Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


 

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ උතුම් තෙමඟුල සිහිපත් කරන අද වැනි දිනෙක උන්වහන්සේ ගේ පරිනිර්වාණය පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට අමතක නොකළ යුතුය. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මැනවින් විස්තර වේ. සැදැහැති බෞද්ධයකුගේ නෙතට කඳුළක් උපදවන සංවේගී සිදුවීම් රාශියක් එහි අන්තර්ගතය.

ගිජ්ජකූට පර්වතයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව එයින් නික්ම අම්බලමයිකාවට වැඩම කළහ. එතැනින් පළොල් ග්‍රාමයට හා පාඨලී ග්‍රාමය ආදී වශයෙන් සංචාරයේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ අවසාන වස් කාලය ගත කරන ලද්දේ බේලුව නමැති ගමේය. ලෝහිත පක්ඛන්දිකා රෝගය වැලඳී සිටි උන්වහන්සේ දැඩි සේ ගිලන් වුව ද මහත් වේදනාවන් වීර්යයෙන් ඉවසා සිටි සේක.

අනතුරුව චාපාල චෛත්‍ය ස්ථානයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ විවේක සුවයෙන් ගත කළහ. එහිදී ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘ආනන්දය, සතර ඉර්ධිපාද වැඩූවහුට කැමැති නම් කල්පයක් වුව ද ජීවත් විය හැකිය.’

බුදුන් වහන්සේ තෙවරක් ම මේ අදහස් ප්‍රකාශ කළ නමුත් ආනන්ද හිමියන්ට මාරාවේශ වී සිටි හෙයින් සිහි එළවා ගත නොහැකිව බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නට ආරාධනා කළ නොහැකි විය. ආනන්ද හිමියන්ගේ පමාව බලා සිටි මාරයා අවුත් බුදුරදුන්ට පිරිනිවන් පාන සේ ආරාධනා කළේය. තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පාන බව මාරයාට වදාළ සේක.

තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හළ වහාම මහා භූ®මි චලනයක් සිදුවිය. පසුව ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට කපක් වැඩ සිටින්නට ආරාධනා කළ නමුත් ආයුසංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පාන බව වදාළහ. චාපාල චෛතයෙන් විසල් පුරයට වැඩම කළ තථාගතයන් වහන්සේ කූටාගාරයට රැස් වූ භික්‍ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා අන්තිම අවවාදය දුන් සේක.

එයින් ඉක්බිති බුදුරජාණන් වහන්සේ පාවා නගරයට වැඩම කොට චුන්දකර්මාර පුත්‍රයා ගේ අඹ වනයෙහි විසූසේක. එහිදී ඔහුගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ අන්තිම දානය වැලැඳූ කල්හි ලෝහිත පක්ඛන්දිකා රෝගය යළි මතු විය.

පාවා නගරයෙන් නික්මුණු තථාගතයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජවරුන් ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයක් අතරෙහි පනවන ලද ආසනයක සැතපුණු සේක. සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් සම්බුද්ධ පරිනිර්වාණ පුවත අසා බණ අසනු පිණිස අවුත් ආනන්ද හිමියනට දැන්වීය. තෙවරක් ම දැන් වූ නමුත් ආනන්ද හිමියෝ එය බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වන බව සිතා ඔහුගේ ඉල්ලීමට අවසර නොදුන්හ. පසුව තථාගතයන් වහන්සේ එම පුවත දැන ගත් පසු තමන් වහන්සේ වෙත පැමිණීමට සුභද්‍රට අවසර දුන් සේක.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සුභද්‍ර පරිබ්‍රාජකයා අමතා බුදුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. සුභද්‍රය, එකුන් තිස් වියේ දී සත්‍යය සොයා ගිය මම යම් දිනයක පැවිදි වීද එදා පටන් අද වන තෙක් වසර පනස් එකක කාලය තුළ චතුරාර්ය සත්‍යය තබා විදර්ශනා ප්‍රඥාව දියුණු කරන කිසිම පුද්ගලයකු මේ සසුනෙන් පිට නොදුටුවෙමි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වූ කිසිම ශාසනයක ආර්ය මාර්ගයට පැමිණි කිසිම ගිහියකු තබා මහණෙක්වත් ඇති නොවේ”

මේ දේශනාව අවසානයේ සුභද්‍ර තෙමේ තෙරුවන් සරණ ගොස් පසුව පැවිද්ද හා උපසම්පදාව ලබා නොබෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් විය. බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම ශ්‍රාවකයා වූයේ මේ සුභද්‍ර හිමියන්ය.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද, නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදි එයින් නැගිට සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.