Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇස් නොපෙනෙන මා නැත මං මුළා වී

කෙසේ වෙතත් ඔබ දෑස් ලැබුවේ ඔබේම මහා පිනකට ය. යම් කෙනෙක් සදහම් ඇස් ලබන්නේ ඊටත් වඩා මහත්ඵල මහානිශංස වූ ආනුභාව සම්පන්න වූ පිනකට ය. මා ඔබ මෙන් දෑස් නොලැබූවත් සදහම් ඇස් ලැබීමට තරම් වාසනාවන්ත වී තිබේ. ඉතින් ඔබ ගැන දන්නේ ඔබ ය. ඔබට දෑස් ලැබී තිබෙන්නේ අනේක විධ මායා වලට මුළා වීම පිණිස නොව දෑස් නැති අය හා පිහිට අවශ්‍ය අයට පිහිට වීම පිණිස ය.

ලද දෑසින් උපරිම ඵල නෙළා ගන්න. ඔබේම පිනෙන් ලද දෑසින් හැකි හැම විටකම දහම් පොත පත කියවා නුවණ දියුණු කර ගන්න.

ඔබට වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා ඇහුවොත් සමහර විට බොහෝ දෙනෙක් කියාවි ඇස් දෙක කියලා. ඒකනේ දෙමව්පියන් තම දරුවන් ඇහැක් වගේ පරිස්සම් කරන්නේ. ඒ තරමට අපිට ඇස් වටිනව නේද? හිටි හැටියේම ඔබට ඇස් නොපෙනී ගියොත් අනේ මොනතරම් අවාසනාවක්ද කියලා නොඅනුමානවම ඔබට හිතේවි නේද? මෙහෙම දෙයක් නම් හතුරකුටවත් වෙන්න එපා කියලා කියාවි. මම ජීවත් වෙලා මොකටද? “ මීට වඩා හොඳයි මැරෙනවා නම් .” කියලා කියාවි. නැවතත් ඇස් වල පෙනුම ගන්න ඕන ගාණක් වියදම් කරන්න කැමති වේවි. හොඳින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පස්සේ ඔබට ඇස්වල පෙනුම ලැබුනහම ඔබේ පී‍්‍රතිය නිම් හිම් නැතිවේවි. රටක් රාජ්‍යයක් ජය ගත්තටත් වඩා සතුටු වේවි. ලෝකයේම ඉන්න වාසනාවන්තයා තමා කියලා හිතාවි. හරි පුදුමයි නේද?

ඉතින් මේ ලිපිය සම්පාදනය කරන මම ගැනත් යමක් කියන්න ඕන කියලා හිතුවා. මම උපතින්ම දෙනෙත් නොපෙනෙන කෙනෙක්. දැන් ඔබට හිතේවි “ අනේ පව් කියලා” මහා අවාසනාවන්තයෙක් කියලා හිතේවි. සමහර විට මා මුලිච්චි වුණොත් ඔබේ දෑස් වලට කඳුළු ඒවි. උපනූපන් ජාති මෙහෙම දුකක් නම් නොවේවා කියලා හදවතේ ගැඹුරුම තැනින් පතාවි.

හැබැයි පාඨකයිනි ඔබ හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි මම . මම හිතන්නේ මම ලෝකේ සතුටින් ඉන්න වාසනාවන්තයන් කිහිපදෙනා අතුරින් එක්කෙනෙක් කියලා. හැබැයි මේක කියන්නෙ ආත්ම වංචාවෙන් බොරුවට නෙමෙයි, ඇත්තටමයි. ඔබට හරි පුදුම ඇති නේද? කොහොමද එහෙම දෙයක් වුණේ කියලා. ඇත්තටම මටත් පුදුමයි! නමුත් මේක ඇත්ත, සමහර විට ඔබ අසාවි “ ඇස් පෙනෙන අපත් දුකින් ඉන්නේ ඉතින් ඇස් නොපෙනෙන අප කොහොමද සතුටින් ඉන්නේ “ කියලා. ඇත්තෙන්ම ඒක සාධාරණ ප්‍රශ්නයක්. මට භෞතිකමය දෙනෙතක් නැති බව ඇත්ත. ඒත් මට අමිල වූ ඇසක් ඇතුළත පිහිටා තිබෙනවා. ඒ තමයි “ සදහම් ඇස් “ ඒ සදහම් ඇස මට දුන්නේ අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. උන් වහන්සේ තමයි ලොව පහළ වූ ආශ්චර්යමත්ම මනුෂ්‍ය රත්නය . යමෙක් සැබෑ ඇස් ලබනවනම් ලබන්නේ උන් වහන්සේ වෙතින් පමණයි.

