Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘බුදුසරණ’ ධර්ම දානයට

ඇල්පිටිය

ඇල්පිටියේදී ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවල විතාන මහතා විසින් වසර 22 ක් නොකඩවා සිදු කළ බුදුසරණ පත්‍ර සහ දිනමිණ වෙසක් කලාප බෙදාදීම මෙවරත් වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ප්‍රදේශයේ පූජනීය ස්ථාන කිහිපක සිල් සමාදන් වන උවැසි උවැසියන් අතර බුදුසරණ පත්‍ර 500 ක් මෙවර බෙදාදීමට නියමිතය.

තවද, ගොළුවාමුල්ල ශ්‍රී සුදර්ශිනාරාම යේදී මරණයට කැපවූ ගවයන් තිදෙනෙකු නිදහස් කිරීමටද නියමිතව ඇත.


කුරුඳුගහ හැතැප්ම

කුරුඳුගහ හැතැප්ම අවට විහාරස්ථානයන්හි හා ජයබිම ගලගොඩඅන්ත සමාධි විවේක සේනාසනයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝ දින ‘බුදුසරණ ‘ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත.

කුරුඳු ගහ හැතැප්මේ සෝමදාස නානායක්කාර මහතා විසින් පර ලෝසැපත් තම දෙමව්පියන් වන එන්.ඩබ්.ජී.පියසේන මහතා සහ එම්.එම්.විතානාච්චි මහත්මියට පින් පිණිස දොලොස්වන වරටත් එම ‘බුදුසරණ ‘ ධර්මදානය සිදු කෙරේ.


සීනිගොඩ

සීනිගොඩ මව්පිය පූජා උපහාර අට විසි බුදු මැදුරේ මෙම වෙසක් සතිය තුළ අටවිසි බුද්ධ පුජාව පැවැත්වීමට සහ පැමිණ වන්දනා කරන සියලු දෙනා වෙත වෙසක් බුදු සරණ පත්‍රය බැගින් බෙදා දීමට බුදු මැදුරේ නිර්මාතෘ පියදි ගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා කටයුතු සංවිධාන කර ඇත.

1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල දී වෙඩි වැදි මිය ගිය දයාබර මෑණියන් වූ එස්.කේ. රැන්සිනෝනා මහත්මිය සහ 1964.04.19 මිය ගිය විදුහල්පති පී.පී.ද.සිල්වා සොයුරාණන්ද සිහිකර 1987 වෙසක් පෝ දින සිට මෙම බුදුසරණ පත්‍ර ධර්ම දාන පූජාව පියදි ගමගේ චන්ද්‍රපාල ද සිල්වා සිදු කරනු ලැබේ.


බෙලිගල

බෙලිගල වෑකඩ පදිංචි ඒ.එස්. සමරසිංහ මහතා නොමිලයේ වෙසක් බුදුසරණ පත්‍ර උපෝෂථ අෂ්ඨාංග ශීලය සමාදන් වන සියලු පින්වතුන් උදෙසා ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. එම ධර්ම දානමය පිංකම සිදුකරණු ලබන්නේ බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරස්ථානය, මැටියගනේ බුද්ධරක්ඛිත ආශ්‍රම සේනාසනය , සහ තල්ගම ශ්‍රී සුමනාරාම විහාරය යන විහාර ස්ථාන වලදීය.

ජනාධිපතිතුමා ඇතුළු රට කරවන මැති ඇමතිවරුන්ට, පරලීසැපත් මාපිය දෙපල ඇතුළු ඥාතිවරුනට සහ සියලු රටවැසි ජනතාවට අනන්ත වු තුනුරුවන්ගේ ගුණ බලයෙන් සියලු ආරක්‍ෂාව සහ දෙවියන්ගේ රැකවරණය ලැබීම සහ සැමට උතුම් වූ නිවන් සුවය ලැබේවායි යන හැගුමෙන් එම පින්කම සිදුකැරෙන බවද ඒ .එස්.සමරසිංහ මහතා කියයි.


හලාවත

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ බැංකු මූල්‍ය අංශයේ අනුග්‍රහයෙන් හලාවත, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉනිගොඩවෙල, මුන්නේශ්වරම සහ කොක්කාවිල සමෘද්ධි බැංකු සංගම් මඟින් හලාවත ශ්‍රී විජයාරාමය, බටහිර මුංගන්දළුව ශ්‍රී ප්‍රබෝධාරාමය, මුගුණුවටවන ශ්‍රී මංගන රාජ මහා විහාරස්ථානය යන විහාරස්ථාන ඇතුළු ප්‍රදේශයේ විහාරස්ථාන රැසක වෙසක් පෝදා සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත ‘බුදුසරණ’ පුවත්පත් දහසක් නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.