UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව දී වෙසක් උත්සව මාලාවක්

දඹදිව වෙසක් පුණ්‍ය මහෝත්සවය ඉතා ඉහලින් සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් විසින් කටයුතු යොදා ඇත.

මැයි මස 26,27,28 යන තෙදින මෙකී උත්සවය කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරය බුද්ධගයාව, බරණැස ඉසිපතන මිගදාය, කුසිනාරා නුවර, ලුම්බිණි සල් උයන, නව දිල්ලි නුවර, ආන්ද්‍රා ප්‍රාන්තය මහාරාෂ්ඨ ප්‍රාන්තය ඔරිස්සා යන ස්ථානයන්හි සිදුකිරීමට කටයුතු යොදා ඇත.

කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ මැයි 26 දා කල්කටාව අවට ආරෝග්‍ය ශාලාවන් හි ශ්‍රමදානයක් මහා බෝධි සමාගමේ සාමාජික සහභාගිත්වයෙන් සිදුවේ. 27 දා උදෑසන අටසිල් සමාදන්වීම, බුද්ධපූජාව සහ ඉංගී‍්‍රසි බෙංගාලි භාෂාවලින් මුද්‍රිත දහම් පොත් බෙදා දීම, සවස 2.30 ට මහාබෝධි සමාගම සමග බටහිර බෙංගාලයේ ඇති බෞද්ධ සංගම හතලිස් දෙකකින් සමන්විත වෙසක් පෙරහැර ආරම්භ වේ.

සවස හතරට ආරම්භ වන වෙසක් මහා උත්සව සභාවේ ප්‍රධාන දේශනය තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමින්වහන්සේ විසින් සිදුකරන අතර ඉන්දියාවේ තීරුබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්‍ෂක ඍෂිකේස්සරණ මහතා විසින් චිත්‍ර සහිතව සම්පාදනය කරන ලද හින්දි ධම්මපදය එලිදැක්වීම සිදුවේ. සවස ධම්මචක්කදේශනාව සහ පහන් පූජාව සිදුවේ. සිසිල් පැන් දන්සැලක් බටහිර බෙංගාල බෞද්ධයින් විසින් ධර්මරාජික විහාරයේ සංවිධානය කර ඇත. 28 දා කල්කටාව අවට ආරෝග්‍යශාලාවල රෝගීන් සඳහා පලතුරු සහ කෑම බීම බෙදාදීම සිදුවේ. කල්කටාව අවට පදිංචි ශි‍්‍ර ලංකාවාසී පවුල් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද විශාල පිරිසක් මෙවර බටහිර බෙංගාල වෙසක් උත්සවයට සම්බන්ධවීම විශේෂ සිද්ධියකි.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් බුද්ධගයා මධ්‍යස්ථානයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි මස 27 දා ඉන්දීය මහාබෝධි සමාගමේ උප ලේකම් සහ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පැලන්වත්තේ සීවලී හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවේ. විජය ශ්‍රී ජය ශ්‍රී මහබෝධින් වහන්සේ අභියස දී එදින පෙරවරු 6.00 ට අෂ්ඨාංගශීල සමාදානය, බුද්ධ පූජා පින්කම ආරම්භ වන අතර එදින පුරා ධර්ම දේශනා භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා ඇතුලත් වේ. දහවල මහ සගරුවන උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. සන්ධ්‍යා භාගයේ දස දහසක් පහන් දැල්වීම, බෝධි පුජාව සහ ලෝක සාම ප්‍රාර්ථනාවෙන් අනතුරුව සංස්කෘතික සංදර්ශනයක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. එය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කෑගල්ලේ සාම චාරිකා සංවිධානය මගිනි.

