Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රූපෙ ඛො රාධ යොචෙනෙදා යො රාගො යා නන්දි යා තණ්හා තත්‍ර සතේතො විසත්තො තස්මා සත්තොති වුච්ඡති

බුද්ධ දේශනාව සිදුකරන ගිහි පැවිදි දේශකයෝ මෙන්ම බෞද්ධ පොතපත රචනා කරන රචකයෝද බුදුදහමට අනුව සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතිබව ප්‍රකාශ කරති. එහෙත් මේ පිළිබඳ වැඩිදෙනකුට නිවැරැදි අවබෝධයක් ඇති බවක් නොපෙනේ. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැයි පවසන ඔවුහු ස්කන්ධ ධාතු ආයතන යන ධර්ම පරමාර්ථ වශයෙන් පෙන්වීම නිසා තවත් මර උගුලකට හසුකර ඇතිබව නම් පෙනේ.

සරාගි ශ්‍රාවක සිත විරාගි දර්ශනයක් වෙතට යොමුකිරීම සඳහා මූලික වශයෙන් සත්ත්ව පුද්ගල ආත්ම පදනම ලිහිල් කිරීම වශයෙන් එයින් නිදහස් වීමට ස්කන්ධ ධාතු ආයතන යන ධර්ම සංකල්ප උපාය මාත්‍රයක් වශයෙන් සඟි පොත්වල යෙදුවා මිස එය පරමාර්ථීය වශයෙන් පෙන්වා නොදුන් බව කිව යුතුය. අපට මේ අවස්ථාවේදී එවැනි සාකච්ඡාවකට අවස්ථාව නොවන අතර මෙහිදී අපගේ විශේෂ අවධානය යොමුවන්නේ බුදුරදහු සත්ත්වයා යනුවෙන් විග්‍රහ කළේ කෙබන්දක්ද යන්න කෙටියෙන් සාකච්ඡා කිරීමයි.

සත්ත්වයා යනු ජීව විද්‍යාත්මකව කරනු ලබන විග්‍රහයකට වඩා හාත්පසින්ම වෙනස් විග්‍රහයක් පදනම් කොට ගෙන සත්ත්වයා යනු කවුරුන්දැයි බුදුරදහු වදාරති. වැඩිදුර නොගියත් පහත දක්වන ලද පාඨය තේරුම් කර ගැනීමෙන් වුවද බුදුදහමේ සත්ත්වයා යනුවෙන් දක්වන්නේ කුමන අවස්ථාවකට දැයි පැහැදිලි වැටහීමක් ලබාගත හැකිය. රාධ සංයුක්තයේ ඇතුළත් මේ පාඨයට සිත යොමු කර බලන්න. රූපයෙහි යම් ඡන්දයක් හෙවත් දැඩි කැමැත්තක්, යම් රාගයක්, යම් නන්දියක් හෙවත් සතුටුවීමක්, යම් තෘෂ්ණාවක් වෙයිද, ඒ රූපයෙ ඇලුනේ වෙසෙසින් ඇලුනේ වේද එහෙයින් එබඳු ඇලුනු පුද්ගලයාට සත්ත්වයා යැයි ව්‍යවහාර කරනු ලැබේ.

බුද්ධ වචනය ඉඳුරා සම්බන්ධ වන්නේ සසර දුකින් නිදහස්වීම නැතහොත් නිවන් අවබෝධය පිණිසය. එබැවින් නිවන් අවබෝධය පිණිස දහම් දෙසන බුදුරජුන්ගේ දේශනාව ඉගෙන ගන්නා ශ්‍රාවකයන් විසින් ඒ සඳහා උපයුක්ත පර්යේෂණ සීමාව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ය. එසේ නොවූ කෙනෙක් සසර නැවත නැවත වල්මත් වීම වළක්වා ගත නොහැකිය. වර්තමාන බෞද්ධ සිවුවනක් වැඩි පිරිසකට සිදුවී ඇත්තේ ධර්මය තමාගේ පර්යේෂණ භූ®මියේ මැනවින් විග්‍රහ කර ගැනීමට නොහැකිවීම නිසා වල්මත් වූ ස්වභාවයකි.

