UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලක්දිව අසිරිමත් බණ කතා

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහ නුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගල් ලෙනේ දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, රහතන් වහන්සේ 500 නමකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද ප්‍රථම ධර්ම සංඝායනාවේදී බුදුරජාණනන් වහන්සේ දේශනා කරන ලද සියලුම සූත්‍ර දේශනා සංඝායනා කොට දීඝ නිකාය, මජ්ඣිම නිකාය ආදී කොටස් මතක තබා ගනිමින් ඉදිරියට ගෙනයාමේ පූර්ණ වගකීම රහතන් වහන්සේ විසින් භාර ගනු ලැබූහ. විවිධ ලාභාපේක්ෂාවෙන් බුදු සසුනේ පැවිදි බව ලැබූ තීර්ථක පිරිස් බුදු දහම විකෘති කිරීමට සැරසීම නිසා ඉන් පසුවද අවස්ථා කීපයකදීම ධර්ම සංඝායනා කීපයක්ම පවත්වා ත්‍රිපිටක බුදු දහම ඉදිරියට ගෙන යාමට මහ සඟ රුවන මහත් කැපකිරීමක් කළහ.

ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය යටතේ මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දඹදිව පැළලුප් නුවර දී පවත්වන ලද තෙවැනි ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශ නවයකට ධර්මදූත කණ්ඩායම් යවන අතර රජුගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලක් දිවට බුදුදහම ගෙන වැඩි සේක. උන් වහන්සේ විසින් ත්‍රිපිටක බුදු දහම අර්ථ කථා (අට්ඨ කථා )ලිවීමද ආරම්භ කළහ. ලක්දිවදී පැවිදි වූ මුල්ම ලාංකිකයා වූ ‘අරිට්ඨ’ රහතන් වහන්සේගෙන් ඇරැඹි බුදු දහම කට පාඩමින් ගෙන එමින් රැක ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලාංකික සංඝ රත්නයටයි. අට්ඨ කථාවල සඳහන් වන ආකාරයට ලක්දිව රහතන් වහන්සේ රැසක්ම වැඩ සිටි බව පෙනේ.

එක් කලෙක ලක්දිව සතර මග සතර ඵල වලට පත් නොවූ එකද භික්ෂුවක් හෝ නොවූ බව සඳහන්වේ. මහා විහාරයේ දකුණු දොරටුවේ සිට රුවන්සෑය දෙස බලා සිට සමාධියට සම වැදී විදසුන් වඩා 30000 ක් දෙනා රහත් වීම මුල් වූ බවද සඳහන් වේ. ථූපාරාමයේ අභය වැව් ඉවුරේ නුවර දකුණු වාසලේ ආදී තැන්වලදී 30000 ක් රහත් වූ බව සඳහන් වේ. එසේ රහත් වූ සංඛ්‍යාව මහ සෑ මළුවේ වැලිකැට සංඛ්‍යාවට වැඩි බව මහ තෙර නමක් පැවසූ බවක් ද සඳහන් වේ. පසු කලෙක සිතුල් පවුවේ හා තිස්සමහාරාම පමණක් රහතන් වහන්සේ 24000 ක් වැඩ සිටි බව විභංග අට්ඨකථාවේ දැක්වේ.

විවිධ ප්‍රදේශවල, බොහෝ විට ලෙන් විහාරවල ජීවත් වූ රහතන් වහන්සේ පිළිබඳ රසවත් කථා සමන්තපාසාදිකාව, වැනි අටුවා පොත් වලත්, සහස්ස වත්ථු, සීහල වත්ථු, රසවාහිණී යන ග්‍රන්ථවල ද දක්නට ලැබේ. මලියදේව තෙරුන්, කාලබුද්ධ රක්ඛිත තෙරුන්, තලගුරු වෙහෙර වැසි ධම්මදින්න තෙරුන්, මහා ඵුස්ස දේව තෙරුන්, ත්‍රිපිටක චූලාභය තෙරුන්, මහා තිස්ස මහා සිව තෙරුන් ආදී රහතන් වහන්සේ පිළිබඳ විවිධ තොරතුරු මේ ග්‍රන්ථවලින් දැක්වේ.

