UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය වෙසක් උත්සවය සහ මහානාග උයන

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වන මස එළඹි දුරුතු පුර පසළොස්වක පුන් පෝදා ශ්‍රී ලංකාදීපයේ මහානාග නම් රමණීය උද්‍යානය වෙත වැඩිය බව මහාවංසයේ සඳහන් වෙයි. එනම් අදට වසර 2598 කට පෙර ය.මේ සංචාරය සිදු වූයේ ඉන්දියාවේ අලහබාත් තොටින් දියත් කළ ජල යාත්‍රාවකින් යැයි මහා වංසයෙත්, මහා වංස ටීකාවෙත් සඳහන් කර තිබේ.


මියුඟුණු සෑ රදුන් නව වාහල්කඩ තුළින් දිස්වන අයුරු

එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනද වෙයි. මහානාග වන උයන පිහිටියේ බින්තැන්නේය. බින්තැන්න පාලි භාෂාවෙන් ‘මහියංගණය’ ද සිංහලට එය පරිවර්තනය වීමේදී ‘මියුඟුණු’ නමින්ද කියැවෙයි. බින්තැන්නට එදා අයත්ව තිබූ වපසරිය දිගින් සැතැපුම් 48 ක් ද පළලින් සැතැපුම් 16 ක් ද වූ වර්ග සැතැපුම් 768 ක් පමණ ප්‍රදේශයකි.

ලංකාව නම් කාන්තාවගේ පපුවෙහි මුතු හරක් බැඳ ඇත්තේය. ඒ මුතුහර නම් ශීතල ජලයෙන් පිරී ගිය මිනිසුන්ගේ නෙත් පැහැරගන්නා වූ සිත්කළු මහවැලි ගඟයි. මෙසේ සඳහන් වන්නේ සමන්තකූට වර්ණනාවේය.


පුද බිමේ ධාතු මන්දිරය

සැතපුම් 206 ක් දිගැති මහවැලිගඟ සමීපයේ, හුන්නස්ගිරි නම් ඒ සොඳුරු හරිත වර්ණ කඳු පන්තිය ඇසට හසුවන මානයේ තැනි බිමෙක මහිංයගණ පුදබිම පිහිටා තිබේ. පුද බිමේ සුවිශේෂී වූ මිණි කිරුළ වන්නේ මහියංගණ මහා සෑය නොහොත් මියුඟුණු සෑ රදුන් වේ.

සමන්ත කූට වර්ණනාවේ සඳහන් ආකාරයට මෙහි මුල් පදිංචි කරුවෝ යක්‍ෂ , නාග,දේව ගෝත්‍රිකයෝය. එදා ‘මහා නාග ‘ නම සැදුනේ නාග ගෝත්‍රිකයන් එහි සිටි නිසා ය. මෙම නාග ගෝත්‍රිකයන් සමග සංග්‍රාමයට පිළිපන් යක්‍ෂ ගෝත්‍රිකයන් නිසා ඇවිළුණු යුද ගිනි දැල් නිවා සාමය උදාකරදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවිය.

සම්බුදුරජාණන් වහන්සේ යක්‍ෂ සමාගමයට පැමිණ ඔවුන්ගේ හිස මතුයෙහි අහස් කුස වැඩ සිටි සේක.යක්‍ෂයන් බිය වැද්දීම සඳහා මහා සුළඟක් දැඩි වර්ෂාවක් ගන අන්ධකාරයක් මැවූ සේක. මෙම අසාමාන්‍ය දර්ශනයෙන් බියට පත් යක්‍ෂයෝ බුදුන් වහන්සේගෙන් අභය ඉල්ලුවෝය.

“යක්‍ෂයිනි මම තොපගේ බිය හා දුක පහ කරන්නෙමි “ “තොපි සමගි වී , මට මෙතැන ඉඩක් ලබා දීමට කැමැති”ද?”

