Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැදගත් ඓතිහාසික සංසිද්ධියක්

1891 දී මහාබෝධි සමාගම ආරම්භ කිරීමෙන් පසු, ඇතැම් විට එවක ඉංගිරිසි භාෂාවෙන් පළ කරන ලද එක ම අන්තර් ජාතික බෞද්ධ සඟරාව වන  Maha Bodhi journal 1892 දී පටන් ගන්නා ලද්දේ අනගාරික ධර්මපාල නම් වූ විසිහත් හැවිරිදි වීර සිංහල තරුණයා විසිනි. එවක දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාත්මික ආදි හැම අතින්ම ලෝකය අදට වඩා ඉඳුරාම වෙනස් මුහුණුවරක් ගත්තේ ය.

ආසියාවේ බෞද්ධ රටවල් ගණනාවක් ම විදේශික බලයට නතුව පැවතිණ. ඒ බලවේගය බුදුදහමට අනුකම්පා විරහිතවූත්, අන්තවාදී ලෙස විරෝධ සහගත වූත් එකක් වූයේ ය. සිලෝන් නමින් හැඳින්වුණු බිත්‍රාන්‍ය යටත් විජිතය විසින් බුදුදහම සහ බෞද්ධ සම්ප්‍රදායයෝ පහත්කොට සලකන ලද්දෝ ද කූට ලෙස යටපත් කරන ලද්දෝ ද වූහ.

පරගැති මෝස්තර ව්‍යවහාර, ආචාරවිධි සහ පරගැති නම් ගම් පවා භාවිතයෙහි තහවුරුව පැවතිණ. බෞද්ධ භික්ෂුව පවා කොන් කර දමා තිබුණු අතර ඔවුන් සතු සියලු සමාජයීය අධ්‍යාපනික සහ අධ්‍යාත්මික වගකීම් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන් විසින් ඩැහැගෙන තිබුණි. ඒ ඔස්සේ බෞද්ධයෝ අසරණ බවට පත්ව සිටියෝ ය. 1880 දී ඔවුන්ගේ වහර අනුව සිලෝන් නම් යටත් විජිතයට පැමිණි විශිෂ්ට ඇමරිකානු පරම විඥානාර්ථවාදියා වූ සෙන්පති එච්. එස්. ඕල්කට් ගාල්ලේදී තිසරණ හා පන්සිල් සමාදන්ව තමා බෞද්ධයකු වූ බව ප්‍රකාශ කළේය.

එතැන් සිට ඔහු බුදුදහම, බෞද්ධ සංස්කෘතික සහ බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය පිණිස සේවාව කරන්නට පටන් ගත්තේ ය.

ඉක්බිති ඔහු එවක පුරෝගාමී මහ තෙරවරුන්ගේ ද දිරි ගැන්වීමෙන් කොළඹ, බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම පිහිටුවා එමඟින් දිවයින පුරා බෞද්ධ පාඨශාලා සිය ගණනක් ආරම්භයට පදනම දැමී ය. එදා ඒ යටත් විජිතයේ කොළඹ ආරම්භ කරන ලද ආනන්ද විද්‍යාලය අදටත් නිදහස් ශ්‍රී ලංකාවේ පුරෝගාමී විශිෂ්ට බෞද්ධ විද්‍යාලයක් ලෙස නැඟී සිටී.

මේ අතර හණික ඕල්කට් විසින් ආකර්ෂිත එවක සොළොස් වියැති ඩේවිඩ් හේවාවිතාරණ ද ඕල්කට්ගේ ව්‍යාපාරයට ඇදී ගියේ ය. යටත්විජිත ලංකාවේ ගම් නියම්ගම් පුරා වසර ගණනාවක සමාජයීය, අධ්‍යාපනික සහ ආගමික සේවාවකින් පසු පොදු මහ ජනතාවගේ දුක්බර තත්ත්වය වටහා ගත් ඩේවිඩ් හේවාවිතාරණ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ මාතෘභූමිය සහ අපේ අත්‍යන්තයෙන් කීර්තිමත් බුදුදහම ආරක්ෂා කර ගැනීමට කැපවිය හැකි ජාතික වීරයන් වුවමනා වෙති යි තීරණය කළේ ය.

