Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නමක් බංග්ලාදේශයට වැඩම වූ දා..

තිලෝගුරු අමාමෑණී ලොව්තුරු බුදු රජාණන් වහන්සේ හතළිස් පස් වසරක් මුළුල්ලේ සියලු ලෝ වැසියනගේ හිතසුව පිණිසම ක්‍රියා කළ සේක. අසරණව දුකට පත් මිනිසුන් දුකින් මුදා ගන්නට තමන් වහන්සේගෙන් ඉටු විය යුත්තේ කවරක්ද? යන්න උන් වහන්සේ නිරන්තරයෙන්ම විමසා බැලූහ. ශ්‍රී සම්බුද්ධ පිරිනිර්වාණයත් සමඟම බුදු රජාණන් වහන්සේගෙන් සිදු වූ මේ උතුම් අසමසම මෙහෙවර වෙනුවෙන් පුද සත්කාර පිරි නමන්නට සැදැහැවත්තු පෙළ ගැසෙන්නට වූහ. වෙහෙර, විහාර ඉදිකරවා පිළිම වහන්සේ සහ බෝධීන් වහන්සේ ඉදිරියේ විවිධ පුද පූජා පවත්වන්නට පටන් ගත්හ. ඒ අතරින් බෝධීන් වහන්සේ අබියස පූජා පවත්වා වන්දනා මාන කිරීම බෞද්ධ බැතිමත්හු ප්‍රධානත්වයෙහිලා සැලකූහ. යමෙක් ජීවමාන බුදු රුවට සලකනු ලබන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුණ්‍ය කර්මයක් වශයෙනුයි අදටත් බෝධි වන්දනාව සලකනු ලබන්නේ.

බංග්ලාදේශ වැසියනට වන්දනා මාන කරන්නට බෝධීන් වහන්සේ නනමකගේ අඩුව කාලයක සිට දැනුණු හෙයින් ඩකා අගනුවර, අශුලියා බෝධිඤාණ විහාරස්ථානාධිපති, පූජ්‍ය, අෂීන් ජිනරක්ඛිත නාහිමියන් විසින් අටමස්ථානාධිපති පූජ්‍ය, පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර, මහමෙවුනාව උඩමළුවේ වැඩ වෙසෙනා විජය ශ්‍රී ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුර නමක් බංග්ලාදේශයට පූජා කිරීමට අවශ්‍ය කටයුතු සැලසිණි. ඒ උතුම් ශාසනික කටයුත්තට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන්නට අනුරාධපුර බෝ සෙවණ ධර්ම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ නාරම්පනාවේ නන්දරතන ස්වාමීන් වහන්සේටත්, මටත් ආරාධනා ලැබිණි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේ වැඩෙමින් සිටි අඩි දෙකක පමණ උසින් යුත් මෙම බෝ අංකුර නම, අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා මධ්‍යයේ උඩමළුවේ දී සිදු කරනු ලැබූ විශේෂ පූජාවකින් අනතුරුව බංගලාදේශයේ ඩකා අගනුවර වෙත වැඩම කිරීමට අප වෙත බාර කෙරිණි. එදා සංඝමිත්තා මහරහත් තෙරණිය දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව ලක්දිවට වැඩම වූ දර්ශනය ඒ මොහොතේ දී අපගේ සිත් සතන් තුළ ඇඳුණේ නෙතඟට කඳුළු උනමිනි.

මළුවට රැස්ව සිටි බොදු බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ ගමන් ඇරඹි ජය ශ්‍රී මහා බෝ අංකුරය රැගත් විශේෂ රථය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන විට රාත්‍රී 10.00 පමණ වී තිබිණි. ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවැති පිළිගැනීමකින් අනතුරුව තායි ගුවන් සේවයට අයත් ටී.ඩී.0308 දරණ විශේෂ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර හරහා බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා අපි ගමන් ඇරඹුවෙමු.

බංග්ලාදේශ වේලාවෙන් පසුදා මධ්‍යහ්න 12.10 ට පමණ ඩකා නුවර හර්සාට් සාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අප ළඟා වූ අතර එම ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේ දී උණුසුම්ව පිළි ගැනිණි. ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය මහත් හරසරින් යුතුව පිළිගන්නට බංගලාදේශ රජයේ විශේෂ නියෝජිතයින් මෙන්ම බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරත් වේරගොඩ මහතාත්, බංගලාදේශ බෞද්ධ බැතිමතුන් සහ බංගලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමත්හු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. තමන් කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි බෝ සමිඳුන් නමකගේ සිහිනය යථාර්ථයක් බවට පත් වූ ඒ අවස්ථාවේ දී සැදැහැවතුන් දොහොත් මුදුන් දී සාධුකාර පවත්වා බෝ අංකුර නම අබියස දනින් වැටී වන්දනා මාන කරන්නට වූයේ ඉහවහා ගිය බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

අනතුරුව හර්සාට් සාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කිලෝ මීටර 10 ක පමණ දුරින් පිහිටි බෝධිඤාණ විහාරස්ථානය වෙත වැඩම කර වූ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නම විහාරස්ථානයේ සාදන ලද විශේෂ කුටියක තබා බංගලාදේශයටම ආවේණික විශේෂ පූජාවක් ද පවත්වන ලදී. ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුරය බංගලාදේශයට වඩිනවාත් සමඟම එතෙක් පැවැති වියළි කාලගුණය නිමවා මහා ආශිර්වාදාත්මක වර්ෂාවක් ද ඒ මොහොත් දි පතිත වූයේ හාස්කමක් මෙනි.

