්‍ෂු පෙරමුනේ සභාපති අලුත්කුරු කෝරළේ උප ප්‍රධාන සංඝනායක රාගම ඉහළගම ශ්‍රී අගනාරාමාධිපති තුරුවිල විමලධම්ම නාහිමිපාණන් අමරපුර අරියවංශ ශ්‍රී සද්ධම්මයුත්තික මහා නිකායේ ලේඛකාධිකාරී පෑලියගොඩ ගංගාරාමාධිපති, ආචාර්ය වල්පොල විමලඤාණ හිමිපාණන් ඇතුළු ප්‍රදේශයේ සියලුම විහාරස්ථාන වල නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත පැවැත්වෙන එම පෙරහර ජුනි මස 24 වැනි දින සවස 4.30 ට පැවැත්වෙන උත්සව සභාවෙන් ආරම්භවේ.

මෙවර පෙරහර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමාය. ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක බැසිල් රාජපක්‍ෂ මැතිතුමා, සමාජසේවා අමාත්‍ය පීලික්ස් පෙරේරා මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු, මන්ත්‍රීවරු, පළාත්සභා මන්ත්‍රීවරු යන විශාල ප්‍රභූ® පිරිසක් සහභාගි වෙති.

ශ්‍රී ඝණ සුගත තථාගත සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය සදා කාලයෙන් සදාකාලයට හිරු සඳු පවතිනතුරු අනුස්මරණය කරමු. වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහර දිගුකල් වැජඹේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.