Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගයෙන් තොර පහසු විහරණ සලසන අසුභ භාවනාව

සිහිය පිහිටනවා කියන එක කලබලයට වෙන්නේ නෑ. කලබල නොවීම මත ම තම යි සිහිය පිහිටුවා ගන්න පුළුවන් කම තියෙන්නේ. කළබල වීමත් එක්ක සිහිය පිහිටන ගතිය අඩුවෙනවා. සිහිය පිහිටන්නේ නෑ. ඒ නිසා කලබල නොවී ටික ටික ටික පුරුදු කරන්න. එතකොට ටිකෙන් ටික සිහිය පිහිටයි. සිහිය පිහිටීමත් එක්ක කාලය වැඩි කර ගන්න පුළුවන් එතකොට දළ වශයෙන් පැය භාගයක්, විනාඩි හතළිස් පහක් වගේ කාලයකට, අපි දීර්ඝ කර ගත්තොත්, අපිට ඒ මට්ටමින් යම් කලක් පුරුදු කරන කොට, අපිට අවස්ථාවක් ලැබෙයි තව දුරටත් හොඳින් දියුණු කර ගන්න.

ටික ටික භාවනා මනසිකාරය හිතින් පුරුදු කරන්න. එතකොට ඒ කොටස් තිස්දෙක වාර කීපයක් සිහි කරන්න. මුලින් පුරුදු වෙනකම්. අපි හිතමු වාර දෙක තුනක් වගේ, කොටස් තිස්දෙක සිහි කරනවා. පුරුදු වෙනකම් තමයි මෙහෙම කරන්නෙ. මේ විදිහට ශරීරයේ කොටස් වාර කීපයක් සිහි කළාට පස්සේ, මෙහෙම සිහි කරන්න. “ මාගේ කියන ශරීරය හැදිලා තියෙන්නේ මේ වගේ කොටස් තිස් දෙකකින්. මේවා ඔක්කොම අපිරිසුදු දේ. අනුන්ගේ කියලා හිතන ශරීරත් මේ වගේ ම යි. ඒ ශරීරවල තියෙන්නෙත් අපිරිසුදු දේ විතරයි. මගේ කියලා හිතන ශරීරයත් අනුන්ගේ කියලා හිතන ශරීරත් ඔක්කොම මේ වගේ අපිරිසුදු දේ වලින්ම යි, පිරිලා තියෙන්නේ. මගේ කියලා හිතන ශරීරය ආහාරයෙන් හට ගෙන ආහාර නැති වීමෙන් නැති වෙලා යන එකක්. අනුන්ගේ කියලා හිතන ශරීරත් ආහාරයෙන් හට ගෙන ආහාර නැති වීමෙන් නැති වෙලා යන දේමයි. මගේ කියලා හිතන ශරීරයත් අනුන්ගේ කියලා හිතන ශරීරත් මේ ඔක්කොම ශරීර ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැති වෙලා යන දේවල්.”

“ මගේ කියලා හිතන මේ ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යවූ , දුක් වූ විපරිනාමයට පත්වන මේ ශරීරය මමම නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි. අනුන්ගේ කියලා හිතන ශරීරත් අනිත්‍ය යි, අනිත්‍ය යි, අනිත්‍ය යි. අනිත්‍ය වූ, දුක් වු විපරිණාමයට පත්වන ඒත් ශරීරත් මම නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි. මගේ කියලා හිතන ශරීරයත් අනුන්ගේ කියලා හිතන ශරීරත් ඔක්කොම අනිත්‍ය යි, අනිත්‍ය යි, අනිත්‍යයි. අනිත්‍ය වූ, දුක් වූ විපරිණාමයට පත් වන මේ සියලු ශරීර මමමනොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි.”

එතකොට ආන්න ඒ විදිහට මුලින් කරන්නේ, ශරීරයේ කොටස් තිස් දෙක සිහි කරන එක. ඊට පස්සේ අපි අර දෙවනියට කිව්ව විදිහට. ඒ ශරීරයේ හට ගන්න ස්වභාවයත් නැති වෙලා යන ස්වභාවයත් සිහි කරනවා. එතකොට ඒ පළමුවැනි කොටසේදී සමථය වැඩෙන්නේ .දෙවෙනි කොටසේදී විදර්ශනාව තමයි වැඩෙන්නෙ. මේ භාවනාව කරන කොට සමථයත් විදර්ශනාවත් දෙක ම කෙරෙනවා. පුරුදු වෙනකම් ටික ටික කරන්න. මුලින් ශරීරයේ කොටස් \ස්දෙක වාර කීපයක් සිහි කරනවා. ඊට පස්සේ දෙවනියට කිව්ව කොටස වාර කිපයක් සිහි කරනවා, කලබල කර ගන්නේ නෑ. කලබල නොකර ටික ටික කරන්න.

