Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 19 කොටස

පණ්ඩිත වග්ගය

76. නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො

නුවණ ඇති සුසංවර - සත්පුරුෂ හිතවත්තු - ඔබේ වරදක් වෙතොත් දුටු වහා ඔවා දෙති. එවැන්නන් ළං ළංව ඇසුරු කළ යුත්තේ ය. එය දෙලොව සැප පිණිස හේතුවක් වන්නේ ය.

හිතවතුනි, ඔබ වටා සිටින අයගෙන් නියම හිතවතුන් කවුරුදැයි හැඳින ඇසුරට ගන්න.

77. ඔව දෙය්‍යනුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති අසතං හොති අප්පියො

යහපත් ව දිවි ගෙවන - කළණ මිතුරෝ නිතර - පාපයෙන් මිදෙන්නට අනුශාසනා කරති. එවැනි සුදනෝ ලොවින් නිතර පැසසුම් ලබති. දුදන කැල සුදනන්ට නිතර ගැරහුම් කරති.

හිතවතුනි, ගුණැත්තන් - ඇසුරේ ම හැසිරෙන්න. ලොවේ දුදනන් කෙරෙන් හැකි තාක් දුරුවන්න.

78. න භජේ පාපකෙ මිත්තේ න භජේ පුරිසාධමෙ
භජෙථ මිත්තේ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ

ඔබේ හිත පාපයට නැඹුරු කරවන පිරිස ඔබේ මිතුරන් නොවන බව හොඳින් දැනගන්න. පාපයට යොමු නොවී ඔබ සුසංවර කරන පිරිස හිත මිතුරු බව හොඳින් වටහා ගන්න. මෙසේ පව්කාරයන් - හැඳින ජීවත් වන්න. එවිට ඔබ මේ ලොව ද පරලොව ද දිනනු ඇත.

“හිතවතුනි, යහලුවා - හොඳින් වටහා ගන්න. එවිට ඔබ කිසිදිනෙක - විපතකට පත් නොවේ.

79. ධම්මපීති සුඛං සෙති විප්පසන්නේන චෙතසා
අරියප්පවේදිතෙ ධම්මේ සදා රමති පණ්ඩිතො

බණ දහම් දැනීමෙන් සිත් සතන් පහන්කළ නැණැත්තෝ සැනසුම්ව සැපවත්ව කල් ගෙවති. එවැනි වූ තැනැත්තෝ තුනුරුවන් කෙරෙහි වූ නොමඳ සැදැහෙන් බැතින් කාලය ගෙවන්නෝ ය.

හිතවතුනි, බණ ඉගෙන ගුණ ගරුක වනු මැනවි. එවිට මේ ජීවිතය සුවෙන් ගත වන්නේ ය.

80. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා

ගොවි පිරිස ගොවිපලට වුවමනා පරිද්දෙන් ඇලවේලි කපාලෙන දිය දහර හසුරුවති. වඩු පිරිස මනා ලෙස ලී දඬුව හසුරුවා ලෝකයට වැඩැති ලෙස මහඟු ලී බඩු සදති. මෙසේ නුවණැත්තෝ ද තුන්දොරම හසුරුවා දෙලොව ජය ගනු පිණිස ජීවිතය හසුරුවති.

හිතවතුනි, සංවරව තම නුවණ යොදවන්න. ඒ අනුව ඔබ කැමති සියලු දේ ලැබෙනු ඇත.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.