UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්ධ වනයෙහි වැඩ සිටින කුමාර කාශ්‍යප හිමියන් වෙත පැමිණෙන එක්තරා දේව රාජයෙක් ප්‍රශ්න කිහිපයක් විචාරයි. ඒවාට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ද ඔහු උපදෙස් දෙයි. ඉන් පසු කුමාර කාශ්‍යප හිමියෝ ඒ දේව රාජයා විචාළ පරිදි එම ප්‍රශ්න සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් විමසති. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු මෙම සූත්‍රයෙහි මනා ලෙස විග්‍රහ වී ඇත.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දහම් කරුණු පහදා දීම සඳහා විවිධ උපමා භාවිත කර ඇති අයුරු ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර වලින් පෙනී යයි. මජ්ඣිම නිකායාන්තර්ගත ඔපම (සිංහල - උපමා) නමින් හඳුන්වන වර්ගයෙහි ඇතුළත් සූත්‍ර දහය මෙහිලා වැදගත් වෙයි. මෙම සියලු සූත්‍රයන් වටිනා උපමා වලින් පරිපූර්ණය. කකචූපම, අලගද්දූපම, අරියපරියේසන, චුල්ලහත්ථිපදෝපම ආදී ප්‍රසිද්ධ සූත්‍ර ඇතුළත් වන්නේ ද මෙහි ය.

මජ්ඣිමනිකායෙහි ඔපම වර්ගයෙහි තෙවන සූත්‍රය වන්නේ වම්මික සූත්‍රයයි. වම්මික යන්නෙහි සිංහල තේරුම තුඹස යන්නයි. තුඹස උපමා කොට ගෙන ශරීරයේ අස්ථිරත්වය පිළිබඳ වටිනා ධර්ම විවරණයක් ඇතුළත් මෙම සූත්‍රය නිර්වාණගාමී මාර්ගයෙහි ගමන් කරන නුවණැති ආර්ය ශ්‍රාවකයා මුහුණ දෙන ක්ලේශ ධර්මයන් හා ඒවා සිඳ බිඳ දමා නිර්වාණය කරා ගමන් කරන ආකාරය උපමානුසාරයෙන් විචිත්‍ර ලෙස විවරණය කර ඇත.

අන්ධ වනයෙහි වැඩ සිටින කුමාර කාශ්‍යප හිමියන් වෙත පැමිණෙන එක්තරා දේවරාජයෙක් ප්‍රශ්න කිහිපයක් විචාරයි. ඒවාට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ද ඔහු උපදෙස් දෙයි. ඉන්පසු කුමාර කාශ්‍යප හිමියෝ ඒ දේවරාජයා විචාළ පරිදි එම ප්‍රශ්න සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් විමසති. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු මෙම සූත්‍රයෙහි මනා ලෙස විග්‍රහ වී ඇත. එම සූත්‍රයෙහි සඳහන් අයුරින් කතා ප්‍රවෘත්තිය සහ දම් දෙසුම විමසා බලමු.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඬු මහසිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩවාසය කරති. එසමයෙහි කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකළ එක්තරා දේවරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය ඒකාලෝක කොට බබුලුවා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේ ය. එළඹ, එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ ඒ දේවරාජතෙම, කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. එක්තරා බ්‍රාහ්මණයෙක් තම අතවැසියාට මෙසේ කීය. සුමේධය, ආයුධයක් ගෙන සාරව, ආයුධයක් ගෙන සාරා බලන්නා වූ සුමේධතෙම දොර අගුලක් දුටුවේ ය. එය දැක තම ගුරුවරයාට මෙසේ කීය. ස්වාමීනි, දොරඅගුලක් ඇත. ඉන් පසු බ්‍රාහ්මණ තෙම තම අතවැසියාට මෙසේ කීය. දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව යනුවෙනි. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම පිම්බෙන මැඩියෙකු දුටුවේ ය. වහන්ස, මැඩියෙකැයි කීය. බ්‍රාහ්මණ තෙම මැඩියා ඔසාවා දමව, සුමේධය ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම දෙමංසන්ධියක් දුටුවේ ය. ඒ දැක වහන්ස, දෙමන්සන්ධියකැයි කීය. බ්‍රාහ්මණ තෙම දෙමංසන්ධිය උදුරා දමව. සුමේධය, ආයුධය ගෙන සාරව යි කීය. ආයුධය ගෙන, සාරන්නා වූ සුමේධ තෙම, අළු පෙරහනක් දුටුවේ ය. ස්වාමීනි, අළු පෙරහකැයි කීය. බ්‍රාහ්මණතෙම අළු පෙරහන උදිරා දමව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය.

