Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා පුදබිමේ සංවර්ධන වැඩ ජනපති උපදෙසින් ඇරැඹෙයි

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ.

අකුණුසර වැදීමෙන් පසුගියදා හානියට පත් වූ මිහින්තලා මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන හා වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු පසුගියදා (01) එහි නිරීක්ෂණ චාරිකාවෙක නිරත වූහ. මෙවර පොසොන් උත්සවයට පෙර මිහින්තලා මහ සෑ මළුවේ ගරා වැටී ඇති ස්ථාන පිළිසකර කිරීම් ආරම්භ කිරීමටත් ඒ සඳහා අලුතින් ආරක්ෂක යකඩ වැටක් ඉදි කිරීමටත් නියමිතය. අකුණුසර වැදීමෙන් හානියට පත් වූ මිහින්තලා මහ සෑයේ චූඩාමාණික්‍යය, කොත් කැරැල්ල, පේසා වළලු හා අකුණු සන්නායක පද්ධතියේ ඉදිකිරීම් සඳහා දීර්ඝ කාලයක් ගත වෙන බැවින් එම කටයුතු පොසොන් සමයේ වන්දනාවේ එන බැතිමතුන්ට අවහිරයක් නොවන පරිදි සිදු කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ට බුද්ධශාසන අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. මේ අතර පුදබිමේ ජල හා විදුලිය සැපයීම් ක්‍රමවත්ව පොසොන් උත්සවයට පෙර කඩිනමින් නිම කිරීමටත් නියමිතය. එමෙන්ම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් ඒ සඳහා ඇස්තමේන්තු සකස් කර එම යෝජනා ජනාධිපතිතුමන් වෙත භාරදීම සඳහා තමා වෙත ලබාදෙන ලෙස ද බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

මිහින්තලා රජ මහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර, විහාරාධිකාරි වලවාහැගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදු කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.