Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයම අමාවක් කරන මෙත් සිත

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

ලෝකයේ සිටින විවිධ ජන වර්ගවලට අයත් බොහෝ දෙනෙකු මේ තත්ත්වය හරි හැටි අවබෝධ කරගෙන තිබීමක් තබා දැනගෙන නොසිටීම ද පුදුම සහගත කරුණකි. නමුත් බුදුදහම තුළින් එය මැනවින් පෙන්වා දී තිබීම නිසා මෙම ලක්ෂණත්‍රය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයා බුදු සමයේ බෞද්ධයෙකු ලෙස හඳුන්වා ඇත.

‘අප්පගබ්භො’ යන්නෙන් දැක්වෙන්නේ ප්‍රගල්භ නොවීම හෙවත් දඩබ්බර නොවීමයි. දඩබ්බර හැසිරීම් ඇති පුද්ගලයන් එදත් අදත් ගිහි පැවිදි දෙපාර්ශවය අතරම සිටිනු දක්නට ලැබෙයි. දඩබ්බර ගති ඇති පුද්ගලයන් තම ඉරියව් පවත්වන්නේ ඉතාම නොහික්මුණු ස්වරූපයෙනි. ඔවුන් ආහාරපාන ගැනීමේදීත් ගමන්බිමන් යෑමේදීත් පෙන්වන්නේ, ඉතාම අසංවර, නොහික්මුණ හා දඩබ්බර ලීලාවකි. එවැනි ස්වභාව ඇති පුද්ගලයන්ට කිසිවිටකත් බෞද්ධයකු විය නොහැකි ය.

‘කුලෙසු අනනුගිද්ධො’ කුමන හේතුවක් නිසාවත් කවර තැනකවත් නොබැ‍ෙඳන පුද්ගලයා සැබෑ බෞද්ධයෙකි. සමාජයේ ජීවත්වන සාමාජිකයෙක් ලෙස සෙසු පුද්ගල කණ්ඩායම් වලට තමන්ගෙන් වියයුතු යුතුකම් ඉටුකරනු මිස කිසිවිටකත් කිසිම පුද්ගලයකු සමග සීමාන්තිකව නො බැ‍ෙඳයි. එම බැඳීම තුළ ගිජුකමක් නොදක්ව යි. එහෙත් සමාජයේ ජීවත්වන සාමාජිකයකු ලෙස ඉටු කළ යුතු සියලු දේ මැනවින් ඉටු කරයි. එහෙත් එම පුද්ගලයා සැබෑ බෞද්ධයකු විසින් නොකළ යුතු කිසිවක් කිසිවිටක නොකිරීමට ද වගබලා ගනියි.

‘නච ඛුද්දං සමාචරෙ කිඤ්චියේන විඤ්ඤුපරෙ උපවදෙය්‍යුං’ යනු ඤාණවන්ත මිනිසුන් විසින් නිග්‍රහ කරන දෝෂාරෝපණයට ලක් කරන යමක් වෙයි නම් ඒ කිසිවක් නොකර සිටීම ද බෞද්ධයාගේ ලක්ෂණයක් වෙයි. ඤාණවන්තයින්ගේ පැසසුමට ලක්වීමට නම් පුද්ගලයා කළ යුත්තේ ‘සබ්බේ සත්තා භවන්තුසුඛිතත්තා’ සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් ආත්ම ඇත්තෝ වෙත්වා කියා ප්‍රාර්ථනා කිරීම යි. එසේ මෙත්සිත් පැතිරවීම ආරම්භ කළ යුත්තේ තමන්ට තමන්ම පළමුව මෛත්‍රී කිරීමෙනි. පසුව තමන්ට මැදහත් සිත් ඇත්තවුන්ටත්, හිතවත්ව සිටින අයටත්, අහිතවත් අයටත් මෛත්‍රිය පැතිරවිය යුතුය. එසේම මුළු ලෝකවාසී සියලු වර්ගයන්ට අයත් සතුන්ටද එම මෙත් සිත පැතිරවිය යුතුය. මෙම මෙත් පැතිරවීම කෙතරම් සියුම්ව දක්වා තිබෙන්නේදැයි භයින් ත්‍රස්ත වූ නිර්භවය සිටින දීර්ඝ ජාති ඇති මහත් සිරුරු ඇති, මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇති, මිටි සිරුරු ඇති, ඉතා සියුම් සිරුරු ඇති, ස්ථූල සිරුරු ඇති, ඇසට පෙනෙන, නොපෙනෙන, දුර වෙසෙන, නුදුරෙහි වෙසෙන, ඉපදීම අවසන් කළ සත්ව කෙනෙක් වෙයි ද ඉපදීම සොයන සත්ව කෙනෙක් වෙත් ද යන සියලුම සත්ව වර්ගවලට මෛත්‍රිය පැතිරවිය යුතු බව පැහැදිලිව පෙන්වා තිබීමෙන් තහවුරු වෙයි.