1886 දී දෙවිසි හැවිරිදි ඩේවිඩ් හේවාවිතාරණ ලෞකික බලාපොරොත්තු අතහැර සිය ජීවිතය පරාර්ථ සේවාව වෙනුවෙන් කැප කරනු පිණිස අනගාරික වන්නට සිය මවුපියන්ගෙන් අවසර ලබා ගත්තේය. ඒ අනුව ඔහු සිය පාරම්පරික නම් අත් හළේ ය. ඒ වෙනුවට ධර්මයේ පාලකයා හෙවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම වන ධර්මය, එනම් ධර්මිෂ්ඨත්වයේ නීතිය යන අර්ථයෙන් ධර්මපාල යන නම තෝරා ගෙන ගිහි ජීවිතයෙන් වියුක්ත අර්ථයෙන් අනගාරික බවට පත්ව අනගාරික ධර්මපාල නමින් පෙනී සිටියේ ය. එතැන් සිට ඉදිරියට අනගාරික ධර්මපාල තෙමේ සිය මුළු ජීවිතයම බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුකූලව මානව සංහතියේ සන්තුෂ්ටිය පිණිස කැප කළේ ය.

ධර්මපාල විදේශික පාලකයන් ඉදිරියේ වකුටු නොගැසෙන ලෙසත්, නමුත් අභිමානයෙන් සෘජුව කෙළින් සිටින්නට, දුරාචාරාත්මක පරගැති පුරුදු සහ හැසිරීම් අත් හරින්නට සිය මාතෘ භූමියට සහ සිය සංස්කෘතියට ආදරය කරන්නට, පොදු ජනතාවගේ යහපත පිණිස වෙහෙස නොබලා වැඩ කරන්නට සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන්නටත් ජනතාවට දේශනා කරමින් ගමින් ගමටත් නගරයෙන් නගරයටත් ගියේ ය. ඔහු දේශනා කළේ, සියවස් විසි එකකට පමණ පෙර දුටුගැමුණු සමයේ මුල පුරන ලද ආගමික, ජාතිකත්වය වැන්නකි.

එය ඔහු කළේ, විදේශීය පාලක පැළැන්තියක් විසින් සියවස් කීපයක් තිස්සේ තාඩන පීඩන වලට ලක් කරනු ලැබ, හෙම්බත්ව නිදිකිරා වැටෙන ජන සංහතියක් පුබුදුවා, නඟා සිටුවනු පිණිස ය. එමඟින් ඔහු මිනිස් හදවත් තුළට ආත්ම අභිමානයක් සහ ආත්මගරුත්වයක් එන්නත් කළේ ය.

ධර්මපාලතුමා විසිහත් හැවිරිදි කල්හි පළමු වරට ඉන්දියාවට ගියේ ය. එකල්හි බුදුදහම මුළුමනින් ම වාගේ බුදුන් වහන්සේ උපන් දේශයෙන් අතුරුදන්ව තිබිණි.

ඒ වන විට බුදුදහම සිය මාතෘ දේශයෙහි වසර අටසියයක් තරම් කලක් අමතකව ගියා සේ විය. බුදුන් වහන්සේගේ ජීවිතය සමඟ සබැඳුණු පූජ්‍යස්ථාන නටබුන්ව මතකයෙන් ඈත්ව ගොස් තිබිණ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උපරිම අවබෝධයට පත් හෙවත් බුද්ධත්වය ලැබූ තැන සේ සැලකෙන බුද්ධගයා විහාරයේ කනගාටුදායක තත්ත්වය දුටු කල්හි ධර්මපාල තැති ගත්තා සේ විය.

ඔහුගේ හදවත ඉරිතලා ගියේ ය. එකල්හි බුද්ධගයාව හින්දු මහන්තා (නායක පූජකයා) සතු සම්පතක් විය. එහි පැරණි බුදුපිළිමය අබියස දණ ගසා ගත් ධර්මපාල බුද්ධගයාව සහ වෙනත් පූජ්‍යස්ථාන බෞද්ධයනට ආපසු ලබා ගන්නට සහ බුදුදහම ඉන්දියාවට නැවත හඳුන්වා දෙන්නට සහ ප්‍රචාරය කර ව්‍යාප්ත කරන්නටත් ස්ථාවර අධිෂ්ඨානයක පිහිටියේ ය.

මේ බලවත් අධිෂ්ඨානය සමඟ 1891 මැයි මස ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ධර්මපාල මහාබෝධි සමාගම පිහිටුවා ඊළඟ වසරේදී මෙහි කලින් සඳහන් කරන ලද  Maha Bodhi journal සඟරාව ආරම්භ කළේය.