මුලින් විනාඩි පහක් දහයක් විතර පුරුදු වුණහම ඇති. ඊට පස්සේ ටික ටික පුරුදු වෙන්න. පුරුදු වෙන්න වෙන්න කාලය වැඩි කරන්න. විනාඩි පහක්, දහයක් , පහළොවක්, විනාඩි විස්සක්. ඔය වගේ කාලය වැඩි කර ගන්න. තමන්ට හොඳට සිහිය පිහිටන්න පිහිටන්න කාලය වැඩි කර ගන්න. විනාඩි විස්සක් විතර කර ගන්න පුළුවන් නම් ටික කලක් හොඳට එහෙම කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් පැය භාගයකට වගේ කාලය වැඩි කර ගන්න පුළුවන්. පැය භාගයක් වගේ කරන්න පුළුවන් නම්, කලක් එහෙම පුරුදු කරන්න. එතකොට යම් විදිහයකින් සිහිය පිහිටලා යම් සමාධි මට්ටමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සිහිය පිහිටන්න පිහිටන්න කාලය වැඩි කර ගන්න. පැය භාගයක්, විනාඩි හතළිස් පහක් වගේ කාලය වැඩි කර ගන්න. ඒ විදිහට කාලය වැඩි කර ගන්නේ සිහිය පිහිටන්න පිහිටන්න යි. එක පාරට නෙවෙයි.

සිහිය පිහිටනවා කියන එක කලබලයට වෙන්නේ නෑ. කලබල නොවීම මත ම තම යි සිහිය පිහිටුවා ගන්න පුළුවන් කම තියෙන්නේ. කළබල වීමත් එක්ක සිහිය පිහිටන ගතිය අඩුවෙනවා. සිහිය පිහිටන්නේ නෑ. ඒ නිසා කළබල නොවී ටික ටික ටික පුරුදු කරන්න. එතකොට ටිකෙන් ටික සිහිය පිහිටයි. සිහිය පිහිටීමත් එක්ක කාලය වැඩි කර ගන්න පුළුවන්. එතකොට දළ වශයෙන් පැය භාගයක්, විනාඩි හතළිස් පහක් වගේ කාලයකට, අපි දීර්ඝ කර ගත්තොත්, අපිට ඒ මට්ටමින් යම් කලක් පුරුදු කරන කොට, අපිට අවස්ථාවක් ලැබෙයි තව දුරටත් හොඳින් දියුණු කර ගන්න. හොඳින් දියුණු කරගත්තොත්, අපිට ඒ මට්ටමේ ඉඳලා ඉහළ සමාධි දක්වා සමාධිය දියුණු කර ගන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම වුනොත් ඒ ඉහළ සමාධි ඇති කරගෙන ඒවා ටික ටික පුරුදු කර ගන්න ඕනෙ. ටික ටික පුරුදු කර ගෙන කාලය දීර්ඝ කර ගන්න පුළුවන්කමක් තියෙනවා.

එතකොට බලන්න හැම වෙලාවෙ ම අපි එකපාරට කාලය දීර්ඝ කරන්නේ නෑ. කළබල වෙන්නේ නෑ. කළබල වෙලා කාලය දීර්ඝ කරන්නේ නෑ. පුරුදු වෙන්න පුරුදු වෙන්න තමයි කාලය දීර්ඝ කරන්නේ. ඒ නිසා මේ භාවනාව ටික ටික කර කර පුරුදු වෙන්න. ඒ සිහිය දියුණු වීම කියන එක කොච්චර කාලයකින් වෙයි ද කියලා අපිට කියන්න බෑ. සමහර කෙනෙකුට සතියක් දෙකකින් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මාසයක් දෙකකින් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට අවුරුද්දක් දෙකකින් වෙන්න පුළුවන්. අපිට ඒ ගැන මොකුත් සහතිකයක් දෙන්න බෑ. කාටවත් කියන්න බෑ. මෙයාට මෙච්චර කාලයකින් මේක පුරුදු වෙයි කියලා. ඉතින් ඒක තමා කළබල නොවී, ශ්‍රද්ධාව පිහිටුවගෙන අඛණ්ඩව කරගෙන යන්න ඕනෑ, ටික ටික, එතකොට යම් කලකදී සිහිය පිහිට යි. සමාධිය ඇති වෙයි. එතකොට ඒ විදිහට පුරුදු කර ගත්තොත් අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට අසුභ භාවනාවෙන් ලබා ගත හැකි යම් ප්‍රතිලාභ තියනව නම්, ඒ ප්‍රතිලාභ අපිට අත් කර ගන්න පුළුවන් කමක් තියෙ යි.

අපි කලින් කිව්වා අසුභ භාවනාව විවිධ විදිහට දේශනා කරලා තියෙනවා කියලා. මෙහිදී අපි ඉගෙන ගත්තේ එක විදිහක් විතර යි. එතකොට මේ ක්‍රමය ලේසි යි. සමහර කෙනෙකුට මේ ක්‍රමය අමාරු වෙන්න පුළුවන් ඉතින් කරන්න අමාරු අය ටික ටික කරන කොට ඒ අයටත් හුරු වෙයි.

