Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම පවසන චිත්ත බලවේගය

බුදු දහමෙහි මනසට ඇත්තේ ඒකීය වූද, ඉතා වැදගත්ම තැනකි. බෞද්ධ ආචාර ධර්ම හා දර්ශනය වෙන් කළ නොහැකි ආකාරයට සිත හා වෙලී පවතී. විශ්වයෙහි මිනිසා සතු ඉරණම මෙන්ම ඔහුගේ තත්ත්වයද ඔහුගේ ජීවන රටාවද නිදහස මෙන්ම ඔහුගේ ක්‍රියාවන්හි වගකීම තෝරාබේරා ගැනීමද අවසාන ඉරණමද මේ සිත හා සම්බන්ධව පවතී.

බුදු දහමේ මිනිස් සිතට මෙතරම් වැදගත් තැනක් දීමට හේතු වී ඇත්තේ විශ්වය තුළ තම ඉරණම තම අනාගතය රඳා පවතිනුයේ සම්පූර්ණයෙන්ම තමා අතේම මිස වෙනත් සර්වඥවූද, ඉතා බලසම්පන්නවූද බාහිර බගවේගයක පාලනය හා මඟ පෙන්වීම මත නොවන බැවිනි. මෙලොව මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ වු කෙනෙක් නොමැති අතර මිනිසා තුළ සිතට වඩා ශ්‍රේෂ්ඨ වු දෙයක් නොමැත. සිතට ස්වකීය වු ස්ථානයක් ඇත්තේ යැයි ජෝන් මිල්ටන් නමැති ශ්‍රේෂ්ඨ කවියා පවසා ඇත. අපාය, දිව්‍ය භවනයකට පරිවර්තනය කිරීමට හෝ දිව්‍ය භවනය අපායකට පරිවර්තනය කිරීමට හෝ මේ සිත සමත්වේ.

ඇත්ත වශයෙන්ම මිනිසා වනාහි මහා බලසම්පන්න දෙවියෙකුගේ කැමැත්තට අනුව හෝ අහම්බෙන් සිදුවිය හැකි දෙයින් හෝ එහා මෙහා පැද්දිය හැකි හෝ බිම හෙළිය හැකි, එසේත් නැතහොත් අනුකම්පා විරහිත ඉරණමකින් බැටකනු ලබන අසරණ කෙනෙක් නොවේ. ඉතා බලසම්පන්න සිත මගින් මිනිසා සිය අපාය හෝ සුරලොව මවා ගනියි. සත්‍ය වශයෙන්ම ඔහු තමාගේ ඉරණම පිළිබඳ නිර්මාපකයා (නිර්මාණ ශිල්පියා ) වෙයි.

කර්මය - බුදුදහමට අනුව මිනිසා කතා කරනු ලබන, ක්‍රියාවට නගනු ලබන හෝ ඕනෑම දෙයක් ඔහුගේ සිතින් පෙළඹවීමකි. මග පෙන්වීමකි. සිතෙහි බලපෑමෙන් හෝ පාලනයෙන් තොරව කෙරෙනු ලබන ඕනෑම ක්‍රියාවකට සුචරිතමය හෝ සදාචාරාත්මක වටිනාකමක් නැත. කෙටියෙන් පවසනුයේ නම් මේ වනාහි බුදු දහමේ දැක්වෙන කර්මය පිළිබඳ වැදගත් ඉගැන්වීම වන පටිච්ච සමුප්පාදයි.

මෙසේ සලකා බලත්ම මිනිසාගේ මෙලොව පරලොව ජීවිතය කෙරෙහි තදින් බලපාන හොඳ නරක, වරද නිවරද, කුසල අකුසල පිළිබඳ වූ බෞද්ධ මතය සිත හා සම්බන්ධව පවතී. තම ක්‍රියාවනට අනුව ඔහු පී‍්‍රතිය, සැපත, දුක,වේදනාව විඳින අතර මේ වනාහි තම සිතෙන්ම ලබන ඵලයකි.