කාවන්තිස්ස රජු, මහානාග රජු, දුටුගැමුණු රජු, සද්ධාතිස්ස රජු, මහා දාඨික මහානාග රජු, වසභ රජු, ධාතුසේන රජු ආදී රජවරුන් නිරන්තරයෙන් රහතන් වහන්සේ ඇසුරු කළ බව එම ග්‍රන්ථ තුළින් දැකිය හැකිය. දුටුගැමුණු රජු ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් අනුරාධපුරය නිදහස් කර ගැනීමෙන් පසු එම සටනේදී මියගිය මිනිස් සංඛ්‍යාව පිළිබඳව දුකෙන් සිටින විට පියඟු දිවයින් වාසී රහතන් වහන්සේ නමක් රජු අස් වසමින් රජු අතින් මැරුණේ මිනිසුන් 1 1/2ක් පමණක් යැයි කී බවක් සඳහන් වේ. (මිනිසුන් 1 1/2යනු තිසරණ සහිත පන්සිල් සමාදන් වී සිටි එක් අයෙකුත්, තිසරණ පමණක් ගිය කෙනෙකුත් බවයි). කෙසේ වෙතත් මේ ප්‍රකාශය බුදු දහමට පටහැනිය. කවර ආකාරයේ වුවද ප්‍රාණඝාතය දරුණු අකුසල කර්මයකි. රහතන් වහන්සේ එසේ නොකරනු ඇත.

ගැමුණු කුමරු හා තිස්ස කුමරුන් අතර චුල්ලංගණියේ සිදුවූ සටනින් පැරැදී පලා යන අතර, වනයේ සැඟවී සිටියදී අධික කුස ගින්නක් දැනී කෑමට යමක් ඇත්දැයි ආරක්ෂාවට සිටි ඇමැතියාගෙන් ඇසූ විට රන් භාජනයක සඟවාගෙන තිබුණු ආහාර පිළිගැන්වීය. රජු ඒ ආහාරය කොටස් හතරකට බෙදා (සංඝරත්නයට, රජුට, ඇමැතියාට, වෙළඹට) සිරිත් පරිදි මුල්ම කොටස පිළි ගැනීමට මහා සංඝයාට කාල ඝෝෂා කරන ලෙස ඇමැතියාට දැන්වූ විට එම ශබ්දය දිව කණින් ඇසූ ගෝතම තෙරුන් වහන්සේ තම ශිෂ්‍ය ‘තිස්ස කුටුම්බිය පුත්ත’ තෙරුන් රජුගේ දානය පිළිගැනීමට යැවූ බව ‘රසවාහිණියේ’ දැක්වෙන අතර ‘අංගුත්තර අටුවාවෙහි දැක්වෙන්නේ ‘බෝධිමාතු තිස්ස’ තෙරුන් නමිනි.

සද්ධා තිස්ස රජතුමා ද බොහෝ ලක්දිව බෞද්ධ කථාවල දක්නට ලැබෙයි. මිහින්තලේ අසළ කළුදිය පොකුණ සමීපයේ, කළු තිඹිරි ගසක් යටදී, කළුවර පෝය දිනෙක, කළු හෙයින් කාල බුද්ධ රක්ඛිත නම් වූ රහතන් වහන්සේ ‘කාලකාරාම සූත්‍රය’ දේශනා කරන අවස්ථාවේදී තරමක් ප්‍රමාදවී පැමිණි සද්ධාතිස්ස රජු හිටිවනම රාත්‍රිය පහන් වන තුරු එම දේශනාව ශ්‍රවණය කළ බව ග්‍රන්ථ කීපයක සඳහන්වේ.

