Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 දිස්ත්‍රික්ක දෙකකට මැදි වූ උඩගම ශ්‍රී දෙගම්තිලකාරාමය

මාවත පසෙකින් නැඟී සිටින හබරලියම් කන්ද සොඳුරු දසුනක් මවයි. වටව ඇති හරිත වර්ණ කෙත් යායේ ගැටී නිල්ලෙන් පිරි ගහකොළ අතු ඉති අතරින් රිංගා පෙරී ඇදී එන්නේ සිහිල් සුළං රැල්ලකි. සිහින් ගීත රාවෙන් සෙමෙන් ඇදී යන දියත්ත බෙලදොල නම් වෙයි. මේ සියල්ල එකට මුසු වී පරිසර පද්ධතියම සොඳුරු කිරීමට පෙළ ගැසී සිටිති.


පැරැණි පිළිම වහන්සේ

එයටම සැසඳෙන මදක් උස් බිමෙකි. ඒ උස් බිමෙහි කදිම පසුබිමෙක ඉදිව ඇත්තේ ශ්‍රී දෙගම්තිලකාරාමයයි. එය මේ සොදුරු පරිසරයට සැනසිල්ලක් සැදැහැති බවත් තිළිණ කරයි.

කොළඹ දිස්ත්‍රික්කයත්, කළුතර දිස්ත්‍රික්කයත් වෙන්වන සීමා මායිමට මැදිවනසේ පිහිටි භූමියෙක ශ්‍රී දෙගම්තිලකාරාමය, උඩගම, බෝපේ, පාදුක්ක යන ලිපිනයැතිව ස්ථාපිතව තිබේ. මෙය අන් විහාර භූමියකදී නොවිඳිය හැකි දුර්ලභ අත් දැකීමකි.

විහාර මන්දිරයට හෝ චෛත්‍යය අසලට ගොස් මලක් පහනක් පුදා ආසන්නයේ ඇති දන් ශාලාවට සෙමෙන් පිවිසෙන්නකු කොළඹ දිස්ත්‍රික්කයේ සිට කළුතර දිස්ත්‍රික්කයට ගමන් කිරීමට ගතවන්නේ තත්පර 30 – 40 ක කාලයකි. මෙහි ඇති අපූර්වත්වය එයයි.

අක්කර 06 ක පමණ භූමියේ එක් පැත්තකින් කොළඹ අවිස්සාවේල්ල ආසනයට අයත් කඳනපිටිය නම් ගමට සීමාවන අතර අනෙක් පස අයත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මායිමේ වන හොරණ ආසනයේ උඩගම නම් ග්‍රාමයයි.

පන්සල් බිමේ මායිම් ඉරෙන් වෙන්වන කළුතර දිස්ත්‍රික්කයට අයත් කොටසේ දන් ශාලාවක්, ගිනිහල් ගෙයත් ඇති අතර විහාර මන්දිරය චෛත්‍යය, බෝධීන් වහන්සේ අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට ය.

1853 වසරේ දී මේ බිමෙහි තිබුණේ වට අඩි 8 ක පමණ නා ගසකි. නා ගසට පහන් පුදා වතාවත් පුරමින් එහි සිටියේ එක් උපාසක මහතකු පමණි. ඔහු පසුව මහණ දම් පිරීමට පෙළඹෙයි. එතැන් සිට උපාසක මහතා මෙනේරිගම උන්නාන්සේ බවට පත්වෙයි. මෙනේරිගම උන්නාන්සේ තරමක් දැඩිය. අකුරට වැඩය. ගම් වැසියන් සතියකට වරක්වත් මෙතැනට ආ යුතුය. නාවොත් දඬුවම ශත 05 ක දඩයකි. ඉතින් මෙනේරිගම උන්නාන්සේට මෙන්ම චීවරයට දැක්වූ ගෞරවය නිසාත් ස්ථානය කෙරෙහි වූ භක්තිය නිසාත් ගැමියෝද මෙතැනට පැමිණ පුද පූජාදිය පැවැත්වූහ. ස්ථානය නිබඳව ගැමියන්ගේ පුද පූජාවන්ට බඳුන් වූ නිසාත් එතැන භික්‍ෂූන් වහන්සේ නමක් වැඩ වසන නිසාත් මෙතැන විහාරස්ථානයක් බවට පත් විිය. ගම් දෙකකට මැදිවූ තිලකයක් බඳුවූ දෙගම්තිලකාරාමයේ මූලාරම්භය සිදුවන්නේ එසේ ය.


පැරැණි විහාර දොරටුව


පිවිසුම් වාහල්කඩ හා චෛත්‍යය

කාලය කෙමෙන් ගෙවෙයි. 1880 වසරේ දී මානකඩ ගුණරතන හිමියන්ගේ යුගයේදී විහාර මන්දිරය ඉදිවෙයි.

මේ වකවානුව වන විට ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍යයන්ය. විහාර මන්දිරයට ඇතුල්වීමට පෙර එළිමහනේ සාදා ඇති පිවිසුම් දොරටුව නොහොත් තොරණ යුරෝපීය ආකෘතීන්ට වඩාත් සමීපව ගොඩ නැගුණේ යුරෝපීය ආභාෂය නිසා වන්නට පුළුවන.

එහෙත් මේ ආකෘතියේ ඇති විශේෂතාවය විහාරස්ථානයේ අනන්‍යතාවය සුරකින අපූරු ලක්ෂණයක් වී තිබේ. අද තරමක් අබලන් වී ඇති මේ පැරැණි වාහල්කඩ ප්‍රතිසංස්කරණය විය යුතු තත්ත්වයක පවතී.

