UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රන් වැටෙන් ඔපවත් වන මලල්පොල ශෛලතලාරාමය


විහාර මැඳුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මීදුමෙන් පිරි කඳුයාය සිපගෙන හමා එන්නේ සිසිල් සුළඟකි. නැවුම් තේ දල්ලක දැවටුණු ඒ සුළඟේ සුවය ගත සිත පුබුදුවයි. වචනයෙන් අකුරු කළ නොහැකි වූ මෙම අපූර්වත්ය අප දෑස් අග මවන්නේ මනරම් දසුන් පෙළකි.


රන් වැටෙන් ඔපවත් වන බෝධීන් වහන්සේ

හරිත නිම්නයෙන් පිරි කඳු වළල්ල මැදින් ඇසෙන ගාණ්ඨාර හඬත්, සාදුකාර දෙන උවසු උවැසියන්ගේ හඬත් කඳු යාය මැදින් රැව් පිළිරැව් නඟන්නේ සිල් සුවඳ උතුරා ගලා යමිනි.

මේ සොබා දහමට අනුගතවු අපූර්වත්වයකි. මෙවර සදහම් චාරිකාව ඇරැඹෙන්නේ මෙවන් සුන්දරත්වයෙන් ඔද වැඩුණු සදහම් පුද බිමකටය. ඒ තුන් කෝරළයේ බෞද්ධ බැතිමතුන්ගේ ඉමහත් ගෞරවාදරය හිමිකරගත් යටියන්තොට මලල්පොළ ශ්‍රී ශෛලතලාරාමය විහාරස්ථානයයි. ඕලු මල් අහුරක් සේ ගලා හැලෙන ඕලු ඇල්ලත්, සිසිල් දිය පිරි වී ඔය කැලණි ගඟට එක්වන චමත්කාර පරිසරය මේ පුද බිමට මං සලකුණු තබයි. පුංචි නුවරඑළිය නම් වෑවියතලාවත් ලංකාවේ දැනට ඉතිරිව ඇති එකම ලෑලි පාලමත් මේ සදහම් චාරිකාවේ වඩා නිවාලන තවත් සුවිශේෂි ස්ථාන කීපයකි.

කෑගල්ල දිස්ත්‍රිකයේ යටියන්තොට නගරය බෞද්ධ සැමට හුරු පුරුදු නමකි. සමන් දෙවියන්ගේ අඬවිය ආරම්භය සනිටුහන් කරන යටියන්තොට නගරයේ සිට මලල්පොළ ග්‍රාමයට ඇත්තේ කිලෝමීටර් 10 තරම් දුරකි. 1918 වසරේ ආරම්භය සනිටුහන් කරන විහාරස්ථානය ගොඩනැඟීමට පුරෝගාමී වන්නේ මහනුවර අස්ගිරි පාර්ශවයේ පහත හේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක ඇතුල්ගල ශ්‍රී ධම්මරතන නාහිමියන් ය.

කඳු ගැටයක් මත ඉතා කුඩාවට තැනූ මෙම විහාරය ඉදි කිරීමට එදා උන්වහන්සේ ගත් වෙහෙස මහන්සිය අපමණය.

අව්‍යාජ ගැමි ජනතාවගේ බොදු පහස සනසාලන මේ බිමේ අඩුපාඩුකම් හා දුෂ්කරතා විඳ දරා ගනිමින් පැමිණි ධම්මරතන හිමියන්ගේ ගමනට පසුව නායකත්වය ලබා දෙන්නේ වළල ශ්‍රී අභිධාන නා හිමියන් ය. ගමන දුෂ්කරය, අඩුපාඩු බොහෝ ය. මේ සියලු දේ ජය ගනිමින් බැති සිත් පුහුදු කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙසින් 1932 ආරම්භ කළ විහාර බිමේ වැඩ වසර දහයක් වැනි කාලයකින් අවසන් කිරීමට හැකියාව ලැබුණෝ නොසිතූ ලෙසිනි.


විහාරාධිපති විල්ගමුවේ රතනසාර හිමි

කාලය කෙමෙන් ගෙවී ගියේ ය. මලල්පොළ ග්‍රාමයේ ජනතාව සැම විටම සෑම කටයුත්තක්ම පන්සල මුල් කර ගනිමින් සිදු කිරීමට අමතක නොකළෝ ය.

පසු කලෙක විල්ගමුවේ රතනසාර හිමියන් විහාරාධිපතිත්වයට පත්වන්නේ හැත්තෑව දශකයේ ය. ගමේ ජනතාවට සමීප වීමට වැඩි කාලයක් ගත නොවූහ. සැබෑම බෞද්ධ ප්‍රබෝධයක් පුබුදාලන්නට හැකියාව ලැබූ උන්වහන්සේ ගම පන්සලෙහි සහබන්ධනය වර්ධනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් පන්සලට අවශ්‍යව තිබූ බොහෝ අඩුපාඩු කෙටි කාලයක් තුළ සම්පූර්ණ කර ගැනීමට ද හැකි විය. උන්වහන්සේ යටියන්තොට ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර දරමින් කැපවීමෙන් කටයුතු කරති.

එසේම මලල්පොළ මහ විදුහලේ ආචාර්යවරයකු ලෙසින් ද සේවය කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් මලල්පොළ විහාරස්ථානයට ආධාර උපකාර කිරීමට රජයේ මැති ඇමැතිවරුගේ ද අවධානය යොමු වී තිබුණි.

1992 වසරේ දී ආරම්භ කළ චෛත්‍ය ගොඩනැඟීමේ කටයුත්ත 2005 වසර වන විට අවසන් වූයේ එවකට බුද්ධ ශාසන ඇමතිව සිටි රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ මග පෙන්වීමෙනි.


ධර්ම ශාලාව

රතනසාර හිමියන්ගේ සේවයට අත්වැලක් වූ විහාරස්ථානයේ සමිති සමාගම් ද රැසකි. ගමේ ළමුන් කිහිපදෙනකුගෙන් ආරම්භ කළ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ අද සිසුන් 240 කට අධිකය. ගුරුවරුන් දහ අට දෙනකුගෙන් යුත් මේ දහම් පාසලේ දරුවන් ලැබූ ජයග්‍රහණ ද රැසකි. සිරිලක බොදු දරුවෝ ළමා සමාජය ද විහාරස්ථානයේ දුරුවන්ගේ එකමුතුකම කියාපාන කදිම සංවිධානයකි.

උන්වහන්සේගේ මේ සියලු සේවාවන් පසුපස දැවැන්ත ශක්තියක් වන්නේ විහාර කාර්යය සාධක සමිතියයි. ප්‍රජා වර්ධන ශීල සමිතියත්, තරුණ බෞද්ධ සමිතියත් යන සියලු සමිති එකමුතුවෙන් මෙම විහාරයට තවත් අඩුපාඩුවක් සපුරා තිබෙන්නේ විශාල මුදලක් හා ශ්‍රමයක් යොදවමිනි. ඉතාමත් අලංකාර වූ බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීම ද මෙම විහාරස්ථානයට තවත් සුවිශේෂ සිදුවීමකි. මේ මස 20 දින එනම් අද අගමැති දී.මූ. ජයරත්න මැතිතුමාගේ සුරතින් විවෘත වූ මෙම රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු ඇතුළු ආරාධිතයන් රැසක් එක්වුහ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වන අතර මෙම අවස්ථාව වෙනුවෙන් දින 4 ක් පුරා ආගමික වැඩසටහන් රැසකි.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]