වත් අවස්ථාවකදී සද්ධාතිස්ස රජුට වටුමස් කෑමට ආශාවක් ඇති වී එය ප්‍රකාශ කළොත් දහස් ගණන් වටුවන් මැරීමට මිනිසුන් පෙළඹෙතැයි සැක කොට වසර 3 ක්ම ආශාව මැඩගෙන සිටියේය. රජුගේ කණින් ලේ සැරව ගලා යන්නට විය.සතුන් නොමරන මිනිසෙකු සොයා ‘ත්‍රිකෝටි පාරිශුද්ධ’ වටු මසක් ලදොත් ගෙනෙව‘ යි කීය. ඔහු උදෑසන මැරුණ වටුවන් විකුණන මිනිසෙකුගෙන් වටුවන් තිදෙනෙකුගේ මස් මිලදී ගෙන උයා රජුට පිළිගැන්වීය. රජු එම මස් ස්වල්පයක් ගෙන මුවෙහි තැබූ කෙණෙහිම එහි රසයෙන් මහත් සතුටක් ලැබීය. මා වැනි රජෙකුට වසර 3 ක් තිස්සේ වටුමස් කෑමට නොලැබුණේ නම් මහා සංඝයා වහන්සේ කොහෙන් ලබන්නද යැයි සළකා කටට ගත් මස් ස්වල්පය ද ඉවත දැම්මේය. ළගින් සිටි ඇමැතිවරයා ඒ දැක දණින් වැටී කටින් ගෙන අනුභව කළේය. ඔහු නිර්දෝෂි බව රජතුමා අවබෝධ කර ගත්තේය. පසුවදා වනතුරු මස් තැබීමට නියම කළේය.

පසුවදා සුපුරුදු පරිදි කන්ථකසාල පිරිවෙන්වාසී මහ තෙරුන් වහන්සේ පිඬු පිණිස රජමැදුරට වැඩියහ.තවත් භික්ෂු නමක්ද එහි වැඩියහ. ආගන්තුක හිමි නම රජුගේ ආරාධනාව මත වඩින්නට ඇතැයි මහ තෙරුන් වහන්සේ සිතීය. ඒ භික්ෂූන් වහන්සේ මහ තෙරුන් වහන්සේගේ අතවැසි හිමි නමක් වෙන්නට ඇතැයි රජු කල්පනා කළේය. එම තෙරුන් වහන්සේ වඩා හිඳුවා මුලින්ම කැඳ පිළි ගැන්වීය. අනතුරුව එක් වටුවෙකු බැගින් තෙරුන් වහන්සේට පිළිගැන්වීය. ඉතිරි වටුවාගේ මස් භික්ෂූන් වහන්සේලාගෙන් නොවිචාරා අනුභව කිරීම නුසුදුසු යැයි සිතා මහ තෙරුන්ට පිළිගැන්වුවද අතින් පාත්‍රය වසා ප්‍රතික්ෂේප කළේය.අනෙක් තෙරනම පිළි ගත්තේය. රජුට වටුමස් කෑමේ ආශාව ඉටුකර ගැනීමට නොහැකි විය.

දන් වැළඳීමෙන් පසු ආපසු වඩින අතර ‘ස්වාමීනී එක් උගත් භික්ෂු නමක් සමඟ වැඩීම මැනවි’ යැයි රජතුමා පැවසීය. එම ප්‍රකාශය නිසා එම භික්ෂුව රජතුමාගේ ආරාධනාවක් අනුව නොපැමිණි බව මහතෙරුන් වහන්සේට වැටහිණි. වෙනත් දිනයකදීද එම මහතෙරුන් වහන්සේ තවත් අතවැසි භික්ෂු නමක් සමඟ රජ මැදුරට වැඩියහ. එදිනද රජතුමා වටු මස් පිළියෙළ කර තිබූ අතර, මහ තෙරුන් වහන්සේ එක් වටුවෙකුගේ මස් පිළිගත් අතර අතවැසි භික්ෂුව වටුවෙකුගේ මස් වලින් අඩක් පමණක් පිළි ගත්තේය.එවිට ඉතිරි වටු මස් අනුභව කිරීමෙන් රජුගේ ආශාව සංසිඳිණි. ‘සීහල වත්ථු’ නම් ග්‍රන්ථයේ සඳහන් වන ‘ ඵුස්සදේව‘ තෙරුන් වහන්සේ සම්බන්ධ කථාද ඉතාම සිත්ගත් කථාවන්ය. මේ තෙරුන් වහන්සේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරියකගේ පුතෙකු බව මෙහි සඳහන් වන අතර මහා වංශයේ එසේ සඳහන් නොවේ. උන් වහන්සේ ලක්දිව ‘කාලකන්දර’ හෙවත් ‘කටකඳුරු’ නම් විහාරයක වැඩ සිටියහ. උන් වහන්සේ පිඬු සිඟා වඩ්න විට කුඹුරුවල වැඩ කරන ගොවීහු ගොනුන් ලිහා දමා තෙරුන්ට වැඳීමට පැමිණෙති.