ස්වාමීනි අපි ඔබ වහන්සේට මේ ලක්ධරණී තලයම දෙන්නෙමු. අපට අභය දුන මැනැවැ”යි පැවැසූ යක්‍ෂයන් අවශ්‍ය ස්ථානය සකසා දෙන ලදී. බිය ද අන්ධකාරය ද ශීත ද නිමා කළ මේ අසිරිමත් පුරුෂෝත්තමයාණන් වහන්සේ එම ස්ථානයේ පත් කඩක් එලා වැඩ හිඳිමින් එම පත්කඩ ගිනි ලා දිදුලුවා , සතර අතින් විශාල කරවූ සේක.ඒ දැඩි රශ්මියෙන් නැවතද පීඩිත වූ යක්‍ෂයෝ ඉන් කෙළවර හාත්පසට වී සිටියහ. ඉනික්බිති මේ උත්තම පුරුෂයාණෝ රම්‍ය වූ ගිරි දිවයින මෙතැනට ළඟා කළ සේක. යක්‍ෂයන් එතැනට ගිය කල එය තිබුණු ස්ථානයේම නැවත ස්ථාපිත කළ සේක.

මේ ආශ්චර්යවත් සිදුවීමෙන් විස්මයට පත් දෙවියන් සර්වඥයන් වහන්සේ වෙත පැමිණි කල්හි උන්වහන්සේ ඔවුන්ට ධර්මය දෙසනා කළ සේක.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මහියංගණයේදී ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරිමහා විහාර පාර්ශ්වයේ අනුනායක මහියංගණ රජ මහා විහාරාධිපති ගලගම අත්ථදස්සී අනු නා හිමියන් වෙත අටපිරිකර පූජා කළ අවස්ථාව

මෙහිදී බොහෝ දෙනා ධර්මාවබෝධය ලැබ සෝවාන් ඵල අවබෝධ කර ගත් අතර ඇතමෙක් තිසරණ සරණයට පත්වූහ.

සමන්ත කූට පර්වත වාසි සුමන නම් දෙව්රජ තෙමේ මෙතැනදී සෝවාන් ඵල ලැබ ගත්තේය. එසේ මහත් වූ ඵලය ලැබ සුමන දෙව් රදුන් සර්වඥයන් වහන්සේගෙන් පිදීමට යමක් ඉල්ලූ කල්හි, නීල නිර්මල කේශ ධාතු අත්ලක් ගෙන සුමන සමන් දෙව් රජිඳුට ප්‍රදානය කළ සේක.එය දෙව් රජ තෙමේ ස්වර්ණමය කරඬුවක් තුළට ගෙන සර්වඥයන් වහන්සේ වැඩ හුන් තැන් හි සත් රියන් වූ ස්තූපයක් ගොඩ නංවන ලදී.

ජීවමාන බුදුන් වහන්සේගේ කේශ ධාතුන් නිධන් කර සෑදු ඒ මහා පිවිතුරු ස්තූපයම තවත් වසර හතළිස් පහක දී බුදුන් වහන්සේ පිරි නිවීමෙන් පසුව දැවෙන සෑයේ නොදැවුණු සර්වඥ ගී‍්‍රවාස්ථි ධාතුව මහත් ඍද්ධී බල ඇති සුරභූ නම් මහ රහතන් වහන්සේ මෙතැනට ගෙනැවිත් නිධන් කර දොළොස් රියන් උසට ස්තූපය විසල් කළහ. ඉනික්බිති දෙවන පෑතිස් රජුගේ සහෝදර උද්ධ චූලාභය කුමරා මේ චෛත්‍යය තිස් රියන් උසට නංවන ලදී. පසුව දුටු ගැමුණු කුමරා චෛත්‍යය අසූරියනක් දක්වා උසට ගොඩනංවන ලදී. මේ මහාවංස කතා ප්‍රවෘත්තියයි.

එදා යක්ෂයින් දමනය කර ඇරලූ ගිරි දිවයින අද හුන්නස්ගිරිය බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. එදා බුදුන් වහන්සේ මෙහි වඩින කල සිටි යක්‍ෂයන් ලේ උරා බොන මාංශ ඉරා කන රුදුරු නොදැමුණු කොට්ඨාසයක් නොව මෙහි වාසය කළ මානව ගෝත්‍රයක් බව ඉතිහාසය විමර්ශනයේදී පසක් කර ගත හැකිය.