සිතුවිල්ලකට එහිම අන්තර්ගත විය නොහැකිය. ඉක්මනින් හෝ ප්‍රමාද වී ;හී එය ක්‍රියාවට නැගෙන අතර මේ සිතුවිල්ල නැවත නැවත පහළ වීම හේතුවෙන් බෙහෙවින් ශක්තිමත්ව පවත්නේ නම් එය වේගයෙන් ක්‍රියාවට නැගෙන අතර සිතුවිල්ල පහළ කළ තැනැත්තා එය මර්දනය කිරීමට ඉන්පසු අසමත්ය. සිතුවිලි ස්ථාවර නොවූ වෙනස්වන දෙයක් ලෙස මනෝ විද්‍යාඥයන් පවසනුයේ එබැවිනි.

වරක් හටගන්නා සිතුවිල්ල නැවත නැවත හටගන්නා බැවින් මෙසේ නැවත හටගත් සිතුවිල්ල එහි යහපත් බවක් නොතකා පිළිගනු ලැබේ නම් මේ සිතුවිල්ල නිරායාසයෙන්ම පිළිගනු ලැබෙන ආචිණ්ණ සිතුවිල්ලක් වන අවස්ථාව ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ ඇතිවේ. මෙය සෑම වේලේම පවත්නා එමෙන්ම විරුද්ධ වීමට නොහැකි සිතුවිල්ලක් වන අතර එය ඔබගේ සිත පාලනය කරමින් ඉස්මතු වී සිතේ පවතියි.

ඔබගේ සිතේ හටගත් සිතුවිල්ල පාප සිතුවිල්ලක් වූයේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් කෙතරම් නිදහසේ පහසුවෙන් පාපී ක්‍රියා හට ගනී. එමෙන්ම මේ පාපි ක්‍රියා මර්දනය කිරීමට ඔබ අසමත් වන්නේදැයි මඳක් සලකා බලන්න. පාපී සිතුවිල්ලක් හටගත් මොහොතේදීම අප කෙතරම් පරීක්‍ෂාකාරී විය යුත්තේ දැයි ඔබට දැන් අවබෝධ නොවන්නේද? මෙවැනි අහිතකර සිතුවිලි අප සිත් තුළ හටගත් විට ඒවා ඒ මොහොතේදීම යටපත් කරලීමට අප දරන්නා වූ කිසිදු උත්සාහයක් නොමැතිව දවසේ කීවරක් මෙවැනි පාපී සිතුවිලි අප සිත් තුළ හට ගනිමින් අතුරුදන් වන්නේද?

ක්‍රියාවට පිටුපසින් ඇත්තේ සිතුවිල්ලයි. සිතුවිල්ලට අනුව අපේ චරිතය හැඩගැසෙයි. හිංසක සිතුවිලි පහළ කරනුයේ නම් වංචා සහගත වන අප අවංක ලෙස සිතනුයේ නම් අවංක වනු ඇත. මෙසේ අපගේ සිතුවිලිවලට අනුව අපේ චරිතය හැඩගැසෙයි. අප නැවත භවයක උපත ලබන විට අපගේ වත්මන් සිතුවිලි වලට අනුව සැදුණූ චරිතය ඇතිව අප උපත ලබනු ඇත.

අපේ ස්වභාවයට අනුව හෝ චරිතයට අනුව අප ක්‍රියා කරන විට, කාරුණික පුද්ගලයකු කාරුණික අන්දමින්ද, කෲර පුද්ගලයෙකු කෲර අන්දමින්ද ඛ්2යා කරන විට අපගේ මීළඟ භවයේ ක්‍රියාවන් වත්මන් භවයේ සිතුවිලිවලට අනුව හැඩගැසෙන බව අවබෝධ කර ගැන්ම පහසුයි. මේ වනාහි කර්මය වේ.

එහෙත් සිතිවිල්ලට පිටුපසින් කැමැත්ත ඇත. අප ආශා කරන දේ අප කැමැත්තට අනුව ලැබේ. කාන්දමකට සිහින් යකඩ භාණ්ඩයක් ආකර්ෂණය වන්නාසේ, කැමැත්ත කරා ද්‍රව්‍යයන් ඇදේ. අපි ධනවත් හෝ උගත්වීමට කැමැත්තක් දක්වන්නෙමු. ආදරය කිරීමට හෝ ආදරය ලැබීමටද කැමැත්තෙමු. බලසම්පන්න වීමට අපි කැමැත්තෙමු. එහෙත් මේ කැමැත්තට පමණක් අපගේ අවශ්‍යතාවක් සපුරාලිය හැකිද? එසේ විය නොහැකිය.අපගේ අරමුණු ඉෂ්ට කර ගැන්මේ මාර්ග සොයා ගැනීම සදහා අපේ සිත් යොමු කළ යුතුය.