මේ සිරිත නොකඩවා කෙරෙන විට එම ගවයෝද ඊට පුරුදුවී ගොනුන් එනතුරු බලා සිටියහ. ඉතා හොඳින් වත් පිළිවෙත්වල යෙදෙමින් නිරතුරුව භාවනාවෙන් කල් යැවූ ඒ තෙරුන් කෙරෙහි පැහැදීමෙන් එම ගවයෝ මරණින් මතු දෙව්ලොව උපත ලැබූහ. එම දෙවිවරු පන්සියදෙනා ශක්‍ර දෙවියන් හමුවට ගොස් ‘ඵුස්ස දේව තෙරුන්’ ගැන ගුණ වැනීමක් කළහ.

ශක්‍ර දෙවියන්ටද එම තෙරුන් දැකීමට ආශාවක් ඇති විය. ශක්‍ර දෙවියෝ තෙරුන් හමුවට ගොස් දෙව්ලොවට යාමට ආරාධනා කළහ. සෘද්ධි බලය නැති බැවින් තමාට පැමිණීමට නොහැකි බව පැවසූවිට ශක්‍ර දෙවියන් විසින් තෙරුන් ඔසවාගෙන දෙව්ලොවට ගෙනයනු ලැබූහ. මෙසේ කීප වරක්ම ශක්‍ර දෙවියන් විසින් ඵුස්සදේව තෙරුන් දෙව්ලොවට ගෙනගිය අතර තෙරුන් විසින් දෙවියන්ට ධර්ම දේශනා කර ඇත. චක්‍රවර්ති මාර දිව්‍ය පුත්‍රයා වරක් මේ තෙරුන් වහන්සේ භාවනා කරමින් සිටින අතර පැමිණ විවිධ වෙස් ගනිමින් භාවනාවට බාධා කළහ. අවසානයේදී තෙරුන්ගේ ඉල්ලීම අනුව මවන ලද බුදු රුවක් දෙස බලා බුද්ධානුස්සති භාවනාව වඩා සමාධියට සම වැදී ඒ තුළින් විදසුන් වඩා රහත්වූ බවද සඳහන්වේ. මේ තෙරුන් වසර 19 ක්ම ‘ගත පච්චා ගතවත’ පුරා ඇත.

අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේගේ කථාවද සීලය පිළිබඳ සිත්ගත් කථාවකි. එක්තරා සාගත කාලයකදී මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩි අතර කිසිදු අහරක් නොලැබ ක්ලාන්ත වී අඹගසක් යට නිදාගෙන සිටියහ. ඒ අඹගසයට ඉදුන අඹ ගෙඩි රැසක්ම බිම වැටී තිබිණි. එහෙත් පිළිගැන්වීමකින් තොර අහර වැළඳීම ඇවැතක් සිදුවන බැවින් තෙරුන් වහන්සේ ඒ අඹ දෙස නොබැලූහ.

එතැනින් ගිය උපාසකයෙක් මේ තෙරුන් දැක අඹ ගෙඩි කීපයකින් පානයක් සකස් කොට තෙරුන්ට පිළිගැන්වීය.එය වැළඳීමෙන් කාය ශක්තියක් ලැබුණද, නැගිට යාමට තරම් ශක්තියක් නොතිබිණි. ඒ බව දුටු උපාසකයා තෙරුන් ඔසවාගෙන උන් වහන්සේගේ ආරාමයට ගෙන ගියේය. උපාසකයාගේ කර මතින් යන අතර ‘ මොහු මාගේ නෑයෙක් ද නොවෙයි. හිතවතෙක් ද නොවෙයි. මොහු මට මෙසේ උපකාර කරන්නේ ඇයි?’ යනුවෙන් තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් ඔහුට මහත් ආනිශංස ලබාදීමට සිතා කර මතදීම භාවනා වඩා රහත් බව ලැබූහ.

මෙවැනි කථා රැසක්ම ’සීහල වත්ථු’ ‘සහස්ස වත්ථු’ ආදී සිංහල බණකථා සාහිත්‍යයේ සඳහන්වේ.

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]