විජය කුමාරයා ලක්දිවට සැපත්වීමට පෙර මෙරට ලියැවී ඇති ලෙන් ලිපි 40 ක් පමණ ගවේෂණය කළ ආචාර්ය සුරිය ගුණසේකරයන් පවසන්නේ මෙම යක්‍ෂ ගෝත්‍රිකයන් යමක් දැන උගත් කොට්ඨාසයක් බවයි.

එසේම ක්‍රි.පූර්ව 6 වන සියවසෙහි අනුරාධපුර ප්‍රදේශයේ ජාත්‍යන්තර වෙළෙඳපොළක් පැවැති බවට පුරාවිද්‍යා සාධක සොයා ගත් නිසා ආචාර්ය ශිරාන් දැරණියගල දරන මතයද වැදගත් වෙයි.

මෙම ගවේෂණයන් ගෙන් පෙනී යන්නේ බුදුන් වහන්සේ වැඩි සමයේ මෙහි දියුණු මනුෂ්‍ය කොට්ඨාසයක් විසූ බවයි. කාලය මෙසේ කෙමෙන් ගෙවී ගොස් චෝලාදී ආක්‍රමණයන් සමග නොසලකා හැර විනාශයට පත්වන මියුඟුණු සෑය නැවත ගොඩනංවන්නේ පළමුවන විජයබා (ක්‍රි.ව.1055 -1110) කුමරු බව මහාවංසය සටහන් තබයි.

ඉනික්බිති දීර්ඝ කාලයකට පසු නටබුන්ව පැවැති මහියංගණ චෛත්‍යය නැවත ගොඩ නැංවීමේ ඒ මහා පුණ්‍යකර්මය සිදුකිරීමට ප්‍රථම පස් පිඩැල්ල කැපෙන්නේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතා අතින් 1949 සැපැතැම්බර් 9 වැනි දිනය. 1961 වසරේ සැප්. 21 දා කොත් පැළඳවීමෙන් මියුඟුණු සෑ රදුන්ගේ පුනරුද්ධරණය සිදු කෙරේ.

පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අධීක්‍ෂණය යටතේ 1951 දී සිදු කළ කැණීම් කටයුතු වලදී පළමුවන විජයබා රජතුමාගේ යුගයේදී ප්‍රතිසංස්කරණය කළ ධාතු ගර්භය මතු විය. මෙහිදී වටිනා කෞතුක භාණ්ඩත්, ඓතිහාසික සිතුවම් ආදියත් හමුවෙයි. ඒ අතර බෝමැඩ යට වැඩ වසනා බුදුරුවක සමීපයේ සිටින ඍෂිවරයකුගේ රූපය සහිත සිතුවම ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයකි. එය අනුරාධපුර යුගය දක්වා දිවෙන කලා සම්ප්‍රදායට හිමිකම් කියන බව සෙනරත් පරණ විතානයන්ගේ මතයයි.

සත්රියනින් නැඟී, අසූ රියන දක්වා වර්ධනය වී, අතීත ශ්‍රී විභූතියෙන් ඔද වැඩී ඉතිහාසයේ යම් අඳුරු යුගයන් පසු කරමින් විපත් පිරිපත හමුවේ නොසැලුණු මහා මියුඟුණු සෑ රදුන්ගේ ඒ අසිරිමත් උත්තුංග රූප කාය, සද් ජන නෙත් පිනවමින් සිත් සනසාලීමට මේ ශුද්ධභූමි, නිරාමිස සුව අඩවියේ දී අදත් මතු දිනත් සෑදී පැහැදී නැගී සිටියි.

එසේ ඓතිහාසික වශයෙන් සුවිශේෂී වූ මහියංගණ පූජා භූමියේ දී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීම වැදගත් කරුණකි.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]