Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි?

ආගම යන්න නිර්වචනය කිරීම තරමක් අපහසුය. මෙම වචනය පොදුවේ සිංහලයේදී යෙදෙන්නේ කිසියම් ශාස්තෘවරයකුගේ ධර්ම මාර්ගයක්, උපදෙස් ක්‍රමයක්, ප්‍රතිපත්ති මාර්ගයක් හා එය වටා බැඳුණු වත් පිළවෙත් සියල්ල ද හඳුන්වාදීම සඳහා ය. එහෙත් ඉන්දියාව ශ්‍රී ලංකාව යන රටවල කිසියම් ශාස්තෘවරයකුගේ උපදෙස් ක්‍රමයක් ප්‍රතිපත්ති මාර්ගයක් හඳුන්වා දීම සඳහා ‘ධර්ම’ යන වචනයද යොදන අවස්ථා ඇත. හින්දු ධර්මය, ජෛන ධර්මය ආදී වශයෙන් ධර්ම ශබ්දය සංස්කෘත හා හින්දි යන භාෂා දෙකෙහිම ව්‍යාවහාර වේ.

ආගම යන අදහස හඟවනු සඳහා ඉංගී‍්‍රසියෙන් යෙදෙනුයේ අඥත යන වචනය යි. ලතින් භාෂාවෙන් පඥත (1) යනුවෙන් ලියන ලද වචනයේ මූලික අර්ථය අරබයා රෝම අධිරාජ්‍ය යුගයේ (ඒ කියන්නේ ක්‍රි.ව. 4 වන සියවසේදී පමණ) පඬිවරුන් අතර පවා මතභේද තිබුණි. එවකට පළ වූ එක් මතයක් නම්, අල්ලා ගැනීම, එකතු කිරීම, ගණන් ගැනීම, බැලීම යන අර්ථය දෙන තඪඨ යන ප්‍රකෘතියෙන් පඥත යන වචනය සෑදුන බවයි. තවත් මතයක් නම් ‘එකට බැඳීම’ යන අර්ථය දෙන තඥඨ යන ධාතුවෙන් උපන් පඥත යන වචනය මගින් එක්තරා ඥාතිත්වයක් පිළිබඳ හැඟීමක් දෙන අතර මෙහිදී අදහස් කෙරෙන එම ඤාතිත්වය නම් මිනිසා සහ අතිමානුෂ බලයන් අතර සබඳතාවක් බවයි. ඔක්ස්ෆර්ඩ් ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයට අනුව, ආගම යනු දෙවි දේවතාවුන්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසයකි. එසේම ඔවුන් වන්දනය සඳහා සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සමුදායකි.

ජෝර්ජ් මුවර් දැක්වූ පරිදි ආගමේ ප්‍රධාන අංග මේවායි.

1. තමාට ඉහළින් ක්‍රියාකරන අදෘශ්‍යමාන බලයක් ඇතැයි විශ්වාස කිරීම.
2. එම බලය ක්‍රියාත්මක වන්නේ අතිමානුෂ පෙළඹවීම් නිසායැ යි විශ්වාස කිරීම.
3. එකී බලයන් මගින් ඇතිවන විපත් මගහරවා ගත හැකියැ’යි විශ්වාස කිරීම.
4. ඒ විශ්වාස අනුව ගන්නා ක්‍රියා මාර්ගයන්.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ජීවත් වන ජනතාවට තම විශ්වාසය මත කැමති ආගමක් ඇදහීමේ නිදහස පවතී. මෙහිදී එක් ආගමක් අදහන්නා අන්‍ය ආගම් විරෝධියෙක් නොවිය යුතුය. නමුත් යමෙක් කිසියම් ආගමකට සමීපවීමත් සමගම අන්‍ය ආගම් පිළිබඳ විරෝධතාවක් ඇතිවිය හැකිය. ආගම නිර්වචනය වන්නේ ඒ ඒ ආගමට අනුවය. ඇතැම්විට අන්‍ය ආගම් මිථ්‍යා දෘෂ්ටි ආගම් වශයෙන් ද සැලකිය හැකිය. මේ නිසා ආගම් පිළිබඳව සෘජුව නිර්වචනය කිරීම අපහසු ය. ආගම යන වචනය දැනට සිංහලෙන් යෙදෙන්නේ කිසියම් ශාස්තෘවරයෙකුගේ ධර්ම මාර්ගයක්, උපදේශ ක්‍රමයක්, ප්‍රතිපත්ති මාර්ගයක් සහ ඒ වටා බැඳුණු වත්පිළිවෙත් සියල්ලද හඳුන්වනු සඳහා ය.

