UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘සිල් සමාදන් වීමෙන් දස පාරමිතා සපිරෙයි’

ජාතක කථාවල පදනම පාරමිතා වේ. පාරමිතා යනු තුන්තරා බෝධීන් වන බුදු, පසේ බුදු (පච්චේක), රහත් (අරහත්ත), බව ලැබීම සඳහා සම්පූර්ණ කළයුතු දානාදී ගුණදහම්ය. බුද්ධ කාරක ධර්ම, බුදුකුරු දහම් යන නම් වලින් එය ද හැඳින් වේ. ප්‍රඥාධික ගණයට අයත් වූ අප මහා බෝසතාණන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක (4) කාලයක් පාරමී දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. තුන්තරා බෝධීන් වන බුදු, පසේ බුදු, මහරහත් බව සඳහා පාරමිතා දහයක් සම්පූර්ණ කළයුතුය. විස්තර වශයෙන් ගත්කල, කොටස් තිහකට (30) බෙදෙන අතර – එක – එකක් “පාරමිතා” – ‘උපපාරමිතා,’ ‘පරමාර්ථ පාරමිතා’ යනුවෙන් තුන් වැදෑරුම් ය. එවිට දසපාරමිතා තිහක් (30) ගොඩ නැගේ. තමන් සතු බාහිර වස්තු පරිත්‍යාගය – ‘පාරමී’ වන අතර තම ශරීරයේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් පරිත්‍යාග කිරීම – ‘ උපපාරමිතා’ වන අතර, තම ජීවිතය පරිත්‍යාග කිරීම ‘ පරමාර්ථ’ පාරමිතා වේ.

බුද්ධත්වය ලැබීම සඳහා දසපාරමිතාව පිරීමේදී, විස්තර කළ පරිදි, එක – එකක් පාරමි, උපපාරමී, පරමාර්ථ පාරමී වශයෙන්, දසපාරමිතා තිහම (30) ම සම්පූර්ණ කළ යුතු වේ.

දාන පාරමිතාව ශීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, දසපාරමිතාවන්ය. තමන් සතු - බාහිර වස්තු පරිත්‍යාගය කරමින්, තම ශරීරයේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් පරිත්‍යාග කරමින්, තම ජීවිතය පරිත්‍යාගය කරමින්, ‘දසපාරමිතාවෙහි’ පළමු පාරමිතාව වන දාන පාරමිතාව කොටස් තුන (3) කින් ද, ශීල පාරමිතාව පුරා ගැනීම සඳහා තමන් සතු - බාහිර වස්තු පරිත්‍යාගය, තම ශරීරයේ ඇස්, කන්, ආදී ඉන්ද්‍රියන් පරිත්‍යාග කරමින්, තම ජීවිතය ද පරිත්‍යාග කරමින් එම කොටස් තුනද (3) සම්පූර්ණ කළ යුතුවේ. මේ ආකාරයටම නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව ද තුන් වැදෑරුම් වූ තමන් සතු බාහිර වස්තු පරිත්‍යාග කරමින්, තම ශරීරයේ ඇස්, කන්, ආදී ඉන්ද්‍රියන් පරිත්‍යාග කරමින්, තම ජීවිතය පරිත්‍යාග කරමින් දස පාරමිතාව මෙලෙස තිස් ආකාරයකින් සම්පූර්ණකොට අවසානයේ තුන්තරා බෝධීන්ගෙන් පළමු බෝධිය වූ ලොව්තුරා බුදු පදවියට පැමිණේ.

අප මහා බෝසතාණෝ සපුරාලූ සමත්‍රිසෙත් පාරමිතාවන් අතුරෙන් නිදසුන් ;මසේ ගෙනහැර දැක්විය හැකිය.

දාන පාරමිතාව - වෙස්සන්තර ජාතකය
සීල පාරමිතාව - සංඛපාල ජාතකය (භූරිදත්ත)
නෙක්ඛම්ම පාරමිතාව - මඛාදේව ජාතකය
ප්‍රඥා පාරමිතාව - උම්මග්ග ජාතකය (සත්තු භත්ත)
වීර්ය පාරමිතාව - වණ්ණුපථ ජාතකය අපණ්ණක මහාජනක ආදී
ක්ෂාන්ති පාරමිතාව - ක්ෂාන්තිවාදී ජාතකාවන්හිදී
සත්‍ය පාරමිතාව - සුතසෝම ජාතකය
ධිෂ්ඨාන පාරමිතාව - මුපපඣ, තේමිය ජාතකාවන්හිදී
මෛත්‍රී පාරමිතාව - චුල්ල ධම්ම පාල ජාතකාවන්හිදී මහා කපි ජාතකය
උපේක්ෂා පාරමිතාව - ලෝම හංස ජාතකය
දසපාරමිතාවන් සම්පූර්ණ කළ ආත්ම භවයන් වේ.