බුදුරදුන් රූපයේ නොමැති බවත් ධර්මය විග්‍රහ කර ගැනීමෙන් බුදුන් දැකිය හැකි බවත් බුදුන්ගේ ධරමාන කාලයේ පටන්ම පිළිගත් ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේ රූපයේ නැත්තේ මන්දැයි දැනටම කෙනකුට පැහැදිලි විය හැකිය. රූපයේ ඇත්තේ සත්ත්වයෙකි. කුඩා අවධියේ පටන් නා නා අයුරින් අප ඉගෙන ගන්නා සත්ත්වයෙක් නොව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යථා ස්වභාවය දැන දේශනා කළ පිළිවෙළෙ සත්ත්වයෙකි. බුදුරදුන් රූපයේ නොමැති නම් අරූපයේ ඇත්දැයි කෙනෙක් විමසා සිටී. රූප අරූප දෙකම විඤ්ඤාණය පදනම් කරගත් නැතහොත් චින්තනයම පදනම් කරගත් ද්වතාව පදනම් කරගත් එකක් මිස වෙනත් එකක් නොවන බැවින් මේ උභයත්වයෙන්ම නිදහස් වූ සම්මාදිට්ඨි මාර්ගය බුදුන් දැකීමේ මාර්ගයයි. ලෞකික සමාපත්ති ඇසුරේ පවත්නා මේ රූප අරූප තත්ත්වයක් සිතින්ම හටගත් නැතහොත් හේතු ප්‍රත්‍යයෙන්ම හටගත් ඒවා බැවින් මේවාද අනිත්‍ය බවින්ද, දුක් බවින්ද, අනාත්ම බවින්ද යුක්තය.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයෙහි ඇතිවෙන කැමැත්ත, ඇතිවන රාගය, ඇතිවන තණ්හාව, ඇතිවන මුළාව පදනම් ව බුදුදහමේ සත්ත්වයා යන්න විග්‍රහ කිරීමේදී පැහැදිලි වන්නේ බුදුදහමේ උගන්වන සත්ත්වයා සීමිත සාපේක්ෂ වටිනාකමකින් යුක්ත වූවක් මිස එය සදාකාලික අමරණීය දෙයක් නොවන බවයි. මෙහිදී සීමිත වටිනාකමක් යනුවෙන් අදහස් කළේ අර රූපයට ඇති තණ්හාව එසේත් නැත්නම් රාගය තිබෙන තුරු සත්ත්වයෙක් පවතී යන්න තේරුම් කිරීමයි. එබඳු ඇලීමක් නැති වූ විට සත්ත්වයෙක්ද නොමැත. එහි සාපේක්ෂක වටිනාකමක් යනු කිසියම් දෙයක් තවත් දෙයක් මත රඳා පැවතීමේ තත්ත්වයයි. මෙහිදී එම සත්ත්ව තත්ත්වය පවතින්නේ කුමක් මතද? එය පවතින්නේ ඇලීම මතයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ සත්ත්වයෙක් වශයෙන් හඳුනාගැනීම දෝෂ සහිතය.

