Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාව ගැන වැරැදි මත

භාවනා කිරීම සඳහා කැළෑවක් අවශ්‍ය බව සමහරුන් අතර ඇති මතයකි. එදිනෙදා කටයුතු කර ගනිමින් රැකියාවල යෙදෙමින් ගිහිව වාසය කරමින් දෛනික ජීවිතය ගෙන යන ගිහියන්ට භාවනා කර සිත දියුණු කර ගැනීම අසිරු කටයුත්තක් වනු නොඅනුමානය. මන්ද ඔවුන්ට එයින් මිදී වනගත වීම කළ නොහැකි හෙයිනි. තවද නිහඬ නිසංසල පරිසරය පුද්ගල මනස්වල විවිධ වු අදහස් ජනිත කිරීමට පෙළඹේ. නිහඬ නිසසංල පරිසරය භාවනාවට සුදුසු වුවද හැම කෙනෙකුටම එය එක හා සමානව නොගැළපෙන බව මේඝිය තෙරණුන්ගේ කථා පුවතින් පැහැදිලි වෙයි.

කයින් වචනයෙන් සංවර වූ පසු සිත සංවර කර ගැනීම සඳහා “භාවනාව“ යොදා ගනී. දිනපතා රකින පංචශීලයක් පොහොයට රකින අෂ්ඨාංගික ශීලයත් මගින් කය වචන සංවර කර ගන්නා බොදු උවසුවා ඊළඟට යා යුත්තේ සිත සංවර කර ගැනීමේ බැරෑරුම් කටයුත්තටයි. මන්ද සිත සංවර කර නොගෙන අපට මෝක්ෂ මාර්ගයට අවතීර්ණ විය නොහැකි හෙයිනි.

තැනුවා නම් තම සිත තැනුවාම ය” යන්න දක්වා ඇති පරිදි සිත සංවර කර ගැනීමේ ක්‍රියාවලිය අප අද අදම ආරම්භ කළ යුතුවෙයි. සිත පුදුම දෙයකි. එය සංවර කර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. “දුරගමං ඒකචරං අසරීරං ගුහාසයං “ යනුවෙන් ද දක්වා තිබෙන්නේ ඒ නිසාය. සුළඟින් සැලෙන කොඩියක් මෙන්ම ගලකින් පහර ලැබූ අළු ගොඩක ස්වභාවය ආදි වශයෙන් උපමාගෙන බුදුන් වහන්සේද සිතේ ස්වභාවය විස්තර කර තිබීමෙන් පෙනී යන්නේ සිත සංවර කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. එසේ නම් එවැනි සිතක් පාලනය කිරීමේදී භාවනාවක අවශ්‍යතාව මැනවින් පැහැදිලි වෙයි. භාවනාව කොටස් 2 කි. සමථ හා විදර්ශනා යන ඒ කොටස් 2 වේ. සමථ භාවනාවේදී පංච නීවරණ ධර්ම යටපත් කිරීම සිදුවන අතර, විදර්ශනා භාවනාවේදී සක්කාය දිට්ඨිය හා අසම්මානය පහව ගොස් ලෝකය හා සත්වයා පිළිබඳ යථාභූත ඤාණය පහළ වන අතර එයින් නිර්වාණය අවබෝධය සිදුවෙයි.

එහෙත් මේ පිළිබඳ විමසීමේදි විවිධ අදහස්, විවිධ පොත්පත් එමෙන්ම විවිධ ආයතනවල උගන්වන භාවනා ක්‍රම දෙස විචාරශීලිව බැලීමේදී ඒ පිළිබඳ අඩු පාඩු ඇති බව අපට සිතෙයි. පොත පතේ සඳහන් වන ආකාරයට සරලව ගතහොත් භාවනාව යනු වැඩීම හා දියුණු කිරීම යන අරුත දෙයි.

එමෙන්ම සමහර උගතුන් මානසික සමතුලිත බව ද භාවනාව යන්නට භාවිත කර තිබේ. මිනිසාගේ අසමතුලිත මානසික ස්වභාව වන කාම රාගය ද්වේශය කලකිරීම් වැනි මානසික තත්ත්ව ඔහු පිරිහීමට ලක් කරන බැවින් එයින් මිදී සමතුලිත බව හෙවත් මානසික සැනසිල්ල ලබාදෙන බැවින් භාවනාව වැඩීමක් වන අතර එයින් දියුණුවක් සිදුවේ. එපමණක් නොව ධෛර්ය , වීර්යය වැනි උත්තරීතර ගුණාංගද සිතේ ඇතිවන බැවින් භාවනාව යනු සිත දියුණු කිරීමකි.

