Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර පොසොන් සති පිරිත 21 දා ඇරැඹේ

අනුරාධපුර පොසොන් මහා සති පිරිත් පින්කම මෙවර ද ජූනි මස 21 දින සිට 19 දින දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස මහමෙවුනා උයනේ විශේෂ පිරිත් මණ්ඩපයේ දී පැවැත්වේ.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත සති පිරිත් පින්කම් කමිටුව මඟින් මෙය සංවිධානය කර ඇත.

ඒ අනුව ජූනි 21 වැනි දින පස්වරු 04.00 ට ඉසුරුමුණි රජමහා විහාරස්ථානය අසළින් පටන් ගන්නා පැන් පෙරහර මහ බෝ සමිඳුන් වෙතට පැමිණෙනු ඇත. එදිනම පස්වරු 06.30 ට මහ විහාර මළුවෙන් ආරම්භ කරන මල් පෙරහර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් දක්වා ගමන් කර නැවත බෝ මළුවට ළඟා වේ.

රාත්‍රී 09.30 ට සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ පිරිත් මණ්ඩපයට වැඩම කරවා පිරිත් පේ කිරීම සිදු කෙරේ.

ජූනි 22 සිට 26 දක්වා මහ පිරිත් දේශනාව දිවා රාත්‍රී පවත්වා 27 වැනි දින සූත්‍ර දේශනාව පවත්වනු ඇත. ජූනි මස 28 දින අලුයම 05.00 ට තිසාවැව තානායම් භූමියේ සිට දේවාල තල්පත වැඩම කරවා පෙරවරු 09.00 ට දේවාල තල්පත කියවීම හා විහාර අධි දේශනාව පැවැත්වීම සිදුවේ.

එදින පස්වරු 03.00 පිරිත් පැන් වැඩම කරවීම හා දේවදූත පෙරහර වීදි සංචාරය කරවා පස්වරු 06.30 ට මල් පෙරහර පැවැත්වේ.

රාත්‍රී 09.00 ට දොරකඩ අස්න අනුශාසනාව පවත්වනු ඇත. පසුදින එනම් 29 දින අලුයම 05.30 ට බැතිමතුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා දී දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමෙන් 2010 පොසොන් සති පිරිත් මහා පින්කම නිමාවට පත්වනු ඇත.

මෙවර පොසොන් උළෙලට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සහිත පූර්ණ ආරක්‍ෂාව සකසා ඇතැයි පිරිත් පින්කම් කමිටුව වෙනුවෙන් අනුරාධපුර මහ දිසාපති එච්.ඇම්.කේ. හේරත් මහතා පැවසී ය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.