විහාරයේ බුදු මැදුර කුඩාය. මාල දෙකක් දක්නට ලැබේ. බුදු කුටිය කුඩා වුවද ඒ තුළ හිටි, ඔත්, සැතපෙන බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයකි. තවත් තලයක කතරගම හා විෂ්ණු දේව ප්‍රතිමා ඇත. මේවා නෙලා ඇත්තේ නුවර යුගයේ කලා සම්ප්‍රදායට අනුගතවෙමිනි. මැදුර ඇතුලත පිවිසුමේ යට කොටසේ යුරෝපීය ලනාවකගේ රුවක් සිතුවම් කර තිබේ. විමසිල්ලෙන් බලන්නකුට පෙනෙන මෙවැනි දේ ද සූක්‍ෂමව විමසිය යුතුවෙයි. පොළොවේ කුඩා වපසරියක් තෝරාගෙන එදා භාවිතා කළ කහවණු, තුට්ටුව, සිලිම ආදී වූ කාසි අල්ලා තිබේ. අද දැකිය නොහැකි එවැනි දෑ ද දැක හැගීමක් ඇතිකර ගැනීමට මෙය ප්‍රයෝජනවත් වේ.

මෙහි ඇති ධර්මශාලාව ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 1936 වසරේදීය. එය පැරැණි ධර්මශාලාවක හැඩ තල ප්‍රකට කරයි. වඩාත් විශාල නොවන චෛත්‍යය ඉදිකර ඇත්තේ 1970 වසරේදීය.


බිතු සිතුවම්

දඹදිව, බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වූ මේ බෝධීන් වහන්සේ වටා ඇති බෝධි ප්‍රාකාරය පාත්‍රයක හැඩයට නිමවා තිබීම ද විශේෂයකි.

පන්සලට පිවිසෙන එක් පැත්තකින් කුඩා බුදු කුටියක් මෑතකදී ඉදිකර ඇත. එහි ඇතුලත සිතුවම් ආදිය ඇඳ ඇතත් එය හිස් කුටියකි. ඊට හේතුව ඒ තුළ තවමත් බුද්ධ ප්‍රතිමාවක් තබා නොමැති වීමයි. විහාරස්ථානයේ ඉදිකිරීම් හා සැසැදීමේදී මෙය ඉතා සුළු කරුණකි. එහෙත් අද පවතින ආර්ථික තත්ත්වයන් නිසා සාමාන්‍ය ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක් මෙහි තැබීමට තරම්වත් මූල්‍ය පහසුකම් විහාරස්ථානයට නොමැති බව විහාරාධිපති බටුගම්පල ධම්මිස්සර හිමියන් පවසන්නේ කනස්සල්ලෙනි.


විහාරාධිපති බටුගම්පල ධම්මිස්සර හිමි

දැනට මෙහි විහාරාධිපතිත්වය උසුලන බටුගම්පල ධම්මිස්සර හිමියන් වයෝවෘධ, තපෝවෘධ ප්‍රදේශයේ දනන් අතර ගෞරව බහුමානයට පාත්‍රවූ හිමි නමකි. ධම්මිස්සර ලොකු හාමුදුරුවන් දැනට අනූවිය සපුරා ඇත.

මෙහි බොහෝ ඉදිකිරීම් සිදු කෙරුණේ උන්වහන්සේගේ යුගයේ දීය. යහමින් අතේ මුදල් නොගැවසුනත් පංසලේ පිං කැටේ පිරී නොගියත් විහාරස්ථානයේ දියුණුවම අපේක්‍ෂාවෙන් හිතේ හයියට ගමේ දායකයන්ගේ දිරියෙන් උන්වහන්සේ කළ මෙහෙවර පැසසිය යුතුය. ගෙවූ ආයුකාලය විහාරස්ථානයේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කැපකළ උන්වහන්සේගේ ඇවැතුම් පැවැතුම් සරළය. ප්‍රශ්න ඇතත් සිත ගත සැහැල්ලුය. ජීවිතය අල්පේච්චය. ඒ සැබෑ භික්‍ෂූවකගේ උදාර ලකුණය.

ආර්ථික අපහසුතාවයන් ද තදින් දැනෙන යුගයක පන්සලේ නඩත්තුව ද ලෙහෙසි පහසු නොවන නිසා අපගේ නායක හාමුදුරුවන් වගේම පන්සල ද වියපත් වීමේ ලකුණු පහළ කර තිබේ. ප්‍රතිසංස්කරණයන් සිදුවන්නේ මන්දගාමීවය.

ධම්මිස්සර ලොකු හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝලයා කඳනපිටියේ ඥාණිස්සර නාහිමියන් ය. උන් වහන්සේ සියනෑ හාපිටිගම් හේවාගම් කෝලාත්‍රයේ උප ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කරති.

විහාරස්ථානයේ විහාරාධිකාරී වශයෙන් කටයුතු කරන උන් වහන්සේගේ භික්‍ෂු දිවිය පෝෂණය වී ඇත්තේ ගුරු හාමුදුරුවන්ගේ ආදර්ශයන් මතය. උඩගම කඳනපිටිය දමොරේ සහ මඩකඩ යන සතර පේරුවට දායක පන්සල වන දෙගම්තිලකාරාමයේ සමස්ථ චිත්‍රය ආටෝප විච්චූරණයන්ගෙන් තොරය. විහාර ආකෘතියේ විශේෂතාද පාරිසරික වශයෙන් වන සුවිශේෂිතා ද නිසා විශේෂත්වයට පත්ව ඇති දෙගම්තිලකාරාමය වන් විහාරස්ථාන අනාගත බෞද්ධ ජනතාව වෙනුවෙන් සුරක්‍ෂිත කළ යුතුවෙයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.