Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාණ ධර්ම දේශනා ක්‍රම

ධර්ම දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම මගින් අධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟා වීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කැර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ටද එයින් ලෞකික සතුටක් වුවද ලබාගැනීම අපහසු නොවේ. එහෙයින් අතීතයේ සිංහල බෞද්ධ ජනතාව ධර්ම දේශනා පින්කම් අලංකාරවත්වැ උත්සවාකාරයෙන් පැවැත්වීමට වගබලා ගත්හ.

පැරණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති අවස්ථාවන්හි බව ඉතිහාසය පිරික්සීමේදී දැනගත හැකිය. රජවරු ඇමැතිවරු, සෙන්පතිවරු, සහ අනෙකුත් ප්‍රභූවරුද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ. සතර පොහොය දිනවල ධර්ම දේශනාවන් පැවැත්වූහ. කළුවර පොහොය දිනක, කළුදිය පොකුණ අසළ, කළුවර ගසක් යටදී කළුබුද්ධරක්ඛිත තෙරණුවන් කාලකාරාම සූත්‍රයෙන් බණ දෙසූ බව ඉතිහාසගත පුරා වෘත්තියකි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්මැ ගිහි ජනතාවද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන දක්වාම ධර්මය ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු පිණිස විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පදභාණක, ධම්ම කථික යනුවෙන් භික්ෂූන් වහන්සේලා තුන්නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා පැවැත්වීම ජාම කාසි එකතු කිරීම, වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනු ලැබීය. දිවාකථික හිමියන් ජනතාව රැස්වන තෙක් පොදු අනුශාසනාවක් පවත්වති. පදභාණක හිමියෝ මාතෘකා වශයෙන් සූත්‍ර කිහිපයක් කට පාඩමෙන් කියති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කැරෙමින් දහම් දෙසති.

ධර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණි. මහාවංසය වැනි වංස කථාවල සඳහන් පරිදි ‘දක්ඛිණවිභංග සූත්‍රය’ ‘දේවදූත සූත්‍රය’ ‘ගිලාන සූත්‍රය’ ‘සතිපට්ඨාන සූත්‍රය’ ‘දම්සක් සූත්‍රය’ ‘අරියවංස සූත්‍රය’ වැනි සූත්‍ර සහ ජාතක කථා දේශනාවන් ප්‍රධාන තැනක් ගත්තේ ය. මෙම දේශනාවලට රාජ්‍ය අනුග්‍රහ පවා ලැබුන බව සෙල් ලිපි වල සඳහන් වේ. ‘වෝහාරතිස්ස’ රජතුමා අරියවංස සූත්‍ර දේශනා උත්සවය සඳහා දානය දීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. ‘තෝනිගල’ සෙල් ලිපියට අනුව ‘දේව‘ නැමැත්තෙක් ‘කාලසුමනක’ නම් බැංකුවෙහි වී, උදු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොටැ එම පොලියෙන් ‘යහිස පවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි. ‘ලබු ඇට බැඳිගල’ සෙල් ලිපියට අනුවැ පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක් ද, විස්සක්ද, තැන්පත් කැර එම පොලියෙන් ‘ දේවගිරි’ විහාරයේ අරියවංශ සූත්‍ර දේශනාවට ආධාර කරයි.

පසු කාලයේ අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස්වී, නව මුහුණුවරකින් එළිදකින්නට විය. ඒ අනුවැ ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, අභිධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගෙන තිබේ. මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස් නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතුරෙන් සච්චක දමනය, ආලවක දමනය, යම රජුගේ නඩු තීන්දුව, සඳකිදුරු ජාතකය, වෙස්සන්තර ජාතකය වැනි මේවා ප්‍රධාන තැනක් ගනියි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ අප රටෙහි නොකඩවා පවත්වාගෙන ගිය මෙම ධර්ම දේශනා ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගොස් ඉතිහාසයට පමණක් එක්වැ තිබීම කනගාටුවට කරුණකි. ජාතියත්, ආගමත්, සම්බන්ධ වන බැම්මක් වශයෙන් පැවති මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලාද සොයා ගැනීම පවා අපහසුය. එහෙත් ඇතැම් පිටිසරබද ප්‍රදේශවල අද ද ඒවා දක්නට ලැබීම වාසනාවකි. හුදෙක් ධර්මාවබෝධය ලබාගැනීම පමණක් මේවා මගින් අපේක්ෂා නොකළ බවත්, දැයෙහි සමගිය සමාදානය සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චරිත්‍ර පිළිබඳ විමසීමේදී පෙනෙයි. මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොඩකවා ග්‍රහණය කැර ගැනුමටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගයන් බෙහෙවින් බලපා තිබෙන බව පෙනෙයි. වත්මනෙහි ධර්ම දේශනාවක් පැයකට හමාරකට සීමාවන බව කව්රුත් දන්නා කරුණකි. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරා පැවැත්විණ. ගොවිතැන් කැර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත්වෙයි. නිදහසේ මෙවැනි පින්කම් වලට සහභාගිවීමට හැකියාව ලැබුණි. ඒ අනුව මෙම ධර්ම දේශනා උත්සව මගින් ඔව්හු අසීමිත ආශ්වාදයක්ද ලැබූහ.

ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ පිළිබඳව ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබාදීමට කටයුතු යොදයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමටද නැරඹීමටද ජනතාව බෙහෙවින් කැමැත්තක් දැක්වූහ. එවැනි දේශනාවක් පැවැත්වෙන බව එම ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින්ද ප්‍රසිද්ධ කරයි.

