UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘අධ්‍යාත්මික සංවර්ධනය අපගේ අරමුණ යි’

වීතරාගී ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ගේ අසිරිමත් තෙමඟුල යෙදී ඇති වෙසක් පොහොය බුදු දහමෙන් පෝෂණය වූ සිරිලකට ඉතා වැදගත් දිනයකි.ඒ උතුම් දිනය මිනිස් සමාජයේ ප්‍රගතියට යොදාගත හැකි බවට කිසිදු සැකයක් නොමැත. ඒ සඳහා අප කළ යුත්තේ බුද්ධියට මුල් තැන දුන් බුදුන් වහන්සේ ගේ සද්ධර්මය අනුගමනය කිරීම ය. උතුම් ම දානය වන ධර්ම දානය සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය කැපවනුයේ ඒ උතුම් පරමාර්ථය ඇතිව ය.

දිවයින පුරා ඇති වෙහෙර විහාර දහසක දී පමණ ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පතෙහි පිටපත් ලක්‍ෂ තුනක් වෙසක් පොහෝ දා නොමිලේ බෙදාදීම එම පරමාර්ථය ඉටුකර ගැනීමට ගත් එක් උත්සාහයකි.

පස්වන වරටත් අඛණ්ඩව පවත්වා ගෙන එන මේ උතුම් ධර්ම දානමය පින්කමට මෙවර වැඩි වටිනාකමක් ලැබී තිබේ. තිස් වසරක් පුරා රටට මහත් විපතක් වී තිබූ රුදුරු ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම ඊට හේතුවයි. ඒ රුදුරු ත්‍රස්තවාදය නිසා විපතට පත් වූවන් සුවපත් කිරීමට මෙන්ම රුදුරු ත්‍රස්තවාදය යළි මතු නොවීම සඳහා ද අධ්‍යාත්මික සංවර්ධනයක් රට තුළ ඇති කිරීමට බුදුන් වහන්සේ ගේ පණිවිඩය තරම් අගනා මඟ පෙන්වීමක් අපට තවත් නැත. ඒ මහඟු කාර්යය සඳහා ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ මඟ පෙන්වීම අපට ලැබී තිබේ.


රුවන්වැලි මහ සෑ රදුන් අබියස දී පැවැති දොළොස් මහේ පිරිත් දේශනාව අවසානයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතෙහි රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් විසින් පිරිත් නූලක් බැඳ සෙත් පැතූ අයුරු.

රට තුළ නිදහසේ වන්දනා මාන කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ ගරු ජනාධිපතිතුමා එයින් නොනැවතී සදාචාරවත් සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළකට ද නායකත්වය සපයයි. නිදහසේ නාගදීපය වන්දනා කරන සැදැහැවත් බෞද්ධයන් ජාතීන් අතර සමඟිය ද වර්ධනය කිරීමට උරදෙන අයුරු දකින විට ජනාධිපතිතුමා ගේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය අපට හොඳින් පෙනේ. මෙහිදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශය දියත් කර ඇති වැඩසටහන් මඟින් යම් දායකත්වයක් සැපයීමට හැකිවීම ගැන අපට ද සතුටු විය හැකි ය. මතින් තොර රටක් බිහි කිරීමේ ප්‍රයත්නය එයින් එක් වැඩසටහනකි. විශාල පිරිසක් මත් උවදුරෙන් නිදහස් කර ගත් අපට ඒ සදාචාරවත් සමාජය බිහි කිරීම සඳහා බුදුන් වහන්සේ දේශනා කොට වදාළ දහම් පණිවිඩය මහඟු පිටිවහ ලක් වූ බව කිවයුතු නැත.

සමාජ සංවර්ධනය නමැති ඉලක්කය සපුරා ගැනීම සඳහා අප ගන්නා උත්සාහයට දිළිඳුකම තුරන් කිරීම යැයි කිව හැකි ය. එහෙත් එය භෞතික දිළිඳුකමට පමණක් සීමා වූ වැඩපිළිවෙළක් නොවේ. අධ්‍යාත්මික දිළිඳුකමද තුරන් කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අරමුණයි.

පසුගිය නවම් පුර පොහොය දින අවසන් වූ අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අබියස පැවැති දොළොස් මහේ පරිත්‍රාණ ධර්ම දේශනයට අනුග්‍රහය ලබාදීමට අපට හැකිවීම ඉමහත් භාග්‍යයකි. එම පිරිත් දේශනය ආරම්භ කරන විට රටේ පැවැති තත්ත්වය හා එය අවසන් කරන විට රටට හිමි වූ ජයග්‍රහණ පිළිබඳව අප සියලු දෙනාට සතුටු විය හැකි ය. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ හා රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම පින්කම අවසානයේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සී අනුනාහිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ගේ ද සහභාගීත්වයෙන් දෙදහස් පන්සිය නමක් මහ සඟ රුවන උදෙසා මහා දානමය පින්කමක් පැවැත්විණ. ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යවරයා ලෙස එවකට සිටි එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සුවිශේෂ දායකත්වය මෙන්ම සමෘද්ධි කණ්ඩායම් ඉටු කළ මෙහෙය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.


එම පිරිත් දෙසුම අවසානයේ දී මල්වතු විහාර පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසින් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූ මොහොත.

අභිනවයෙන් පිහිටුවන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි අධිකාරිය අධ්‍යාත්මික සංවර්ධන කටයුතු රාශියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ලැබෙන සහයෝගය අතිමහත්ය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගන්නා උත්සාහයට අපට ද දායක වීමට හැකිවීම සතුටට කරුණකි. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම රට සංවර්ධනය විය යුතු ය. එයට බුදු දහමෙන් අපට විශාල ආලෝකයක් ලැබේ.

බුදුරදුන් ගේ අසිරිමත් ලංකාගමනය සිදු වූ මහියංගණය පුදබිමෙහි මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වීම වැදගත් යැයි සිතමු. එම වැදගත් අවස්ථාවට සමෘද්ධි අධිකාරිය සම්ප්‍රදායික නොවන අයුරින් දායක විය. ඒ, මහියංගනය රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් ගේ වර්ණ ඡායාරූපමය තිළිණයක් වෙසක් බුදුසරණ පත්‍රය සමඟ නොමිලයේ ලබාදීමට දායක වීමෙනි. එයට අමතරව මෙවර වෙසක් බුදුසරණ පත්‍රයේ පසු කවරය සඳහා නාගදීප රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් යොදා ගැනීමට ද අපි දායකත්වය සැපයූවෙමු. මේ සියල්ල අපගේ පූජනීය ඓතිහාසික උරුමයන් ජනතාව වෙත සමීප කිරීමට ගත් උත්සාහයන් ය.

අපගේ ධර්ම දානමය පින්කම සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සැමට තෙරුවන් සරණ පතමු.

 

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]