Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තිසරණ – පන්සිල් අප ඔසවන තරම

‘බුද්ධ’ යනු අවබෝධය යි. කුමන අවබෝධය ද? ලෝකයේ, විශ්වයේ පවතින එකම සත්‍යයයි. සෑම බුදුන්වහන්සේ කෙනෙක්ම අනුදැන වදාළ එකම සත්‍යය ගැන අවබෝධයයි. මෙය, අකාලික දහමකි. අපේ ගෞතම බුදු හාමුදුරුවෝත් මේ සත්‍යය මතු කර අවිද්‍යාවෙන් බර වූ මානව සංහතිය සඳහා එය දේශනා කර වදාළහ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය එහි ප්‍රායෝගික මඟත් සමඟ, ඉතා සරලව පැහැදිලිව අපට දේශනා කර වදාළ සේක. බුදු දහමේ හරය මේ යැයි යමෙකුට වැටහෙයි නම්, මේ ‘බුද්ධ’ යන වචනය ඔහු වටහා ගත්තා වෙයි.

පාරම්පරිකව පැවත එන බෞද්ධයෝ ජීවිතයේ එක් වතාවක්වත් තෙරුවන් සරණ ගොස් ඇත. පාසලේ දරුවෝ සෑම දිනකම, දවසේ එක් අංගයක් වශයෙන් තෙරුවන් සරණ යති.

බොහෝ බෞද්ධයෝ තම දෛනික ජීවිතය ආරම්භ කරන්නේ ද සමහර විට දවස නිමා කරන්නේ ද (නිදි යහනට යෑමට පෙර) තෙරුවන් සරණ යෑමෙන් සහ පංච ශීලයේ පිහිටීමෙනි.

බොදු සංස්කෘතියක පෝෂණය ලබන පෙදෙසක පැවැත්වෙන සෑම සමිතියක්ම තම රැස්වීම් ඇරඹීමට පෙර ද මෙසේ තෙරුවන් සරණ යති. දැන හෝ නොදැන හෝ මෙසේ අපේ උරුම හෝ පාරම්පරික ගති සිරිත් අනුගමනය කිරීම ඒවා ඉදිරියට ගෙන යෑමකි.

පංච ශීලය සියලු ආගම් භක්තිකයින්ට පොදු දහමකි. එය බුද්ධ කාලයටත් පෙර සිට පැවත ආ උතුම් ගුණ දහමකි. මහාමායා දේවිය දරු පිළිසිඳ ගත් දින සිල් සමාදන් වූ බවක්, දහම් පොතේ සඳහන් වෙයි. එතුමිය තම මවු රටට යෑමේදීත් සිල් සමාදන් වූ බවක් කියැවෙයි. එසේ නම් එ දවස කුල සිරිතක් වශයෙන්, රජ සිරිතක් වශයෙන් උසස් සමාජ චාරිත්‍රයක් වශයෙන් සිල් සමාදන් වීම පැවැති බව පිළිගත හැකි ය. සමාජ යහගුණය, සහජීවනය, සුහදතාව, සීලය මතම පදනම් වූවක් බව පැහැදිලි ය. එය පංච සීලය ද, ඊට වැඩි උසස් සීලයක් දැයි එක හෙළා කිව නොහැකි ය.

මිනිසා තිරිසනා ගෙන් වෙන් කරනු ලබන රේඛාව, සීලය බව, පැහැදිලි ය.

තෙරුවන් සරණ යෑම යනු, බුදුන්, දහම්, සඟුන් සරණ යෑම බව, අපගේ පොදු පිළිගැනීම යි. එය තෙවරක් ශබ්ද නඟා කියා එය අනුගමනය කරන බවට අනුගත වන බවට ස්වයං පොරොන්දුවකට අපි පත් වෙමු.

මෙසේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් ප්‍රකාශ කිරීමට පෙර, නමස්කාරය කීම, සිරිතකි. ඒ අනුව සාධු නදින් පසුව අප පළමුව කරනුයේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කිරීම යි. මෙයින් පෙනී යන්නේ තිසරණ සරණ යෑමට ප්‍රථම උතුම් වූ පරමාදර්ශ චරිතය වන්දනා කර, එම උත්තමයා අපගේ සියලු කාර්යයන්හිදීම සිරස මතින් පිළිගෙන ඇති බවයි.