ආයුධයක් ගෙන සාරන්නා වූ සුමේධ තෙම ඉදිබුවෙකු දුටුවේ ය. ස්වාමීනී, ඉදිබුවෙකැයි කීය. බ්‍රාහ්මණ තෙම ඉදිබුවා ගොඩගනුව, සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේ ය. ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැයි කීය. බ්‍රාහ්මණ තෙම මස් කපන කැත්ත හා මස් ලොඹුව ගොඩගනුව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම මස්වැදැල්ලක් දුටුවේ ය. ස්වාමිනී, මස්වැදැල්ලකැයැයි කීය. බ්‍රාහ්මණ තෙම මස්වැදැල්ල ගොඩගනුව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම නාගයෙකු දුටුවෙව් ය. ස්වාමීනි, නාගයෙකැයි කීයේ ය. බ්‍රාහ්මණතෙම නාගරාජතෙම සිටීවා. නාගරාජයාට කරදරයක් නොකරන්න. නාගරාජයාට නමස්කාර කරවයි කීයේ ය. ස්වාමිනී, ඔබවහන්සේ මේ ප්‍රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරනු මැනවි. ඔබ වහන්සේට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශකොට වදාරණ සේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්නය දරාගනු මැනවි, ස්වාමීනි, සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේ ද, එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකයෙහි ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ පිරිස්හිද නොදක්නෙමියි කීයේ ය. මෙසේ කියා ඒ දේවරාජ තෙම එතන්හිම අතුරුදන් වූයේ ය. ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රියේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක සිටියහ. එකත්පසක සිටියා වූ කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකර සිටියහ.

ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා දේවරාජයෙක් තමන්ගේ ශරීර ආලෝකයෙන් මුළු අන්ධවනය ඒකාලෝක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේ ය. පැමිණ එක පැත්තක උන්නේ ය. ස්වාමීනි, එක පැත්තක උන්නා වූ ඒ දේවරාජයා මට මෙසේ කීවේ ය.

ස්වාමීනි, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. එක්තරා බ්‍රාහ්මණයෙක් තම අත වැසියාට මෙසේ කීය. සුමේධය, ආයුධයක් ගෙන සාරව, ආයුධයක් ගෙන සාරා බලන්නා වූ සුමේධතෙම දොර අගුලක් දුටුවේ ය. එය දැක තම ගුරුවරයාට මෙසේ කීය. ස්වාමීනි, දොරඅගුලක් ඇත. ඉන් පසු බ්‍රාහ්මණ තෙම තම අතවැසියාට මෙසේ කීය. දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව යනුවෙනි. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම පිම්බෙන මැඩියෙකු දුටුවේ ය. වහන්ස, මැඩියෙකැයි කීය. බ්‍රාහ්මණ තෙම මැඩියා ඔසවා දමව, සුමේධය ආයුධය ගෙන සාරවයි කීය.

ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම දෙමංසන්ධියක් දුටුවේ ය. ඒ දැක වහන්ස, දෙමන්සන්ධියකැයි කීය. බ්‍රාහ්මණතෙම දෙමංසන්ධිය උදුරා දමව. සුමේධය, ආයුධය ගෙන සාරව යි කීය. ආයුධය ගෙන, සාරන්නා වූ සුමේධ තෙම, අළු පෙරහනක් දුටුයේ ය. ස්වාමීනි, අළු පෙරහනකැයි කීය. බ්‍රාහ්මණතෙම අළු පෙරහන උදිරා දමව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධයක් ගෙන සාරන්නා වූ සුමේධ තෙම ඉදිබුවෙකු දුටුවේ ය. ස්වාමීනි, ඉදිබුවෙකැයි කීය. බ්‍රාහ්මණ තෙම ඉදිබුවා ගොඩගනුව, සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේ ය.

ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැයිකීය. බ්‍රාහ්මණ තෙම මස් කපන කැත්තක හා මස් ලොඹුව ගොඩගනුව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධ තෙම මස්වැදැල්ලක් දුටුවේ ය. ස්වාමිනී, මස්වැදැල්ලකැයැයි කීය. බ්‍රාහ්මණ තෙම මස්වැදැල්ල ගොඩගනුව. සුමේධය, ආයුධය ගෙන සාරවයි කීය. ආයුධය ගෙන සාරන්නා වූ සුමේධතෙම නාගයෙකු දුටුවේ ය. ස්වාමීනි, නාගයෙකැයි කීයේ ය.