කෙසේ වෙතත්, ආගම යන්නෙන් අප සලකනු ලබන මූලික ලක්ෂණ තුනක් හෙවත් ස්ථර තුනක් පවතී.

1. විශ්වාස ස්ථරය - මින් අදහස් කරන්නේ හැම ආගමකම යම් යම් විශ්වාස පද්ධතියක් තිබෙන බවයි. මේවා සාමාන්‍ය ලෝකයේ ප්‍රත්‍යක්ෂයන් ඇසුරින් දැකිය නොහැකි දේවල්. එනම් නිර්වාණය, දෙවියන් වහන්සේ, බ්‍රහ්මන් වැනි විශ්වාසයි.

2. චාරිත්‍ර වාරිත්‍ර - පුද පූජා ආදී විවිධ ප්‍රායෝගික ක්‍රමයි. මේවාට වැඳුම් පිදුම් බණ භාවනා යනාදී දේ අයත් වේ.

3. සංස්ථාමය ස්ථරය - එක්තරා විදියක සංස්ථාමය ස්ථරයක් ඇත. එනම්, ක්‍රමානුකූ®ලව සැදුම් ලත් සංස්ථාවක් තිබේ. පිළිගත් මධ්‍යස්ථාන ඇත. විශේෂ වූ මූලික ග්‍රන්ථ තිබේ. ඒවාට භක්තියක් ගෞරවයක් දක්වයි.

ආගම ශිෂ්ට සම්පන්න සමාජයක මූලික අවයවයකි. මිනිසා ආචාරවත් කරවීම හැම ආගමකම ප්‍රධාන කාර්යය සේ සැලකිය හැකිය. දඹදිව බුදුසමය පහළ වූයේ දියුණු ශිෂ්ටාචාර කිහිපයක්ම පසුතලය කරගත් ප්‍රගතිය කරා ගමන් කළ සමාජයක් තුළිනි. එමෙන්ම බුදුසමය මගින්ද විශිෂ්ට චර්යා ධර්ම පද්ධතියක් ඉදිරිපත් කෙරිණි. ගිහි පැවිදි උභය පක්ෂයට වෙන් වෙන්ව ශික්ෂණ ක්‍රම හැටියට ඒවා ඉගැන්විණ. ශික්ෂා පද ආරක්ෂා කළ යුත්තේ අනුන්ගේ යහපතට පමණක් නොවේ. තමාගේ යහපත උදෙසාම එසේ කිරීම ප්‍රයෝජනවත්ය. බුදුසමය තුළ ආත්මාර්ථය සහ පරාර්ථය අතර වෙනසක් දක්වා නැත. ආත්මාර්ථයම පරාර්ථය වන්නේ ය. පරාර්ථයම ආත්මාර්ථය ද වන්නේ ය. සියලු සත්ත්වයින් දෙස බැලිය යුත්තේ, යම්කිසි මවක් තමාගේ එකම පුත්‍රයා තම පණ මෙන් රකින්නා වූ ආකාරයට යැයි බුදුන් වහන්සේ පැහැදිලි කොට ඇත. මව තුළ තම පුත්‍රයා කෙරෙහි ඇති පේ‍්‍රමය ආත්මාර්ථයද නොවේ. පරාර්ථයද නොවේ. මේ නිසා, බෞද්ධ ශික්ෂාවන්ට මුල් වී ඇත්තේ සියලු සත්ත්වයන්ගේ හිත සුවය යි. එනම්, සියලු සත්ත්වයන් කෙරෙහි කරුණා, මෙත්තා, මුදිතා, උපෙක්ඛා යන ලක්ෂණ ඇතිකර ගැනීමය.