පසුදා පෙරවරුවේ 09.27 ට යෙදුන සුබ මුර්තයෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නම රෝපණය සිදු කෙරිණි. එම අවස්ථාවට බංගලාදේශ රජයේ කර්මාන්ත කැබිනට් අමාත්‍ය දිලීප් බරුවා මහතා ප්‍රමුඛ විශේෂ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.මේ අවස්ථාවට පණිවිඩයක් එවමින් ජනාධිපති මහින්ද රාජපක්‍ක්‍ෂ මැතිතුමන් සඳහන් කර සිටියේ “දෙරටක් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වන්නාසේම එම දෙරටේ ආගමික හා මානව වර්ගයා අතර සහ සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීම වඩා වැදගත් වන බවයි. මෙම බෝ අංකුරය බංගලාදේශයට පූජා කිරිමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් තමා වඩාත් සතුටට පත් වන බවත්, එම පණිවුඩයේ වැඩදුරටත් සඳහන් විය.

බංග්ලාදේශ රජය වෙනුවෙන් සභාව ඇමතූ® කර්මාන්ත අමාත්‍ය දිලීප් බරුවා මහතා පැවසුවේ “මෙවන් ශාසනික දායාදයක් බංගලාදේශයට පූජා කිරීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වන බවයි. ආසියාතික රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාවත්, බංගලාදේශයත් අතර පවතින මිත්‍රත්වය මේ උතුම් කර්තව්‍යයත් සමඟම තව තවත් වර්ධනය වූ අතර, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදීත් රජ්‍ය කටයුතු වඩාත් සමීපව හා ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්, “ ඒ මහතා එහිදී පැවසීය. එම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ටත්, අටමස්ථානාධිපති පූජ්‍ය, පල්ලේගම සිරි නිවාස නාහිමියන්ටත් මෙම සත් කාර්යය මැනැවින් ඉටු කර ගැනීම සඳහා අනූපමය සහායක් ලබා දීම අගය කරමින් විශේෂ උපහාර තිළිණයන් ද පිරිනැමීය.

රෝපණය කරන ලද අභිනව ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නම අබියස දී එදින රැය පහන් වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්විණි. පසුදා උදෑසන තිස් නමක් විෂයෙහි මහා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්විණි ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නම රෝපණය කිරීමට සමඟාමීව උපසම්පදා පින්කමක් ද බෝධිඤාණ විහාරස්ථානයේ දී සිදු කෙරිණි. එහිදී භික්ෂුන් වහන්සේ දස නමක් උපසම්පදා කෙරුණු අතර එදින රාති‍්‍රයේදී පහන් දහසක විශේෂ ආලෝක පූජාවක් ද බෝ සමිඳුන් ඉදිරියේදී පැවැත්විය. ශ්‍රී ලංකාවෙන් වැඩම කර වන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථ පරිශ්‍රයේ ඉදි කෙරුණු බුදු මැදුරේ දී තැන්පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

බංග්ලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම හා දායකත්වය මේ සියලු ආගමික වතාවත්වලදී විශේෂයෙන් කැපී පෙනෙන්නක් විය.රැය නිදි වරා බංගලාදේශ බොදු බැතිමතුන් සමඟ එකට එක්ව සෑම කටයුත්තක්ම සංවිධානය කරමින්, ගරුතර මහා සංඝරත්නයට ඇප උපස්ථානයන් කරමින් ලබා දුන්නා වූ තම උපරිම කැපවීම මෙහිදී අගය කළ යුතුමය. ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරක්‍ෂිත කර ගිනිමින්, ධර්මානුකූ®ලව තම ජීවිත හැඩ ගස්වා ගනිමින් විනය ගරුකව එරටේ ජීවත් වන ශ්‍රී ලාංකිකයනට බංග්ලාදේශයෙන් ලැබෙන්නේ ද මහත් ගරුත්වයකි. එමෙන්ම එරටේ ජීවත් වන ශ්‍රී ලංකික පවුල් අතර ඇත්තේ ද මනා සබැඳියාවකි. සතුටේදී මෙන්ම විපතේදී ද ඔවුනොවුන් එකාවන්ව එකට අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරති.