ඔබට ඇස් වලින් ඇති ප්‍රයෝජනය මොකක්ද? යමක් දැකීමේ හැකියාව ඇස් වලට තිබෙනවා. නමුත් මේ ගැනත් හිතලා බලන්න. ඔබට දකින්ට ලැබෙන දේවල් ඇත්තක්ද? ඇත්තක් වගේ පෙනෙන බොරුවක්ද? බැලූ බැල්මට ඇත්ත වගේ සැබෑ බොරුවලට අපි කියනවා මායාවල් කියලා. ඉතින් ඔබ ලෝකය වශයෙන් දකින්නේ මායාවල් නොවේද? මායාවල් සිත්කලුයි. සුන්දරයි. අපූරුයි. නමුත් ඒ තුළ සැඟව තිබෙන්නේ අසත්‍යයි. රැවටීමයි. මුළාවයි. මුළා වූ අයට අප කෙසේ නමුත් නැණවතුන් යැයි කියමුද? එසේ නම් ජීවිතය පුරාවටම ඔබව මෝඩයාට අන්දන්නේ ඔබේම ඔය ඇස් දෙක නේද? ඉතින් දැන් ඔබට මොකද හිතෙන්නේ ඔය ඇස් දෙක ගැන.

දැන් අපි නිදසුනකින් මේ බව වටහා ගන්නට උත්සාහ කරමු. දෙනෙත් ඇති තරුණයෙක් රූමත් තරුණ ළඳක් දුටුවා යැයි සිතන්න. ඔහු ඇයගේ රූපශ්‍රීයට වසඟ වේ. ඇය තමාගේ කර ගන්නට ඇත්නම් යැයි සිතයි. ඇය ගැනම සිතයි. සදහම් ඇස් ඇති පුද්ගලයා අර ස්ත්‍රිය දැකීමෙන් සසල වූ සිත් ඇති කර නොගනී. ඇය තමා සතු කර ගැනීමට කල්පනා නොකරයි. මක් නිසාද ඔහු සදහම් ඇසින් ඇයගේ රූපය අනිත්‍ය බව දකින බැවිනි. අනිත්‍ය නිසා එතැන ඇත්තේ දුකක් බව දන්නා හෙයිනි. අනිත්‍ය නම් දුක නම් තමාගේ වසඟයේ පවත් වන්නට හැකි දෙයක් නොමැති බව හොඳින් නුවණින් දකින නිසාය.

දැන් ඔබට වැටහෙනවා ඇති නේද සදහම් ඇස් නැති අය කොයිතරම් නම් අවාසනාවන්තද කියලා. අභාග්‍යවන්තද කියා! ඒ වගේම ඔබට වැටහෙනවා ඇති නේද සදහම් ඇස් ඇත්තෝ කොයිතරම් නම් වාසනාවන්තද කියා ! භාග්‍යවන්තද කියා.

ඉතින් මේ සා අගනා අනර්ඝ අමිල වූ සදහම් ඇස පහළ වුයේ යැයි තුන්ලෝ තලයටම ඇසෙන සේ උදම් ඇනුවේ බරණැස ඉසිපතනයේ දී බුදුරජාණන් වහන්සේ පස් වග මහණුන් උදෙසා පැවැත් වු ප්‍රථම ධර්ම දේශනයේදීය. එනම් දම්සක් පැවතුම් සූත්‍රයේදීය. එහිදී උන් වහන්සේ විසින් දෙසා වදාළේ “ චක්ඛුංඋදපාදි ....පඥා උදපාදි, විද්‍යා උදපාදී, ආලෝකො උදපාදී, කියාය. එනම් “ ඇස පහළ විය . ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය “ යන්නයි. එය තුන්ලෝ තලය තුළම පහළ වූ අසිරිමත් කාහළ නාදයයි. තථාගත වූ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු පියාණන් විසින් සදහම් ඇස දායාද වශයෙන් ලද්දෝ භාග්‍යවන්තයෝ වූහ. ඔවුහු සියලු දුක් සිඳ බිඳ ඒ අමා නිවන් සුවයෙන් සැනසී වදාළහ. ආශ්චර්යමත් ප්‍රඥාවෙන් බබලන්නෝ බවට පත් වූහ. මොන තරම් නම් වාසනාවන්තද?