එහෙත්, සමහර ආගමික ආචාර ධර්ම සැකසී තිබෙන්නේ් ඒ ආගමේ උගන්වන පාරභෞතික සංකල්ප මතය. නමුත් යමකුට මේ පාරභෞතික සංකල්ප විශ්වාස නොකර ආචාර ධර්ම පමණක් ක්‍රියාත්මක කළ හැකිය. මා බොරු නොකියන්නේ අපාගත වනවාට බියෙන් නොව එය මවිසින් කළයුතු යුතුකමක් වන හෙයිනි. මා නිතර අසත්‍ය ප්‍රකාශ කරතොත් සමාජයේදී බොරුකාරයෙක් බවට පත් වේ. සත්‍ය කතා කළද යමෙක් එය පිළිනොගනී. ‘මිනී නොමරව‘ යන්න නිවැරදි ක්‍රියාවක් වේ. එසේ වුවහොත් සමාජයට පැවැත්මක් නොමැත. මෙයින් පැහැදිලි වන්නේ ආගමෙන් තොරව ආචාර ධර්ම සංකල්පය ගැන විශ්වාසයක් නැති බවය. ඒ අනුව ආගම වෙතින් මිනිසා ආචාරාත්මක කරවන්නට යම් රුකුලක් ලැබෙයි. මෙබඳු වැදගත් කරුණු පදනම් කර ගනිමින් මිනිසා අවශ්‍යයෙන්ම ආගමක් ඇදහිය යුතුය. එමගින් මිනිසා සදාචාර සම්පන්න කරවයි.

බටහිර දාර්ශනික හා මනෝවිද්‍යාත්මක විග්‍රහය

නූතන බටහිර දාර්ශනිකයකු වන එමානුවෙල් කාන්ට්, 1794 දී පළ කරන ලද ‘පිරිසිදු විචාරයේ සීමාවන් ඇතුළත විකසිත වන ආගම’ ( Religion withing the limits of pure Reason ) කෘතිය තුළින් උපරිම වශයෙන් අර්ථවත් කරන ලද්දේ ක්‍රිස්තියානි පදනම, දේව වාක්‍යයන් හෝ අනාගත වාක්‍යයන් හෝ ශ්‍රැතිය හෝ නොව සදාචාරය යන්නයි. සියලු දේව වාක්‍යයන්ගේ සහ දේව ධර්මයෙහි සත්‍ය රඳා පවතිනුයේ සදාචාරය මතය. බලය යොදා හෝ රවටා ගැනීමෙන් හෝ කෙනකු කිසියම් ආගමකට හැරවීම දුරාචාරාත්මක සහ කර්කශ ක්‍රියාවක් ලෙස කාන්ට් පිළිගත්තේ ය. මෙවැනි ක්‍රියා ආලෝකයේ දොර හැරීමක් නොව වැසීමක් වන නිසා සදාචාරාත්මක ධර්මතාවන්ගේ උල්ලංඝනයක් මින් සිදුවේ. මෙවැනි උල්ලංඝනයක් කරන තැනැත්තා මනුෂ්‍යත්වය පහත්කොට සිතන දුරාචාරාත්මක අයකු යැයි කාන්ට් පිළිගෙන තිබේ.

සදාචාරය පිළිබඳ අදහස් ගෙනහැර පානවිට ආගම පිළිබඳ අදහස් ද ඉදිරිපත් වීම ස්වාභාවිකය. හ්‍යුම් ගතානුගතික දාර්ශනිකයන් සහ දේව ධර්මචාර්යයන් මෙන් සදාචාරය සහ ආගම අතර අවශ්‍ය සම්බන්ධයක් පැවතේ යැයි විශ්වාස කළේ නැත. එහෙත් දෙවියන් පිළිබඳව ඔහුගේ අදහස්වල විවේචන අඩංගුව ඇත. එම නිසා සදාචාරය සහ ආගම අතර සම්බන්ධයක් පැවතේ යැයි අපට කිව නොහැකිය. අවශ්‍යයෙන්ම ඔහු ආගම පිළිබඳව කරනුයේ විභජනයකි. මේ විභජනය කුමක් ද කියා සොයා බැලීමේදී ඔහුගේ ‘ස්වභාවික ආගම පිළිබඳ සංවාදයක්’ ‘ආගම පිළිබඳ ස්වාභාවික ඉතිහාසය’ සහ මනුෂ්‍ය අවබෝධය පිළිබඳ විමර්ශනයක් නමැති කෘතීන් තුනම වැදගත් වේ. ප්‍රථම කෘතිය ආගම පිළිබඳ අදහසක් සංවාදයන් තුළින් සංකේතාත්මකව ඉදිරිපත් කෙරේ. මේ සංවාදයෙන් ඩේමියා, ක්ලියැන්තීස් සහ ෆීලෝ යන තුන්දෙනා අතර සිදුවේ. දෙවන කෘතිය ගෙනෙනුයේ ආගම පිළිබඳ ඉතිහාසය ගැන අදහස් දැක්වීමකි. තෙවන කෘතියේ දසවන සහ එකොළොස් වන පරිච්ඡේදයන්හි සම්ප්‍රදායානුකූල ආගම් වල සමහර අංශයන් පිළිබඳව වැඩි විවේචනයක් දැකගත හැකිය. තවද හ්‍යුම්ගේ ආගම පිළිබඳ අදහස් ගොනු කළ විට මෙවැන්නක් සරල ලෙස ගම්‍ය වන බව පෙනේ. එනම්, දේවවාදී ආගම් වන ක්‍රිස්තියානිය, ඉස්ලාමය, යුදෙව් ආගම වැනි ආගම් කෙරෙහි ඔහු වෙත කිසි පැහැදීමක් හා විශ්වාසයක් නොතිබූ බවයි. හ්‍යුම්ගේ විස්තර කිරීම අනුව ‘ආගමික විශ්වාසය’ යයි අර්ථවත් වනුයේ ‘ඥානවත් සහ අදෘශ්‍යමාන ශක්තියක් පිළිබඳ විශ්වාසයක්’ යන්නයි.