අපගේ අශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අප සිතා මතා යෝජනා කොට මග සාදා ගත යුතු වෙයි. මෙසේ සලකා බලත්ම අපගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමටද අපගේ ජයග්‍රහණයන් වෙනුවෙන්ද වැදගත් කොටසක් ඉටුවනුයේ අපේ සිතේ පහළ වන සිතිවිලි හේතුවෙනි. කෙනෙකුගේ සිත තුළ පවත්නා ලෝභය, ද්වේෂය , ඊර්ෂ්‍යාව වැනි සිතුවිලිවලට වඩා කෙනෙකුට හානි කිරීමේ සමත් සතුරෙක් තවත් නොවේයැයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. අවස්ථාවට අනුව එම සිතුවිලි පාලනය කිරීමේ අදක්‍ෂ තැනැත්තා මිනීපෙට්ටියක බහා ඇති මළ සිරුරක් වැනිය.

විදුලිය සේ :- විදුලි බලය පිළිබඳ සිද්ධාන්තය මෙන් චිත්ත නියාමයද නොදැනේ , එය ක්‍රියාත්මක වනුයේ ඒ සම්බන්ධ ක්‍රියා නියාමය අනුවය. විදුලිබලයේ නියමයට අනුව විදුලිය ඇති කම්බියක් අතපත ගෑමෙන් මිනිසකු හැඟීමකින් හෝ ඕනෑකමින් තොරව මරණයට පත් කරන්නාක් මෙන් එම බලයෙන් අනෙක් අතට මිනිසාගේ ගෙය සම්පුර්ණයෙන් ආලෝකමත් කරයි. විදුලිය සහිත කම්බිය අත ගෑමෙන් මිනිසා මරණයට අත වනයි. ඊට හේතුව විශ්ව නියාමයට අනුව ඔහුගේ එම ක්‍රියාවට ලැබෙනුයේ අන් කිසිවක් නොව මරණයමය. එමෙන්ම ස්වකීය සන්තානය විනාශකාරී සිතුවිලිවලින් පුරවා ගන්නා තැනැත්තා ආකර්ෂණය කරගනුයේ ස්වකීය විනාශයට යොමුවූ බාහිර ප්‍රතිඵලයමය.

නියාමය :-බුදුරජාණන් වහන්සේ සොයා ගන්නා ලද මනෝ විද්‍යාවට එකඟව ජීවත්වීමෙන් කෙනෙකු ලබා ගන්නා ඵල ප්‍රයෝජන හා සසඳන විට මිනිසා මෙතෙක් ලබාගෙන ඇති භෞතික ඵල ආයෝජනයන් සැලකිය යුත්තක් නොවේ. ඔහු රෝග මර්දනය කර යුද්ධ හා සෑම ආකාරයකම තාඩන පීඩන දුරුකරමින් මීට පෙර කිසි කලෙකත් නොදත් සාමයක් සැනසුමක් හෙතෙම තමා තුළින් ලබනු ඇත.

සිත පිළිබඳ නියාමය ජයගත් පුද්ගලයා උසස්ම පී‍්‍රතිය අත්දකින්නේය. අපගේ සිතුවිලි ඉතා බලසම්පන්න බවද අපගේ ජීවිත වනාහි අපගේ සිතුවිලි වල ක්‍රියාත්මක වීම බවද මෙසේ අපගේ සිතුවිලි ජයගත් කල අපගේ අනාගතය පිළිබඳ පාලකයා අපම වන බවද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා ඇත.

මනස ද විදුලි බලය මෙන් වැඩදායි මෙන්ම විනාශකාරි වූද බලසම්පන්න බලවේගයකි. මේ අදෘශ්‍යමාන මනසෙහි හටගන්නා වූ එක් සිතුවිල්ලක් මුළු ලොවම ජය ගැනීමට හෝ විනාශ කිරීමට සමත්ය. කරුණු මෙසේ බැවින් අපට මෙලොව පී‍්‍රතියෙන් සැපෙන් ජීවත්වීමට අවශ්‍ය වන්නේ නම් සිත භාවිත කරගැන්ම ඉතාම වැදගත්ය. ලෝකය කෲර වනුයේ නම් අපගේ සිත ඒ ගැන වගකිවයුතුවේ. අප අපගේ සිත වෙනස් කරන තුරු ලෝකය ජීවත්වීම සදහා වඩාත් සුදුසු ස්ථානයක් බවට පත් කළ නොහැකිය.