බ්‍රාහ්මණතෙම නාගරාජතෙම සිටීවා. නාගරාජයාට කරදරයක් නොකරන්න. නාගරාජයාට නමස්කාර කරවයි කීයේ ය. ස්වාමීනි, තුඹස නම් කුමක්ද? රාත්‍රියෙහි දුම්දැමීම නම් කුමක්ද? දහවල් ඇවලීම නම් කුමක්ද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමේධ නම් කවරෙක්ද? ආයුධය නම් කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අගුල නම් කුමක්ද? මැඩියා නම් කුමක්ද? දෙමංසන්ධිය නම් කුමක්ද? අළු පෙරහන නම් කුමක්ද? ඉදිබුවා නම් කුමක්ද? මස් කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක්ද? මස් වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙක්ද?

කුමාර කාශ්‍යපය, තුඹස යනු මව්පිය දෙදෙනා නිසා පහළ වූ ආහාර පානයෙන් වැඩුණා වූ, අනිත්‍ය වූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතු වූ, කැඩී බිඳී යන සුළු වූ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි. දහවල් කළ යුතු ගොවිතැන් වෙළෙඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රී කාලයෙහි නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් චපම ය. යමක් රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළෙඳාම් ආදියත් කයින් හෝ වචනයෙන් හෝ කරයි ද මේ දහවල් ඇවිලීමය. බ්‍රාහ්මණ යනු අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් හට නමකි. සුමේධ යනු ශෛක්‍ෂ පුද්ගලයාට හෙවත් අර්හත් ඵලයට පහළ මාර්ගඵල ලැබූ පුද්ගලයාට නමකි.

ආයුධ යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමකි. සෑරීම යනු වීර්යයට නමකි. දොරඅගුල යනු අවිද්‍යාවට නමකි. සුමේධය, ආයුධය ගෙන සාරා අවිද්‍යාව නමැති දොර අගුළ ගලවා දමව යනු අර්ථයයි. පිම්බෙන මැඩියා යනු ක්‍රෝධයට නමකි.

සුමේධය, ආයුධය ගෙනසාරා බලවත් ක්‍රෝධය නමැති මැඩියා උගලා දමව යන්න අර්ථයයි. දෙමංසන්ධිය යනු විචිකිච්ඡාවට හෙවත් සැකයට නමකි. සුමේධය, ආයුධය ගෙන සාරා විචිකිච්ඡාව නමැති දෙමංසන්ධිය දුරු කරව යන්න අර්ථයයි. අළු පෙරහන යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහට නමකි.

ආයුධය ගෙන සාරා පඤ්චනීවරණ නමැති අළු පෙරහන පහකරව යන අර්ථයයි. ඉදිබුවා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහට නමකි. සුමේධය, ආයුධය ගෙන සාරා පඤ්චස්කන්ධය නමැති ඉදිබුවා උදුරා දමව යන්න අර්ථයයි. මස් කපන කැත්ත හා මස් ලොඹුව යනු පංචකාමයට නමකි. කවර පංචකාමයට ද යත් ඇසින් රස වින්දයුතු වූ පි‍්‍රය වූ, කාන්ත වූ, මනාප වූ, කාමසහගත වූ, ඇල්ම ඇතිකරන්නා වූ රූපයෝ ය. කනින් රස වින්ද යුතු වූ පි‍්‍රය වූ, කාන්ත වු, මනාපවූ, කාමසහගත වූ, ඇල්ම ඇති කරන්නා වූ ශබ්දයෝ ය, නාසයෙන් රස විඳිය යුතු වූ පි‍්‍රය වූ, කාන්ත වූ, මනාප වූ, කාම සහගත වූ, ගන්ධයෝ ය. දිවෙන් රස වින්ද යුතු වූ පි‍්‍රය වූ, කාන්ත වූ, මනාප වූ, කාම සහගත වූ, ඇල්ම ඇති කරන්නා වූ රසයෝ ය. කයින් රස විඳිය යුතුවූ, පි‍්‍රය වූ, කාන්තවූ, මනාප වූ, කාම සහගත වූ, ඇල්ම ඇතිකරන්නා වූ ස්පර්ශයෝ ය.

සුමේධය, ආයුධය ගෙන සාරා කැත්ත හා මස් ලොඹුව වැනි පඤ්චකාම ගුණ උදුරා දමව යන්න අර්ථයයි. මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. සුමේධය, ආයුධය ගෙන සාරා මස් වැදැල්ල නම් වූ නන්දිරාගය දුරු කරව යන්න අර්ථයයි.

නාගරාජ යනු කෙලෙස් නැතිකළ රහතන් වහන්සේට නමකි. නාගරාජ තෙම සිටීවා, නාගරාජයාට කරදර නොකරව, නාගරාජයාහට නමස්කාර කරවයි යන්නෙහි තේරුම එයයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගත්හ.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]