සම්බුදු පියා දෙසු බණ ටික අහගන්න
බිහිසුනු අලව් යකු දමනය කරලන්න
දහඅට වන දිනය අමතක නොකරන්න
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන්න

මෙය වසර පනහකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද කවියෙකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දිනයෙහි ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙල කරති. අඳුර වැටෙත්ම පන්දම් හුලු එළි දල්වාගෙන විහාරස්ථානය වෙත පැමිණෙති. එකල සොර සතුරු බියක් නොතිබූ බැවින් නිවෙස්වල දොරගුළු නොදමා වුවද සියලු දෙනාටම පන්සලට පැමිණීමේ හැකියාව තිබුණි. පන්සලට උචිත ඇඳුමෙන් සැරසීමට කවුරුත් වගබලා ගත්හ. නොගැළපෙන ඇඳුමින් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීම ට හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදුවිය. බුදුන් උදෙසා මල් පහන්, ගිලන්පස පිදීම විශේෂ විය. පංචතූර්ය නාදය මැද්දේ එම කටයුතු සිදුවිණ.

අනතුරුවැ මල් බඳුන් වෙන්දේසිය ආරම්භ වෙයි. කිසියම් ගමක නමක් කියා මල් බදුනට මුදලක් දමති. සියලු දෙනාම උත්සාහ කරන්නේ කිසිවෙකුත් නොකී ගමක නම කියා මුදල් දැමීමටය. මෙවැනි දෙය මගින් ගැමියා ඉතා අහිංසක විනෝදාශ්වාදයක් ලැබීය. මල් බඳුන් අලෙවියෙන් පසුව සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු කරයි. මේ හැම දෙයක්ම සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව අරබයා ය. මේවා අතර ඇතැම් විට පන්තේරු නැටුමක් වැනි නර්තන අංගයක් ද ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කැරගෙනය. ඒ සඳහා අවශ්‍ය ශිල්පිනියෝ ගම තුළ නොඅඩුව සිටියහ.

මෙම මූලික කටයුතු වලින් අනතුරුවැ ධර්ම දේශනාවට සූදානම් වෙති. බොහෝවිට දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ අත්පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනෙකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලාගෙන පුටුවක් මෙන් සකස් කැර එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කැරවා ඔසවාගෙන ධර්මාසනය මතට වැඩමවීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වඩා හිදුවීමෙන් පසුව මංගල භේරි නාදය පවත්වති. රැස්ව සිටින සියලු දෙනාම සාධුනාද පවත්වති. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතුය. පන්සිල් ඉල්ලීමට හැකියාව සහ පළපුරුද්ද ඇති බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් තබාගෙන

බුද්ධමානි චින්ත්‍යපාද පුම්බුපේන රෝරුගම්
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම්
කාමනාථ සග්ගපාද නිබ්බුතේන අන්ත්‍යගම්
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමම්

සන්ත දන්ත මති දන්තරාම වර ජිනේන සතතම් නුතං
සග්ග මග්ග ගමනග්ගහේම මහි රෝහිනී ප්‍රවර සන්නිභං
ඝෝර දුක්ඛ භව සින්ධුතාර තරනීසු නීසු නිමලා තුලං
දේථදානි සරණේන වේව වර පංචසීල මති සීතලං

මෙවැනි ගාථා, කවි කියමින් පන්සිල් ආයචනා කරයි.

නමස්කාර ගාථා ගැයීමෙන් අතුරුවැ ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් සංග්‍රහවක් ද කියයි. මෙම සංග්‍රහව සමාස, අනුප්‍රාස සහිත දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. උදාහරණ වශයෙන් මෙසේ දැක්විය හැකිය. ‘පහන් සිත් ඇති දහම්සොඬ රජව ඉපිද ධර්ම වියෝගයෙන් දෙව්සිරි නිදුල සව්සිරි සැපැනි රජ සිරි හැරපියා...’ ආදී වශයෙනි. මෙසේ පූර්ව කටයුතු රැසක් ඉටුකැර මාතෘකා පාඨයක් හෝ සුත්‍රයක් කියයි. ධර්ම අවවාදය කරයි. ඉන්පසුවැ මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි. උදෑසන පහට හෝ හයට මෛත්‍රී වර්ණනාව කියා පුණ්‍යානුමෝදනාවෙන් පසු ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. ආලවක දමනය වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනාවලදී බුදුහිමයන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මගින් ගැඹුරු දහම් කරුණු ලිහිල්වැ ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත්, බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් අවබෝධ කැර ගත හැකි විය. දහස් ගණන් සෙනග රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු දෙනෙත් අයා බලා සිටිති. ඝෝරබිරං හඬ නගමින් අලව් යකු පැමිණෙන විට නිදා සිටි ළමෝ බියට පත්වී හඬ නගති. එය ඉතාමත් උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමග අලව් යකු දමනට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යකුට බිලි පිණිස පිළිගැන්වීමත්, අලව් යකු විසින් කුමරු බුදු හිමියන්ට පිළිගැන්වීමත් දකින කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.

මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම කිහිපයක් පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙවැනි සත්කාර්යන්ගෙන් එදා ජනතාව බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය සහ දේවාශිර්වාදයයි. ආගමෙහි දියුණුව ඇතිවීමටත්, දැයෙහි සමගිය වර්ධනයටත්, මෙවැනි සිරිත් විරිත් සංස්කෘතිකාංග අභාවයට යාමට නොදී රැක ගැනීම කොතරම් වැදගත් ද?


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.