ද්‍රෝණ නම් බමුණෙක් බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේගේ ඉන්ද්‍රියයන් ප්‍රසන්න බවත් ඡවි වර්ණයත් දැක විස්මිතව, ඔබ දෙවියෙක්දැයි විමසා සිටී. නැත බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවෙමි. මේ ආකාරයට ගාන්ධර්වයෙක්දැයි, යක්ෂයෙක්දැයි, විමසූ විට ඒ සියල්ලටම නැත බ්‍රාහ්මණය යැයි වදාළ කල්හි ද්‍රෝණ අනතුරුව විමසා සිටින්නේ ‘ඔබ මිනිසෙක්දැ’ යි යන්නය. එයටද බුදුරජාණන් වහන්සේ ‘නැත බ්‍රාහ්මණය’ යනුවෙන් වදාළ කල්හි එසේනම් ඔබ කවුරුන්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටී. ‘තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ’ තමන් වහන්සේ බුදු කෙනකු බව වදාළ සේක. මෙහිදී ප්‍රකාශිත දේව, යක්ෂ, මනුෂ්‍ය, ගාන්ධර්ව කුමන හෝ අවස්ථාවක් පවතින්නේ සත්ත්ව සංඥාව පදනම් කරගෙනය. තවත් ආකාරයකින් පැහැදිලි කරනවා නම් ඒ සියල්ල ක්ලේශ වට්ටය මගින් ආවරණය වී ඇත. ක්ලේශ වට්ටයේ මූලික ලක්ෂණ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ඇලීම සහිත, ගැටීම් සහිත, මුළාවීම් සහිත සාංසාරික පැවැත්මයි. එහි හරය සත්ව සංඥාවයි. බුදුරදුහු ඒ කුමන අවස්ථාවකට වුවද බුද්ධ තත්ත්වයෙන්ම ප්‍රතිඥා දුන්බව පැහැදිලිය. අංගුත්තර නිකායේ ගති සතිපට්ඨානය තුළ නිරය, තිරච්ඡාත, පෙත්ති විෂය, මනුස්ස , දේව, යනාකාරයෙන් මූලික ගති 5 ක් පෙන්වා වදාරන බුදුරජාණන් වහන්සේ ඒ පංච ගතියෙන් නිදහස් වීමට සතර සතිපට්ඨානය පුහුණු කළයුතු, අවබෝධ කළයුතු  බව දේශනා කර ඇත. සති ස්වභාවය පහළ වන්නේ චිත්ත සන්තානය ඇසුරු කරගෙනය. එම ගති පහළවීමටත්, පහළවන ගතියෙන් වෙනත් ගතියක් පහළවීමටත් හේතු හැටියට බලපවත්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතනයේ ය. එම ආයතන ස්වකීය ප්‍රත්‍ය සම්පාදනය කරගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ , ඵොට්ඨබ්බ මාර්ගයෙනි. මේ ඉන්ද්‍රිය සහ අරමුණු පදනම්ව චිත්ත සන්තානය තුළ නා නා විධ ගති පහළ වෙති. ගති, චුති, පටිසන්ධි වශයෙන් සංසාර ගමන නිර්මාණය වීම පෘතග්ජන සත්ත්වයා තුළ නිරන්තර ක්‍රියාවකි. එම නිරන්තර ක්‍රියාව හෙවත් ඉඳුරන්ගේ ගමන යෝනිසෝමනසිකාරයෙන් යුක්තව විමසා සිටින්නෙකුට කෙනකුගේ ජීවත්වීම විග්‍රහ කළ හැක්කේ මේ ආරම්මණ ක්‍රියාව මගිනි. එනම් ඇසෙන් බැලීම, කනෙන් ඇසීම දිවෙන් රසවිඳීම ආදී ක්‍රියාවන් මගිනි.