මෙසේ පුද්ගල මනස තනන්නාවූ භාවනාව පිළිබඳව ගවේෂණශීලිව වඩා උනන්දුවෙන් කථා කරන නූතන සමාජයේ මේ පිළිබඳ වැරැදි අදහස් ඉස්මතු වී තිබේ.

භාවනා කිරීම සඳහා කැළෑවක් අවශ්‍ය බව සමහරුන් අතර ඇති මතයකි. එදිනෙදා කටයුතු කර ගනිමින් රැකියාවල යෙදෙමින් ගිහිව වාසය කරමින් දෛනික ජීවිතය ගෙන යන ගිහියන්ට භාවනා කර සිත දියුණු කර ගැනීම අසිරු කටයුත්තක් වනු නොඅනුමානය. මන්ද ඔවුන්ට එයින් මිදී වනගත වීම කළ නොහැකි හෙයිනි. තවද නිහඬ නිසංසල පරිසරය පුද්ගල මනස්වල විවිධ වු අදහස් ජනිත කිරීමට පෙළඹේ. නිහඬ නිසසංල පරිසරය භාවනාවට සුදුසු වුවද හැම කෙනෙකුටම එය එක හා සමානව නොගැළපෙන බව මේඝිය තෙරණුන්ගේ කථා පුවතින් පැහැදිළි වෙයි.

මේඝිය තෙරුණුන් භාවනාව වැඩීම සඳහා නිම්තලාවේ අඹ උයනට යන්නට බුදුන් වහන්සේගෙන් තෙවරක් අවසර පැතුවද බුදුන් වහන්සේ නිහඬ වූහ. එහෙත් උන්වහන්සේගේ ඇවිටිල්ල නිසා පසුව ඉඩදුනි. එහෙත් තෙරණු සිතූ පරිදි සිත එකඟ නොවී කාම විතර්ක පහළ වීමෙන් නැවත ඒමට සිදුවෙයි. මෙහිදී බුදුන් වහන්සේ මේඝිය තෙරණු අමතා භාවනා කිරීම සඳහා කැලයක් පමණක් නොව

1. සිල්වත්කම
2. දැන උගත්කම
3. ප්‍රඥාව
4. වීර්යය
5. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය

ආදියද තිබිය යුතු බව දැක්වීය.

භාවනා කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යය යනුවෙන් ඇති වී තිබෙන තවත් මතයකි. භාවනා කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍ය නැත. භාවනාව කුමක්දැයි වටහා ගත් විට ඒ බව මැනවින් වැටහෙයි.

මේ බවද ශාසන ඉතිහාසයේ සඳහන් බෞද්ධ සංවාද කථා ප්‍රවෘත්තියකින් මනාව පැහැදිලි වේ. පොත පතේ සඳහන් පරිදි එක්තරා සෙන් ආරාමයක ගුරුතුමා හා ගෝලයා අතර මෙවැනි සංවාදයක් ඇතිවෙයි. එනම් ගුරුතුමා සිය ගෝලනම බණවා මෙසේ විචාළයි.

ගුරුතුමා: ඔබගේ ජීවිතයේ කොයි වෙලාවක හරි සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ ගෙන තිබේද?

ගෝල නම: එසේය! ස්වාමීනි හැම විටම උත්සාහ ගන්නවා ගුරුතුමා ඒ කොහොමද?

ගෝල නම: කෑම ගන්න විට කෑම ගන්නවා. නිදා ගන්න විට නිදා ගන්නවා.

ගුරුතුමා: ඉතිං ඒකෙ වෙනස මොකකක්ද ? කවුරුත් කරන්නේ ඔය ටිකමනෙ

ගෝල නම: නැහැ ස්වාමීනි, ඔවුන් කෑම ගන්න විට ඒක ගැන නෙමෙයි සිතන්නෙ. ඒ නිසා සෙසු අයගේ කෑම ගැනීම මට සම කරන්ඩ බැහැ යනුවෙනි.