ඉන්දියානු මහාබෝධි සමාගමේ සාරානාත් මධ්‍යස්ථානය වන බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධකුටි විහාරයේ එම මධ්‍යස්ථානාධිපති ඉන්දීය මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම් කහවත්තේ සුමේධ හිමියන් ඇතුළු බරණැස ඉසිපතන මිගදායේ වැඩසිටින ශ්‍රී ලාංකික ධර්මදූත භික්‍ෂූන් වහන්සේ ඉන්දීය මහාබෝධි සමාගමේ සාරානාත්හි පිහිටි පාසල්වල ගුරු දෙගුරුන්ගේ සංවිධායකත්වයෙන් සිදුවන බෞද්ධ උත්සව සභාවේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ගෞතම් සෙන් ගුප්තා, උත්සව සභාවේ මූලාසනය සඳහා උතුරු ඉන්දියාවේ පූර්වන්චල් විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.සී.සරස්වත්, ප්‍රධාන කථිකයා ලෙස බරණැස් නුවර හින්දු විශ්ව විද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අංශාධිපති මහාචාර්ය සීතාරම් දූබේ යන මහත්වරු ඇතුලු සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වෙති.

වෙසක් පොහෝ දින උදෑසන සිට සිදුවන සීල, භාවනා, ධර්මදේශනා, බුද්ධ පූජා, බෝධිපූජා පින්කම් මාලාවන්ට අමතරව දුගී මගී යාචකාදීන්ට වියලි ආහාර හා පාසල් සිසු සිසුවියන්ට පොත් පත්, පෑන්, පැන්සල්, ලිපි ද්‍රව්‍ය, පරිත්‍යාග කිරීම කොළඹ කොල්ලුපිටියේ කාමරන් පෙදෙසේ පදිංචි නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ දායකත්වයෙන් හා විදුලි ආලෝක පූජා කොළඹ 06 හැව්ලොක් පාරේ පදිංචි දොස්තර ජයසුමන හා කමලනී වරුසවිතාරණ පවුලේ පිංවතුන්ගේ දායකත්වයෙන් සිදුවේ.

නව දිල්ලියේ මෙවර වෙසක් උත්සවය ඉතා උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානාධිපති මානියංගම නන්දසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් හා ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් පුන් පොහෝ දින ශ්‍රී බුද්ධ විහාරයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. එදින උදෑසන සිට සිදුවන සීල, භාවනා, ධර්මදේශනා , බුද්ධ පුජා, බෝධි පුජා පිංකම් මාලාවේ විශේෂ දේශනයක් දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අංශාධිපති අග්ග මහා පණ්ඩිත සත්‍යපාල මහාතෙරුන් වහන්සේ විසින් පැවැත්වීමට නියමිතය. මීට අමතරව වෙසක් පහන් කූඩු තරගයක්ද සූදානම් කර ඇත.2010 මැයි 30 දා විශේෂ භාවනා හා සීලසමාදාන වැඩසටහනක් ජයන්ත සෙනෙවිරත්න මහතා විසින් මෙහෙයවනු ලැබේ.

සිදුහත් මහාබෝසතාණන්ගේ උප්පත්තිය සිදුවු නේපාලයේදි ඉන්දියානු මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානාධිපති කිරිගල්වැවේ වනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මහාමායා විශ්වශාන්ති බුද්ධ විහාරයේදී වෙසක් පොහෝ දින සිදුවන සීල භාවනා, ධර්මදේශනා, බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාවන්ට අමතරව විශේෂ ආලෝක පුජා පින්කමක්ද සිදුවේ. එමෙන්ම ඉන්දියානු මහා බෝධි සමාගමේ ඔරිස්සා මධ්‍යස්ථානය වන කලිංග බුද්ධ විහාරයේදී ද එම මධ්‍යස්ථානාධිපති ගස්පේ සද්ධාතිස්ස හිමියන්ගේ මුලිකත්වයෙන් අෂ්ඨාංගශීල සමාදානය බුද්ධ පුජා සීල භාවනා බෝධි පුජා ආදි විශේෂ වෙසක් පින්කම් මාලාවක් සිදුවේ.

 

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]