දැන් අපට එක් කරුණක් පැහැදිලියි. සදහම් ඇස නොලද්දෝ සරස කතරේ අතරමංව ,දුකින් පීඩා වඳිමින් සෝ සුසුම්වල හිමිකරුවන් වෙමින්, මායාවකට හසු වී අභාග්‍ය සම්පන්න ඉරණමකින් කල් ගෙවන බවත් ඒ සදහම් ඇස් ලද්දෝ සතර කතරින් එතෙර වන දුකින් මිදෙන අමා සුවයේ හිමිකරුවන් වන භාග්‍යවන්තයන් වන බවත්ය. සදහම් ඇස් ඇත්තෝ සත්‍ය ලෙසින්ම දකී සියලු සතුන් දුක පිළිකුල් කරයි. සැප කැමැති වේ. එනමුත් සදහම් ඇස් ඇත්තෝ සත්‍ය සත්‍ය ලෙසින්ම දකී. සියලු සතුන්ම දුක පිළිකුල් කරයි. සැප කැමති වේ. එනමුත් සදහම් ඇස පහළ කර නොගතහොත් කිසි කලෙකත් කිසිවෙක් සදාතන සැපය නොලබයි. සදාතනික දුක නම් ලබයි. අප්‍රමාදිතව සදහම් ඇස් පාදයි.

කෙසේ වෙතත් ඔබ දෑස් ලැබුවේ ඔබේම මහා පිනකටය. යම් කෙනෙක් සදහම් ඇස් ලබන්නේ ඊටත් වඩා මහත්ඵල මහානිශංස වූ ආනුභාව සම්පන්න වූ පිනකටය. මා ඔබ මෙන් දෑස් නොලැබූවත් සදහම් ඇස් ලැබීමට තරම් වාසනාවන්ත වී තිබේ. ඉතින් ඔබ ගැන දන්නේ ඔබය. ඔබට දෑස් ලැබී තිබෙන්නේ අනේක විධ මායාවල් වලට මුළා වීම පිණිස නොව දෑස් නැති අය හා පිහිට අවශ්‍ය අයට පිහිට වීම පිණිසය. ලද දෑසින් උපරිම ඵල නෙළා ගන්න. ඔබේම පිනෙන් ලද දෑසින් හැකි හැම විටකම දහම් පොත පත කියවා නුවණ දියුණු කර ගන්න. ලොව්තුරා තථාගතයන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාව අන්තර්ගත වූ ත්‍රිපිටක සූත්‍ර දේශනා පරිහරණය කරන්න. තම තමන් විසින් තම තමන්ගේ සදහම් ඇස් පාදා ගන්න. අනෙක් අය හටද ඒ සඳහා උපකාර කරන්න. මාගේ දෑසේ පෙනීම ලබා පිණිස ශෛල්‍ය කර්ම සිදු කිරීමේ බලාපොරොත්තුවක් මා තුළ නැත. නමුත් ලොව ඇති තතු දක්නා හැකි දහම් ඇස පාදා ගැනීමේ නිරන්තර වෑයමක මම තව තවත් නිමග්නව සිටිමි. අප ට පරම සැනසීම ලබා දෙන සැබෑ ශෛල්‍ය කර්මය එය වන බැවිනි.

අපි සියල්ලෝම සදහම් ඇස් ඇති අය බවට පත් වෙමු. වාසනාවන්තයන් වෙමු. භාග්‍යවන්තයින් වෙමු. සියලු දුක් කෙළවර කොට අවිද්‍යා අන්ධකාරය සිඳ බිඳ ලා විද්‍යාලෝකය දකින්නන් බවට පත් වෙමු. ඒ අමා නිවන් සුවයට පත් වෙමු. මාගේ මේ පුංචි ලිපිය ඔබ සැමගේ සදහම් ඇස් පාදා ගැනීම පිණිස දිරියක්ම වේවා! සියලු දෙනාම සත්‍යම දකිත්වා. සදහම් ඇස් අප වෙත ලබා දුන්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.