තුන් ලොවට මහා කාරුණික වූ ලොව්තුරු අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ ජන්ම භූමිය වන ජම්බුද්වීපයේම කොටසක් වූ “වංගදේශය” අද හඳුන්වනු ලබන්නේ “බංගලාදේශය” යන නමිනි. මුනීන්ද්‍රයන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ රාජ්‍යයක් වන මෙහි උන් වහන්සේ වැඩ සිටි ස්ථානයන්හි කෞතුකාගාර ඉදි කරවා ඒවා සංරක්‍ෂණය කිරීම බංගලාදේශ රජය විසින් නිරන්තරයෙන් සිදු කරයි.

චිතගොං, රංගාමාටි, රාමු, පහර්පූර්, හා කැමිල්ලා යන ප්‍රදේශයන් හි බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් අපට දැක ගත හැකි වූ අතර බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන ද පිහිටා තිබේ. බංග්ලාදේශ බොදු මැතිමතුන් ගමේ පන්සලට දක්වන්නේ ඉමහත් ගෞරවාදරයකි. ස්වාමීන් වහන්සේලාගේ දාන මාන කටයුතුවලදී මෙන්ම බොදු උත්සව අවස්ථාවන් වලදීත් ඔවුහු වැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කරති. බංග්ලාදේශයේ බෞද්ධ බැතිමත්හු ලක්‍ෂ 12 කට ආසන්න පිරිසක් වාසය කරති. රට වටා වෙහෙර විහාරස්ථාන 500 ක් පමණ පිහිටුවා ඇති අතර, ගරුතර භික්ෂූන් වහන්සේ 2000 කට ආසන්න පිරිසක් වැඩ වාසය කරති. ඒ අතරින් ශ්‍රී ලංකාවට වැඩමවා අපේ රටේ භික්ෂු අද්‍යාපනය හැදෑරූ භික්ෂූන් වහන්සේ රැසක් ද අපට හමු විය. උන් වහන්සේලා අපත් සමඟ චතුරව සිංහල භාෂාව කතා කරන විට අපගේ සිත්හි ඇති වූයේ මහත් සතුටකි.

බංග්ලාදේශ බොදු සමාජයේ නිකායන් දෙකකි. සංඝරාජ හා මහා ස්ථවිර නමින් හඳුන්වන මෙම නිකායන්හි සංඝරාජ නිකායේ මහා නායක පදවිය උසුලන්නේ පූජ්‍ය, බදහත්ත ධම්ම සේන සංඝරාජ මහා නාහිමියන්ය. උන් වහන්සේට පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් අග්ග මහා සද්ධර්ම ජෝතිත _ජ, ත්‍රිපිටක සාහිත්‍ය චක්‍රවර්ති ගෞරව නාමයද පිරි නැමුණි. පූජ්‍ය, ධර්මපාල මහ නාහිමියන් මහා ස්ථවිර මහා නිකායේ සහා නායක පදවිය උසුලති. රැකී රක්‍ෂා කටයුතු සඳහා බංග්ලාදේශයට පැමිණ දීර්ඝ කාලයක් තිස්සේ තම පවුලේ සාමාජිකයන් ද සමඟින් ජීවත් වන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් 2000 ක පමණ පිරිසක් බංග්ලාදේශයේ වාසය කරති. ඔවුහු නිරන්තරයෙන් පින් දහම් සිදු කරති. තම දරුවන්ගේ අනාගත යහපැවැත්ම උදෙසා ධර්මානුකූල ආභාෂයක් ලබා දීමට වෙහෙසෙති. මෑතකදී ශ්‍රී ලංකාවෙන් වැඩම වූ කොටිකාවත්තේ ධම්මකුසල හිමියන් බෞද්ධ බැතිමතුන් සමඟ එක්ව දහම් කරුණු කියා දී දාන, ශීල, භාවනා පින්කම් ආදී කටයුතු සිදු කරමින් බෞද්ධයන්ගේ හිත් සුවපත් කිරීම සඳහා අපමණ වෙහෙසක් ගන්නා අයුරු අපගේ සියැසින් දුටුවෙමු.

ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නමක් බංග්ලාදේශයට වැඩම කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල සම්බන්ධිකරණය කරනු ලැබුවේ ද ධම්මකුසල හිමියන් ප්‍රධාන චින්තක දික්කුඹුර, සම්පත් ඇරැහැපොල සහ ජයශාන්ත පීරිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බෝ අංකුර නම රෝපණය කිරීමට සමගාමීව සතියක් පුරා පැවැති පින්කම් මාලාව අවසානයේ අප බංගලාදේශයට සමුදී ලංකාව බලා පිටත් වූයේ එරටේ ආදර්ශයන් අපේ රටේ ජන සමාජයට කොයිතරම් නම් වැදගත් වන්නේ දැයි සිතමිනි . බංගලාදේශ වැසියන්ගේ නිහතමානීත්වය, සකසුරුවම හා සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීම අප වඩා අගය කළ යුතුය.එමෙන්ම එරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයනගේ සුහදශීලීත්වය, උට්ඨාන වීර්යෙන් යුතුව කාර්යයන්හි නරත වීමද බෙහෙවින් පැසසිය යුත්තකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.