ඉක්බිති 1893 දී ධර්මපාල චිකාගෝහි පැවති ආගම් පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තුවට සහභාගි වූයේ ය. එහිදී ඔහු ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ ඇදහිය නොහැකි තරම් කඩිනමිනි. මහාබෝධි සමාගමේ ඉලක්කය වූයේ බුදුදහම තවදුරටත් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පමණක් කොටුකර තබා ගන්නට නොවේ. ඔහු බුදුන් වහන්සේගේ පණිවිඩය ලොවපුරා සන්නිවේදනය කරමින්, ලොව වටා කීප වරක් සංචාරය කරන අතර ආසියාව, යුරෝපය හා ඇමරිකාවේ බොහෝ රටවල මහාබෝධි සමාගමේ ශාඛා ද පිහිටුවා ගෙන ගියේ ය.

අනගාරික ධර්මපාල යුරෝපය සහ ඇමරිකාවේ බුදුදහම ව්‍යාප්තියට කාර්ය සම්පාදනය කළා පමණක් නො ව, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ ධර්මදූතයන්ගෙන් කෙනෙකු බවට පත් වෙමින් එහිලා පුරෝගාමියා ද වූයේ ය.

ධර්මපාල, බුදුන් වහන්සේ නැවත හඳුනා ගන්නට හා බුදුදහමින් යළිත් අභිමානයට පත් වන්නට සහ ඉන්දියාවෙන් මානව සංහතියට ප්‍රදානය කළහැකි ශ්‍රේෂ්ඨතම දායාදය බෞද්ධ සංස්කෘතිය බවත් ලොවට හඬ ගා කියන්නට මඟ පාදා දුන්නේ ය.

එබැවින් අද බුදුදහම යළිත් ඉන්දියාව තුළ පිළිගත් ආගමක් ලෙස හඳුනා ගෙන ඇත. බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිකරන වෙසක් දිනය අද ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබේ. අද ඉන්දියාවේ ජාතික කොඩියේ ධර්මචක්‍රය සංකේතවත් වෙයි. බෞද්ධ අධිරාජ අශෝකයන්ගේ කුලුණේ සිංහ ලකුණ ඉන්දියානු සමූහාණ්ඩුවේ නිල මුද්‍රාව වෙයි.

කාලාන්තරයක් පාළුවට ගොස් තිබී අද සමෘද්ධිමත් තත්ත්වයට පත්ව තිබෙන ලුම්බිණි බුද්ධගයා, සාරානාත්, කුසිනාරා සාංචි සහ ඉන්දියාවේ තවත් නන්විධ බෞද්ධ පූජ්‍යස්ථාන ලොව පුරා සිය දහස් ගණන් ජනතාව විසින් දැක වැඳපුදා ගනු ලැබ නරඹන්නට ලැබීම අනගාරික ධර්මපාලගේ පරම ප්‍රයත්නයේ සෘජු ප්‍රතිඵලයක් වන්නේ ය.

Maha Bodhi journal සඟරාව සියවසක් පුරා මහබෝධි සමාගමේ විශ්වාසවන්ත සාමාජිකයා ද නියෝජිතයා ද ප්‍රකාශකයා සහ මහජන සම්බන්ධතා නිලධරයා ද බවට පත්ව සිටී.

එබැවින් ශත සංවත්සර උත්සවයේ අංගයක් සහ හුදෙක් සඟරාවට ගෞරවයක් වශයෙන් යන දෙකම ගැන සලකා පැරණි ප්‍රකාශන වලින් උපුටා ගන්නා ලද ලිපි සියයක් ඇතුළත් විශේෂ වෙළුමක් ප්‍රකාශයට පත් කරන්නට තීරණය කර ඇත.

මෙහිදී සංගමයේ ජයග්‍රහණයන් සඳහා නොයෙක් හැටියෙන් දායකත්වය සපයා ඇති සියලු රටවල් සහ අංශ නියෝජනය වන පරිදි හවුල් කර ගන්නට හැම උත්සහායක් ම දැරූ බව සඳහන් කළ යුතු යි.

නොවැළැක්විය හැකි සියලු අඩුපාඩුකම් සහ අතපසුවීම් ගැන නොසලකා, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, මහාබෝධි ශතසංවත්සරයේ හැම අංශයක් ම සාර්ථකවත් ජයග්‍රාහිවත් සංවිධානය කර ගන්නට ලැබේවා යි තරයේ බලාපොරොත්තු තබමු. ප්‍රාර්ථනා කරමු.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

(මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල හිමියන් විසින් Maha Bodhi journal සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස An Event of history මැයින් සැපයුණු ලිපියේ පරිවර්තනයකි. Mahabodhi Centenary Commemorative Volume SAMBHASHA සඟරාවෙන් උපුටා ගැනිණි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.