මෙම සංවාදය අනුව භාවනාව ගැන වැටහීමක් ඇති කරගත හැකිය. භාවනා කිරීම සදහා සුදුවත් ඇඳගෙන සිල් පේවී හුදකලා විය යුතු නැති අතර හැම මොහොතේම හැම අවස්ථාවේම භාවනාව වැඩිය හැකිය යන්නයි. එහි තේරුමයි. මේ අනුව කෙනෙක් භාවනාව වැඩීම සඳහා හොඳම මොහොත හොඳම වේලාව කුමක්ද? කියා ඇසුවහොත් දිය හැකි හොඳම පිළිතුර වන්නේ මේ මොහොත තරම් තවත් භාවනාව සඳහා වෙනත් වෙලාවක් අනවශ්‍ය බවයි. තව දුරටත් සිත කලබල වෙලාවක එනම් සිතේ ලතැවිල්ලක් ඇති වී මානසික කලකිරීමක් සිදුවන විටදී සිතට අස්වැසිල්ලක් නොමැති වී මානසික සමතුලිතභාවය ඉරිතැලී යයි. එහිදී ගැටලුවලට මුහුණ දීමට නොහැකිය. මේ අනුව මෙය තවත් විධියකින් දක්වතොත් භාවනාව සිතට ඉස්පාසුවක් නැති කළබල වෙලාවේද කළ හැකිය. හද රෝගී වූ විට බෙහෙත් අවශ්‍ය වන්නා සේම භාවනාව අවශ්‍ය වන්නේද හද කැළඹි විට යනුවෙන් දැක්විය හැකිය.

තවද බුදුන් වහන්සේ වදාළ පරිදි සිහිය පවත්වා ගත යුතු වන්නේ මේ මොහොතේ ජීවත් වීම සඳහායි (සතිපට්ඨාන සූත්‍රය) භාවනාව වැඩීම සඳහා අමුතුවෙන් කළ යුතු දෙයක් නොමැති බවත් වටිනා කාලයෙන් තත්පරයක්වත් අමුතුවෙන් ඒ සඳහා යෙදවිය යුතු නොවේ. මේ පිළිබඳ වල්පොළ රාහුල හිමියන්ද සිය අදහස දක්වා තිබේ.

තවත් මතයක් හැටියට භාවනාව සඳහා ඉරියව්වක් අවශ්‍ය බව ප්‍රචලිත වී තිබේ. භාවනාව සඳහා ඉරියව්වක් අවශ්‍ය නැත. සතර ඉරියව්වෙන්ම භාවනා වැඩීමට පුළුවන. (ගතේ ඨිතේ නිසින්නේ සුන්තේ ජාගිරතේ (සතිපට්ඨාන සූත්‍රය) දැඩි ආයාසයක් දරා ඉරියව්වක් සාදාගෙන සිටියද එය භාවනාවක් වන්නේ නැත. වා කවුළුව විවෘතව තැබූ විට එයට සතර දෙසින් මඳ සුළං ස්වභාවිකව පතිත වන්නේ වී නමුත්, එයට බලෙන් එන්නට ආරාධනා කළහොත් එය කිසිවිටකත් සිදු නොවනු මෙන් භාවනාවද එවැනිය.

තව දුරටත් අවශ්‍ය කමටහන තෝරා ගැනීමද ගැටලුවක් බවට පත් වී තිබේ. ඒ ඒ චරිතවලට අනුව කමටහන් දෙනු ලැබේ. (රාග චරිතය අසුභ භාවනාව) තම චරිතය ගැන වුවද නිශ්චිත නිගමනයට එළඹීම අපහසුය.මේ අනුව මෙබඳු චරිතයක් ඇති මට මෙම කමටහන උචිත යැයි නිගමනයකට එළඹීම ලෙහෙසි නොවේ.

පතේ තිබූ ආකාරයෙන් වට්ටෝරු ක්‍රමයටම කමටහන් නියම කිරීම හැමවිටම සුදුසු යැයි කිව නොහැක. මෙහිදී අනුගමනය යුතු පිළිවෙළ නම් සිත එකඟ කිරීමට උවමනා වන කමටහන තෝරා ගැනීමයි. තම සිරුරේ ස්වභාවය සරින් එන කුසලතා සසර පුරුදු ආදිය සැලකිල්ලට ගත යුතු වෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.