සිත වනාහි අපගේ ඉරණම පිළිබඳ නිර්මාණ ශිල්පියා ය. සිත වනාහි එකම බලසම්පන්න වූද බලපුළුවන්කාරවූ ද යහපත හා අයහපත පිළිබඳ මූලිකයා වෙයි. සියලු පාපයන්ගේ ආරම්භයේ සිත වන අතර සියලු පාපයන් සිත මුල් කරගෙන හටගනී. අනෙක් අතට සියලු සැපත, සෞභාග්‍යය, සාමය, හා සැනසුමට මූලික වනුයේ සිතය. මේ සියල්ලක්ම සත්‍ය වශයෙන්ම සිත මුල්කරගෙන හට ගනී. අප අපගේ චිත්තත චෙතසිකයන්ගේ ප්‍රතිඵලයක් වන අතර අපට උරුමයෙන් හා පරිසරයෙන් මැවෙන සිමාවන් ජයගෙන ආත්ම ශක්තියේ බලයෙන් නවතම පරිසරයක් ගොඩ නගා ගත හැකිය. භාවනාවේදී මෙන්ම ධ්‍යානයන් හා මානසික බලය ලබා ගැනීමේදීද දියුුණු කරන ලද සිත ඉතා වැදගත් වූද අනභිභවනීය වූද කොටසක් ඉටු කෙරෙයි. භවාංග සිතෙහි තැන්පත්ව පවත්නා යම් යම් බලවේග මිනිසා සතුව ඇත්තේ යැයි අතීන්ද්‍රීය සංඥා ක්‍ෂේත්‍රයෙහි (ඊ.එස්.පී) නූතන විද්‍යාව පෙන්වා දී ඇත. මිනිස් සිත තුළ ගැබ්ව ඇති බලවේගයන් හා බලවේග උල්පත් පිළිබඳව පසුගිය වකවානුවලදී ඍෂිවරුන් සාන්තුවරයන් , දාර්ශනිකයන් හා මනෝවිද්‍යාඥයන් විසින් ගෙනහැර පා ඇත.

චිත්ත බලය :- එහෙත් මිනිසා මෙසේ බාහිර දේවල තදින් ඇලී ගැලී එල්බ ගැනීම හේතුවෙන් තමා තුළ පවත්නා මානසික හා අධ්‍යාත්මික උරුමය පිළිබඳව නොතකා තමා සතුව පවත්නා මේ මහා බලවේගයන් ගෙන් ප්‍රයෝජන නොගෙන, එමෙන්ම සමහරවිට ඒවා වැරදි දිසාවන්ට යොමුකොට ඇති බව විද්‍යාව මගින් අවබෝධ කරගෙන ඇත්තේ මීට දශක කිහිපයකට පෙරය. මිනිස් සිත රන් ආකරයක් මෙන්ම කුණු ගොඩකි. දිබ්බ චක්ඛු, දිබ්බ, සොත පරචිත්ත විජානන, පුබ්බේනිවාසානුස්සති, මනෝමය සෘද්ධි යනාදිය තවදුරටත් මනඞකල්පිත දේ නොව සැබෑ දේය.

මෙසේ කෙනෙකු තමන් සතුව පවත්නා චිත්ත බලය ස්වභාව ධර්මයාගේ බලවේගයක් මැඩ පවත්වමින් ප්‍රාතිහාය¸යන් පෑම සඳහාද යොදාගත හැකිවේ. විශ්වයේ ඇති ශ්‍රේෂ්ඨතම බලවේගයන් අතුරෙන් චිත්ත බලය එකක් වේයැයි විද්‍යාඥයින් හා මනෝ විද්‍යාඥයින් අවබෝධ කර ගන්නේ මේ මෑතකදීය. එහෙත් මීට වර්ෂ 2500 ට පෙර මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා යනුවෙන් සෑම ධර්මයකටම සිත ප්‍රධාන වේ. සිත ශ්‍රේෂ්ඨ වේ. යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ලද සේක.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.