මේ සාංසාරික ක්‍රියාවේ මූලිකම ලක්ෂණය සත්ත්ව සංඥාවයි. සත්ත්වයෙක්ය, පුද්ගලයෙක්ය යන තරව ගත් අශ්මි මානයයි. කර්මය විග්‍රහ කරන්නේ බුදුදහමේ චේතනාත්මකව සිදුවන මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයමයි. ලෝභ, දෝෂ, මෝහ පදනම් වූ මේ ක්‍රියාව තුළ පින් පව් මූලික සිද්ධාන්තය නොවෙනස්ව පවතියි. පින්පව් යන දෙක්‍රියාව තුළම මූලික සිද්ධාන්තය නම් ලෝභ, දෝෂ, මෝහ යන ත්‍රිමුලය පදනම් ව සත්ත්ව සංඥාවෙන් යුක්ත වීමයි. එනිසාම දෙවිබව වුවත්, මිනිස්බව වුවත්, සත්ත්ව සංඥාව අතහැර නොමැතිවීමත්, සාංසාරික පැවැත්මත් සිදුවන බව කිව යුතුය. බුදුදහමේ පෙන්වා දෙනු ලබන සත්ත්ව පුද්ගල තත්ත්වය අවබෝධ කිරීමට සහ එයින් නිදහස්වීමට මේ ජීවිතය තුළ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැයි කී පමණකින් නුපුළුවන. ඊට හේතුව අප තුළ පවත්නා ඉන්ද්‍රියයන් පමණක් නොව ඉන්ද්‍රියයන් ඇසුරුකර පවත්වන වචන සහ චින්තනය ද සියල්ල ඇලී ගැලී පැටලී ආසක්තව පවත්නේ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය උඩය. එම තත්ත්වය අවබෝධ කිරීමට ඉන්ද්‍රිය ඤාණය කිසි විටෙකවත් ප්‍රමාණවත් කොට සැලකිය නොහැකිය. විදර්ශනා මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනු ලබන්නේ ඉන්ද්‍රිය ඤාණයට වඩා වැඩි ප්‍රඥා භාවිතයක් සඳහාය. ප්‍රඥා භාවිතය නොමැති තැන යථාර්ථය වැසී යයි. විදර්ශනාව දියුණු කිරීමට කිසියම් උපාය මාර්ගයක් අවශ්‍ය ය. සතර සතිපට්ඨානය එවැනි උපාය මාර්ගයකි.

කය ඇසුරුකොට යම් සත්ත්ව සංඥාවක් පවතීද ඒ සත්ව සංඥාව නිරුද්ධ කිරීම සඳහා කය දෙස බැලිය යුතුය.’කායෙ කායානුපස්සි විහරති’ කය අනුව බලන්නෙකුට ප්‍රධාන උපාය මාර්ගය ආනාපාන ක්‍රියාව දෙස බැලීමයි. කෙනෙකුට එයට හේත්තු වී උපාදානය සහිතව එය හුරුකළ හැකිය. එය සමථ ක්‍රමයයි. නිස්සිතයා යනු යමකට හේත්තු වී සිටින්නාය. ඔහුට සෙලවීමද බලාපොරොත්තු විය යුතුය. සරල උදාහරණයකින් පෙන්වා දුන්නොත් තාප්පයට හේත්තු වී සිටින්නෙකුට තාප්පයේ සෙලවීම දැනෙන්නාක් මෙන් ආනාපාන ක්‍රියාවේදී නාභියෙ හෝ නාසග්‍රයේ හෝ හේත්තු වී බලන්නෙකුට සෙලවීම උරුම කරගනී. ඊට හේතුව ඔහු තුළ මමය මගේය යන සත්ත්ව සංඥාව මත පිහිටා නොසිට කිසිවකට හේත්තු විය නොහැකි වීමය. ඔහු හේත්තු වූයේ තමාගේ සිතටමය. සෙලවීමද එයමයි. එබැවින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, කය දෙස බලන්නෙකු එසේත් නොමැති නම් ආනාපාන ක්‍රියාව දෙස බලන්නෙකු කිසිවිටෙක හේත්තු නොවී බැලීමද, කිසිවක් අල්ලා නොගැනීමෙන්ද ආනාපාන ක්‍රියාව දෙස බැලීම තෙක් කිසිවක් උපාදානය නොකොට ගත යුතු බවය. එය විදර්ශනා භාවිතයයි. එවිට එම ක්‍රියාවලියේ ධර්මතාව හෙවත් යථාර්ථය වූ උදයව්‍ය නැතහොත් ඇතිවීම සහ නැතිවීම අවබෝධ කළ හැකිය. එය සම්මා දිට්ඨි මාර්ගයයි. මෙම ක්‍රියාව දෙස බැලීම ධර්මය දැකීමයි.