අබුද්ධෝත්පාද කාලවල පහළ වන්නාවූ පසේ බුදු කෙනෙකුන් වීම සඳහා කල්ප කාල ලක්ෂ දෙකක් (2) පාරමීදම් පිරියයුතු අතර අනුන්ගේ උපකාරයකින් තොරව නිවන කරා පැමිණේ. ලෝකයාට ධර්මය දේශනා කිරීමට සමත් නොවේ. එම පසේ බුදු පදවිය සඳහා දසපාරමිතා කොටස් වශයෙන් විස්සක් (20) පමණක් පිරිය යුතු වේ. එකිනෙක පාරමිතා දහය පිරීමේදී තම බාහිර වස්තු පරිත්‍යාගය, තම ශරීරයේ ඇස් කන් ආදී ඉන්ද්‍රියන් පරිත්‍යාග කරමින් පාරමිතා දහයම එකිනෙක 20 ක් වන සේ සම්පූර්ණ කළයුතු ය. පසේ බුදු තනතුර සඳහා තම ජීවිතය පරිත්‍යාගය කිරීම අවශ්‍ය නොවේ. තුන්තරා බෝධීන්ගේ තුන්වන බෝධිය වූ මහරහත් පදවිය සඳහා කල්ප කාල ලක්ෂ එකක් (1) පාරමී දම් පිරිය යුතු අතර, දසපාරමිතා කොටස් වශයෙන් දහයක් (10) පමණක් පිරීම සෑහේ. එකිනෙක පාරමිතා පිරීමේ දී, තම බාහිර වස්තු පරිත්‍යාග කරමින් දසපාරමිතාව සම්පූර්ණ කළ අවසානයේ මහරහත් පදවිය සාක්ෂාත් කරගැනීමට හැකිවේ.

මෙලෙසින් දසපාරමිතා සම්පූර්ණ කිරීමෙන්, බුදු පසේබුදු, මහරහත් භාවයට පැමිණීමේ නිවන් දොරටු විවරවේ.

සිල් සමාදන් වීමෙන් ද දසපාරමිතාව සම්පූර්ණ කර ගැනීමට පුළුවන.

පොහෝ දින සිල් සමාදන්ව නුවණින් ක්‍රියාකොට ‘දසපාරමිතා’ සම්පූර්ණ කරගනිමු.

(01) දාන පාරමිතාව - ( ‘මම පරිත්‍යාගශීලී වෙම්වා’ )

මල්පූජා, පහන් පූජා, ගිලන්පස පූජා, ආහාර පූජා කිරීමෙන්, කෙනකුට දානයක් දීම, දානයකට සහභාගී වීමෙන් ද, ධර්ම කථිකයන් වැඩම කරවා බණ කියවීම, තමා බණ කීමෙන් ද, කෙනකුට ඇසෙන සේ බණ පොතක් කියවීමෙන් ද, දාන පාරමිතාව පිරේ.

(02) ශීල පාරමිතාව - (‘මම නිර්මල චරිතයක් ඇත්තෙක් වෙම්වා’) (‘මැනවින් සංවර වෙම්වා’)

කය - වචනය සංවර කර ගැනීමෙන්, ශීල පාරමිතාව පිරේ. ශීලය සමාදන් වී සිටින නිසා පහසුවෙන් මෙම පාරමිතාව පිරීමට පුළුවන.

(03) නෙක්ඛම්ම පාරමිතාව - (නෛෂ්ක්‍රමය) (‘මම පරාර්ථකාමීත්වය තුළින් ආත්මාර්ථය සලසා ගන්නෙකු වෙම්වා’)

අඹුදරුවන්ගෙන් වෙන්ව, ස්වාමියාගෙන් වෙන්ව, රාත්‍රී භෝජනය නොගෙන, අලංකාර වස්ත්‍රාභරණ නොපැළඳ, නැටුම් බැලීම් ආදී දේ වැළකීමෙන්, සුව - පහසු නිවස අත්හැර, දහම් හලකට වී පැදුරක වාසය කිරීම, කාමය කෙරෙන් ඈත්වීමෙන්, නෙක්ඛම්ම පාරමිතාව පිරේ.

(04) ප්‍රඥා පාරමිතාව - (‘මම නුවණැති වෙම්වා’) – (‘අනුනට නුවණ දීමට සමත් වෙම්වා’

පොහෝ දින ප්‍රඥාව ලැබීමට දහම් නිවැරැදිව ශ්‍රවණය, දහම් පොත පත කියවීම, ධර්ම සාකච්ඡා කිරීමෙන්, තමා දත් ධර්මය අනිත් අයට කියා දීමෙන්, භාවනා කිරීමෙන්, ප්‍රඥා පාරමිතාව පිරේ.