බටහිර දාර්ශනිකයින්, විශේෂයෙන් අනුභුතිවාදීන් ඉදිරිපත් කොට ඇති අදහස් විමසීමෙන් අපට පැහැදිලි වන්නේ මිනිසා අනුභූතියෙන් හෙවත් අත්දැකීම් වලින් ලබන ඥාන පදනම් කොටගෙන සාමාන්‍ය සත්ත්වයින්ගෙන් වෙනස් වන බවකි. ඒ අනුව, උසස් චින්තනයකින් හෙබි මිනිසාට සදාචාරවත් ලෙස සමාජයක් තුළ ජීවත් වන්නට ආගමක් අවශ්‍ය වේ.

බටහිර මනෝවිද්‍යාවේදී, පුද්ගලයාගේ් මානසික ජීවිතය සහ චර්යාත්මක අංශයන් කෙරෙහි අවධානය යොමු කොට අධ්‍යයනයන් සිදුවේ. මිනිසා විසින් සිදු කරනු ලබන සියලුම ක්‍රියාවන් මනෝ මූලිකව සිදුවන බවක් මෙම අධ්‍යයනයන් තුළින් දැකගත හැකිය. මිනිසා විවිධ උත්තේජකයන්ට විවිධ ප්‍රතිචාර දක්වන්නේ මානසිකව සිදු කරන පෙළඹවීමක් නිසාය.

මනෝවිද්‍යා ගුරුකුල අතර සිග්මන්ඩ් ෆෙ‍්‍රායිඩ්ගේ මනෝ විශ්ලේෂණය තුළ මනස සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් දැකගත හැකිය. පෙර විග්‍රහ සහ පසු විග්‍රහය වශයෙන් දෙ අංශයක් මෙහිදී පන්වා දෙයි. පෙර විග්‍රහයට අනුව, මිනිසාගේ මනස පාවෙන අයිස් කන්දකට උපමා කරයි. මෙහිදී මනස කොටස් වෙන්කර දක්වයි. එනම්, විඥානය, උප විඥානය සහ අවිඥානය වශයෙනි.

අපගේ දෛනික ජීවිතය තුළ නැතහොත් අප අවදියෙන් සිටින විට ක්‍රියාත්මක වන්නේ විඥානය යි. මෙය පුද්ගලයාගේ සාමාන්‍ය ප්‍රකෘති සිහිය යි. අයිස් කන්දක දිය මතුපිට පෙනෙන හතරෙන් එකක් පමණ වූ කොටස මෙනි. එනම්, තර්කනය, වින්තනය, ප්‍රජනන යනාදිය යි. අප විසින් සුළු උත්සාහයකින් මතයකයට නගා ගතයුතු දෑ රැඳී පවතින්නේ උප විඥානය තුළයි. අවිඥානය මෙහි වැදගත්ම අංශය යි. අයිස් කන්දක හතරෙන් එකක් පමණ අපට නොපෙනෙන්නා සේ මනසෙහි හතරෙන් එකක් පමණ මෙයට අයත් වේ. ෆ්‍රොයිඩ්ට අනුව මනසේ පදනම වන්නේ මෙම අංශය යි. ජීවින්ගේ චර්යා සඳහා අවශ්‍ය වන ශක්තිය ගැබ්ව පවතින්නේ මෙම අංශයෙහිය.