මෙලෙස ඉතා සියුම්ව මෛත්‍රිය පැතිරවිය හැකි බව පෙන්වා දෙන මෙම සූත්‍රය හිතින්වත් වචනයෙන්වත් කිසිවෙකුටත් ආක්‍රෝෂ පරිභව නොකළයුතු බවත්, සතුරුකම් නොකළයුතු බවත් පෙන්වා දෙන අතර මෙම මෛත්‍රී සහගත සිතිවිල්ල දිගින්දිගට වැඩීමනිසා එය කර්මස්ථානයක් බවටද පත්කරගත හැකිවෙයි. එවිට පුද්ගලයා තුළ ඇති තණ්හා, දිට්ඨි, හා මාන යන චෛතසික තත්ත්වයන්ගෙන් වෙන්ව කටයුතු කළ හැකි නිසා ‘තිට්ඨං චරං නිසින්නොවා සයා නොවා යාවතස්ස විගතමිද්ධො’ යාම් ඊම්, ඉඳුම් හිටුම්, නිදා ගැනීම් යන සතර ඉරියව්වේදීම මෙත්සිත පැතිරවිය හැකිය. පුද්ගලයා තුළ ඇතිවන එම තත්ත්වය හඳුන්වන්නේ ‘බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු’ යනුවෙනි. එකී බ්‍රහ්ම විහාරි පුද්ගලයා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන උසස් හැසිරීම් වලින් ද යුක්ත වෙයි. මිත්‍යාදෘෂ්ටියෙන්ද වෙන්වන මෙම පුද්ගලයා ශීලයෙන් යුක්තව කටයුතු කරන නිසාම සෝවාන් ආදී මාර්ග ඵලාධිගමයට පත්ව නිවන් අවබෝධ කරගනු ඇත. මෙම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන පුද්ගලයාට යම් හෙයකින් එම භවයේ දී නිර්වාණාවබෝධය කරගත නොහැකි වුවහොත් ‘එතං සතිං අධිට්ඨෙය්‍ය බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු දිට්ඨංච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නෝ කාමෙසු විනෙය්‍ය ගෙධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරෙතී ති’ පඤ්චකාම සම්පත්තියෙන් වෙන්වීම නිසා නැවත ගර්භයක උප්පත්තිය නොලබන අතර අනාගාමී මාර්ග ඤාණය ලබා තිබෙන නිසා බ්‍රහ්මලෝකයේ උප්පත්තිය ලබා එහිදීම නිර්වාණාවබෝධයට පත්ව පිරිනිවන් පානු ඇත.

බෞද්ධයාගේ සුවිශේෂ ලක්ෂණයක් වන මෙත් වැඩීම හෙවත් මිතුරුකම පැතිරවීම ඔහුට ලැබිය හැකි උත්තරීතරම තත්ත්වය වන නිවන් පසක්කර ගැනීමට පවා හේතුවන බව මෙයින් මනාව පැහැදිළිවනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.