මේ භාවනාව හොඳට, කළොත් එයාට සතිපට්ඨානය හොඳින් පුරුදු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඉර්ධිපාද හතර ම දියුණු කර ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම තමයි බොජ්ඣංග ධර්ම හත ම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. සමථ විදර්ශනා දෙක ම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යාන සමාධී හතරම දියුණු කර ගන්න අවස්ථාවක් තියෙනවා.

ඉතින් ඒ වගේ ම තමයි රාගය දුරු කර ගැනීම පිණිස අපිට හොඳ අවස්ථාවක්, මේ භාවනාව දියුණු කර ගැනීමෙන් උදා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ රාගය දුරු කර ගැනීම පිණිස අපිට පෙන්වා දුන්නේ අසුභ භාවනාව. ඒ නිසා අපිට ඒ රාගයෙන් තියෙන පීඩා දුරු කර ගෙන සුව පහසුවෙන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. මේ භාවනාව හොඳීන් පුරුදු කර ගත්තොත්, බහුල වශයෙන් කළොත් එයාට රාගය සම්පූර්ණයෙන් දුරු කරගෙන, ඉතා සැපයට පත්වෙන්න පුළුවන් කමක් තියෙනවා.

ඒ වගේ ම මේ භාවනා මනසිකාරය, අපිට අනාගතයේ දී මේ ධර්මය හොඳින් පුරුදු කර ගන්නට උපකාර වනවා. යම් කෙනෙකුට ගැඹුරු සමාධි දක්වා සිත දියුණු කර ගන්නටත්, අධ්‍යාත්මික ශුන්‍යතාව ඇති කර ගැනීමටත් මේ භාවනා මනසිකාරය උපකාර වෙනවා.

ඒ නිසා මේක සරල භාවනාවක් කියලා හිතන්න එපා. දැන් අපිට ආරම්භයේ දි මේක සරල යි කියලා තේරෙයි. මේක වැඩක් නෑ, පොඩියිනේ කියලා හිතෙයි. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර...කියලා තමයි සිහි කරන්නෙ. ඉතින් මේක පොඩියට පෙනෙන නිසා ම සමහරු නො වැදගත් සේ සලකනවා. මේක මෙහෙම කරලා ඇත්ද, කියන දේ අපෙන් අහලත් තියෙනවා. ඉතින් අපි කල්පනා කළ යුත්තේ, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමා මෙතන තියෙන්නේ කියල විශ්වාස කළ යුතුයි. “මේක මදි නම් බුදු කෙනෙක් විසින් ප්‍රකාශ කරන්නේ නෑ “ කියන දේ අපි කල්පනා කරන්න ඕනෑ. ආන්න එහෙම කල්පනා කළොත් ඒක කරනවා.

මේ භාවනාව වැඩීමෙන් අපිට අත් කර ගන්න පුළුවන් ප්‍රතිලාභ කිහිපයක් තමා මම ප්‍රකාශ කළේ. මතකයි නේද කාරණාව, එතකොට අපිට යම් කලකදී ඒ ආධ්‍යාත්මික සමාධි, ගැඹුරු සමාධි කරා හිත දියුණු කර ගන්න අවස්ථාවක් ලැබුණොත්, එතනදීත් අපිට භාවිත කරන්න තියෙන්නේ, මේ කෙස්,ලොම්.. කියන මනසිකාරය. ඒ භාවනාව තමයි පුරුදු කරන්න වෙන්නේ. එතරම් ම බලවත් භාවනාවක්, මේක අපි සරලයි කියලා හිතුවට. ඒ නිසා කිසිසේත් ඒ භාවනාව සරලයි කියලා හිතන්න එපා. අතිශයින්ම ගම්භීර ධර්මයක්. ඉතින් මේක හොඳට පුරුදු කර ගත්තොත් ඉතාම ප්‍රනීතයි. සැප සහිතයි. අතිශයින් සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතා ප්‍රනීත සමාධි උපදවා ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් රාග ගින්නෙන් දැවෙන සිත නිවාගෙන අතිශය සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බහුලවශයෙන් යමෙක් මේ භාවනාව වැඩුවොත් එයාට රාග ගින්න සම්පූර්ණයෙන් ම නිවාගෙන අතිශය සුව පහසුවට ඉන්න පුළුවන්කම උදාවෙනවා. අපි අසුභ භාවනාව ගැන කෙටියෙන් කතා කළේ. ඒ භාවනාව හොඳින් පුරුදු වෙන්න බලන්න. අසුභ භාවනාව කියන්නේ නිතර පුරුදු කළ යුතු භාවනාවක්. ඒ වගේ ම බහුල වශයෙන් පුරුදු කළ යුතු භාවනාවක්.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.