(05) වීර්ය පාරමිතාව - (‘ මම සිතින් ද කයින් ද වචනින් ද ශක්තිමත් වෙම්වා’ )

‘ අනුනට සෙත සැලසීමට සමත් වෙම්වා’

පොහෝ දින අප ශීලය රැකගැනීමට ධූතංග රැකීම, භාවනායෝගී වීමට, ධර්මය ශ්‍රවණයට, වත් – පිළිවෙත් කිරීමට කරන වීර්ය – වීර්යය පාරමිතාවයි.

(06) ඛන්තී පාරමිතාව - (‘ ක්ෂාන්තී පාරමිතාව‘ ) – ‘මම තරහ නැත්තෙක් වෙම්වා’

සිල් සමාදන් ව බඩගින්න ඉවසීම, පිපාසය, ශාරීරික වේදනා ඉවසීම, මැසි - මදුරු කරදර, ශීත – උෂ්ණ ඉවසීම, අන්‍යන්ගේ අපහාස ඉවසීම මගින් ක්‍ෂාන්තී පාරමිතාව සම්පූර්ණ කරගැනීමට හැකිවේ.

(07) සත්‍ය පාරමිතාව - (‘ සච්ච පාරමිතාව‘ ) – (‘ මම සත්‍යවාදී වෙම්වා’)

අප මේ පොහොය දිනයේ දී සත්‍ය පාවිච්චි කිරීම, සත්‍යයෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ.

(08) අධිෂ්ඨාන පාරමිතාව - ‘ මම මලක් මෙන් මොළොක් ද ගලක් මෙන් දැඩිද වෙම්වා’

‘ අයෝමය චිත්ත බලයක් ඇත්තෙක් වෙම්වා’

මම මෙපමණ ශීලය රකිමියි, මෙපමණ කාලයක් භාවනා කරමියි අධිෂ්ඨාන කරගෙන, ඒ අධිෂ්ඨාන කරගත් පරිද්දෙන් මේ පොහොය දිනයන්හිදී එම අධිෂ්ඨානය සම්පූර්ණ කිරීමෙන් මෙම පාරමිතාව පිරේ.

(09) මෛත්‍රී පාරමිතාව - (‘මෙත්තා පාරමිතාව‘) ‘ මම කාරුණික ;වම්වා’

(‘දයාබර වෙම්වා’) – ‘මෙත්සිත් ඇත්තෙක් වෙම්වා’

මෛත්‍රී භාවනාව කිරීමෙන්, පහන් දල්වා තැබීමෙන්, සහ අනුන්ගේ යහපත වෙනුවෙන් ඇමදීම් – කසළ ඉවත් කිරීම්, පැන් සපයා තැබීම්, ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියා කිරීමෙන් ද, අනුන්ගේ සිත් සතුටුවන පරිද්දෙන්, යහපත් වචන කථා කිරීමෙන්ද, මෛත්‍රී පාරමිතාව පිරේ.

(10) උපේක්ෂා පාරමිතාව - (‘මම නිවුණු සැනසුණු සාධාරණ සමතුලිත සිත් ඇත්තෙක් වෙම්වා’)

පිරීමට අපහසුම පාරමිතාව මෙයයි. අපවිත්‍ර සිරුරකින් හෙබි අපවිත්‍ර රෙදිපිළි හැඳගත්, අය විවිධ ලෙඩ රෝග හටගත්, බැලීමට අපහසු, කැත දුගඳ අවලස්සන අය, පිළිකුල් නොකර සිටිය යුතුයි. සතුරන්ට නපුරුකම් නොකළ යුතුයි. කැත – නරක කියන දේ පිළිකුල් නොකර, ලස්සන අයට, හිතවතුන්ට, උසස් අයට, වැඩිපුර ඇල්මක් - සැළකිල්ලක් නොදක්වා, හොඳය කියන දේ ටද වැඩි ඇල්මක් නොදක්වා, මේ පෝය දිනයන්හි, සියල්ලන් කෙරෙහි මධ්‍යස්ථව වාසය කිරීමට හැකිනම් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරගැනීමට හැකිවේ.

අපද මේ ධර්ම මාර්ගය තේරුම්ගෙන, මරණයෙන් මෙපිට මේ ගෞතම බුද්ධ සාසනයේදීම, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, අප හැමදෙන පතන බෝධියකින් අමා නිවන ලබාගැනීමට, මේ ධර්මය උපකාරම වේවා...!

 

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]