පසු විග්‍රහය තුළද මනස කොටස් තුනකට බෙදා දක්වයි. එනම්, ඉඩ් ( id ) අහංභාවය, ඊගෝ ( Ego ) අහංභාවය, උපරි අහංභාවය ( Super Ego ) වශයෙනි. මෙම පසු විග්‍රහයට අයත් ඉඩ් අහංභාවය පෙර විග්‍රහයේ උවිඥානයට සමානය. සුපර් ඊගෝ අහංභාවයෙන් කොටසක් ද අවිඥානයට අයත් වේ. ඉඩ් අහංභාවය පුද්ගලයා උපතින්ම උරුම කරගන්නා අතර ඊගෝ හා සුපර් ඊගෝ අහංභාවයන් උපතින් පසු වර්ධනය වේ. නමුත් ෆෙ‍්‍රායිඩ්ට අනුව මනසේ ඉතා වැදගත් කොටස වන්නේ ඉඩ්ය. ෆ්‍රොයිඩ් වරක් එය හැඳින්වූයේ ‘ඇවිස්සී ඇති අවුල් ජාලයකින් යුත් උතුරන කල්දේරමක්’ ලෙසයි. එයින් අදහස් කළේ ඉඩ් වනාහි හොඳ නරක නොහඳුනන තම ආශාවන් තෘප්තිමත් කරලීමට පුද්ගලයා තැනක් නොතැනක් නොබලා පොළඹවන බලවේගයක් බවයි.

ඉඩ්ගේ ප්‍රධාන අරමුණ ආතතියෙන් මිදී තෘප්තිය ලබා ගැනීමයි. ඉඩ් අහංභාවය විසින් යම් ආශාවක් තෘප්ත කර ගැනීමට ආතතියක් ඇති කළද ඊගෝ ක්‍රියාත්මක කිරීමට උචිත අවස්ථාවක් එනතෙක් එය රඳවාගෙන සිටී. මෙසේ බාහිර පරිසරය සහ ඉඩ් අහංභාවය අතර ඇතිවන්නා වූ ප්‍රතිවිරෝධය පාලනය කිරීම සඳහා මිනිස් මනස තුළ ඊගෝ නම් අංශය වර්ධනය වන බව ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.

ඊගෝ නිරන්තරයෙන් උත්සාහ කරන්නේ බාහිර පරිසරයේ කොන්දේසීන්ට එකඟව ඉඩ් අහංභාවයේ අවශ්‍යතා තෘප්තකර ගැනීමට මාර්ග සකස් කිරීමයි. උදාහරණ වශයෙන් මළ මුත්‍රා පිට කිරීමට පුද්ගලයාට හදිසියේ අවශ්‍යතාවයක් දැනුනු විට ඔහුට එය සිතුසේ කළ නොහැකිය.

මෙහිදී එය සිදුකළ යුතු ආකාරය පිළිබඳව තීරණය කරන්නේ ඊගෝ අහංභාවය යි. මෙය ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ සඳහා හොඳ අවබෝධයක් තර්ක කිරීමේ ශක්තියක් අවශ්‍ය යි. මේ ආකාරයට ඊගෝ අහංභාවය තම යථාර්ථ මූලධර්මයන් මගින් ඉඩ් පාලනය කිරීමක් සිදුකරයි. ඉඩ් අහංභාවය කුළු වස්සෙකුටත් එය පාලනය කරන ඊගෝ අහංභාවය කුළු වස්සා පාලනය කරන මිනිසාටත් ඔහු උපමා කරයි. පුද්ගලයා ශිෂ්ට බවට පත්වන්නේ උපරි අහංභාවයේ වර්ධනයත් සමතය. මීට අමතරව උපරි අහංභාවයේ වර්ධනයට සංස්කෘතිය, සාරධර්ම ආගම, දෙමාපිය උපදෙස් ප්‍රබල ලෙස බලපායි.

මේ නිසා උපරි අහංභාවය සමාජ පරමාදර්ශයන්හි නියෝජිතයා වන අතර එහි පාලන මූලධර්මය සදාචාරය යි. මේ අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ තිරිසන් හැඟීම් මුදුන්පත් වන්නට ඉඩ නොදී සදාචාරාත්මක බලවේගයක් මගින් පාලනය වන බවයි. සදාචාරය ඇතිවන්නේ ආගම මගින් වන බැවින් මෙහිදී මිනිසාට ආගමක ඇති අවශ්‍යතාව ඉස්මතු කොට දැක්විය යුතුය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.