ධර්මය දැකීම බුදුන් දැකීමයි. එම ක්‍රියාවේ ඇති යථාර්ථය දකින්නෙකුට එක අසුරු ක්‍ෂණයක් නතර වී පවත්නා වූ කිසිවක් මෙම කය තුළ නැතැයි හැඟෙත්ම නිත්‍ය සුඛ ආත්ම යන කිසිවකුට හෝ මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි යන්නකට ඉඩක් හෝ එහි නැති බැවින් සත්ත්ව සංඥාව හෙවත් සක්කාය දිට්ඨිය ඉන් දුරුවේ. එම උතුම් අවබෝධය ලබන තෙක් බුදුරදුන් සත්ත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් රූප කාය ඇසුරේ දැකීමට කෙතරම් කලක් වෙර දැරුවද එම සෝමනස්ස සහගත ප්‍රවේශය සුගති භූමියක ජන්මය ලැබූවත් දුක් කෙළවර කිරීමට ඉන් ඉඩ නොලැබේ. මේ ධර්මය දැකීමෙන් ලබන බුදුන් දැකීමට කාලය අද අදම තිබෙන්නක් මිස පසුගාමී මානසික තත්ත්වයක් උඩ මෙම උතුම් ජීවිත සැනසීම කවදා කොතැනකදී ලබන්නක් වේදැයි මං මුළාවූවකු සේ නොසිටිය යුතුය. වර්තමාන සමාජය මේ කියන නිවන කල්මරන දෙයක් බවට පත්කර ඇත. කෙනකුට දුක පිළිබඳ පැහැදිලි වැටහීමක් නැති බැවින්ද දුකින් නිදහස් විය යුතුය යන හැඟීමද නැති බව පෙනේ. ඔවුන්ට ජීවිතය දුක යැයි වැටහෙන්නේ යම් අතුරු අන්තරාවකදී පමණි. නමුත් එය සත්‍ය නොවේ.

සත්‍යය නම් පෘතග්ජන මනස හැමවිටම දුකෙන් පිරී තිබීමයි. එය හරියට ගසක කොළ අතු සෙලවෙන විට පමණක් සුළඟ පවතිනවා යැයි කීම වැනියි. එහි සත්‍යය නම් කොළ අතු නොසෙල්වෙන මොහොතේත් මේ හැම තැනම සුළඟ පිරී ඇති බවයි. වැඩි දෙනකුට ඇති මේ අකර්මනය මානසික ගතිය නැතිකොට ඥානවන්ත ගිහි පැවිදි පිරිස විසින් ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිතය ඥානණය කොට ප්‍රබුද්ධ කළ යුතුය. නමුත් ඒ වෙනුවට වැඩි දෙනෙකු කරනු ලබන්නේ ඒ අහිංසක මානසිකතාවය තව තවත් අගාධයකට වැටෙන පරිදි නොයෙකුත් මිථ්‍යා කටයුතු වලට යොදවා ගැනීමයි. මේ මොහොතේ අප විසින් කළයුත්තේ මෙත්‍රී බෝසතුන් වඩම්මවා ඔටුනු පළඳා සත්කාර කිරීම නොව මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළ සියලු ලෝක සත්ත්වයා පෙළ ගැස්වීමයි. විශේෂයෙන් භික්ෂූවගේ එය පරම යුතුකමකි. අද ලෝකය හැම පැත්තෙන්ම අවුලෙන් අවුලට ලක් වී තිබෙන්නේ මිනිස් මනසේ පිරිහීම නිසයි. සියලු දෙනා පෙළ ගැසිය යුත්තේ අධ්‍යාත්මික දියුණුව ඇති කිරීමටයි. කාලීන ධර්ම දේශනා යන විපරීතයන් වෙනුවට අප වහ වහා කියාදිය යුත්තේ සැබෑ බුද්ධ දේශනයයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.