අප ගතානුගතිකව (සිරිතක් වශයෙන්) තිසරණ සමාදන් වන්නේ, බුදුහාමුදුරුවන් වහන්සේ, උන්වහන්සේ දේශනා කළ දහම සහ උන් වහන්සේගේ අනුගාමික සංඝයා වහන්සේ සරණ යන බව ප්‍රකාශ කිරීමට යි. සමහර උපාසක ඇත්තෝ අපේ බුදුහාමුදුරුවන් යනුවෙන් හැඳින්වීමට ලැදිකමක් දක්වති. ඔවුන් ඉන් අදහස් කරනුයේ සිදුහත් ගෞතම බුදුන් වහන්සේ ය. එය වරදක් වශයෙන් මම නොදකිමි. ඔවුහු බුදුරදුන් වෙත තමන් තුළ ඇති ලෙන්ගතුකම, සෙනහස, භක්තිය සහ සමීප බව පෙන්වීමට එයින් අදහස් කරති.

නමුත් එය බුදු දහමෙ හරයට අනුව නම්, යම් පරස්පරතාවක් පෙන්නුම් කරයි. එයින් පෞද්ගලික ගතියක් ප්‍රකාශ වෙයි. මෙයින් අදහස් කරනුයේ, අප තිසරණ සරණ යෑම බොහෝ දුරට පුද්ගලානුබද්ධ බවක් ඇති බව, හැඟවීම යි. එය වරදක් දෝෂයක් සේ නොදකිමි. එහෙත් අනුකරණයත්, අනුගමනයත් අඩු විචාර බුද්ධියකින් නිසයි, ප්‍රායෝගික ජන ජීවිතයේ දී එය සිදුවන්නේ.

එය එසේ වූවත්, සත්‍යය උපුටා දැක්වීමත් කළ යුතු යැයි මට සිතේ. ‘යො ධම්මං පස්සති, සෝ මං පස්සති’ යමෙක් දහම දකී ද, ඔහු බුදුන් දකියි. ජීවමාන බුදුන් වහන්සේ අප ඉදිරියේ දැකීමට නම් දහම දැකිය යුතු ය. බුදුන් වහන්සේ කිසිවිටකත් මනාප එකතු කළ උත්තමයකු නොවෙයි. නායකයකු හෝ පාලකයකු වීමට අදහස් කළ උත්මයකු ද නොවෙයි. එසේ නම් පුද්ගලානුබද්ධ බවක් කිසිසේත්ම එහි තිබිය නොහැකි ය. ‘බුද්ධ’ යනු අවබෝධය යි. කුමන අවබෝධය ද? ලෝකයේ, විශ්වයේ පවතින එකම සත්‍යයයි. සෑම බුදුන්වහන්සේ කෙනෙක්ම අනුදැන වදාළ එකම සත්‍යය ගැන අවබෝධයයි. මෙය, අකාලික දහමකි. අපේ ගෞතම බුදු හාමුදුරුවෝත් මේ සත්‍යය මතු කර අවිද්‍යාවෙන් බර වූ මානව සංහතිය සඳහා එය දේශනා කර වදාළහ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය එහි ප්‍රායෝගික මඟත් සමඟ, ඉතා සරලව පැහැදිලිව අපට දේශනා කර වදාළ සේක. බුදු දහමේ හරය මේ යැයි යමෙකුට වැටහෙයි නම්, මේ ‘බුද්ධ’ යන වචනය ඔහු වටහා ගත්තා වෙයි.

පළමුව දොහොත් මුදුන් තබා බුදුරජාණන් වහන්සේ නමදින අපි, ඒ පරම සත්‍ය පිළිගන්නා බව අනුගමනය කිරීමට නතු වන බව, පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, ස්වයං පොරොන්දුවකට පත් වෙමු. මේ අනුසාරයෙන් ඒ උතුම් දහමේ අන්තර්ගතය හා පිළිවෙත් පිළිගන්නා බව අනුගමනය කිරීමට නතු වන බව, පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ස්වයං පොරොන්දුවකට පත් වෙමු. ඒ උතුම් දහම ප්‍රායෝගිකරණයට ලක් කළ, එය සත්‍යයක්ම බව අපට පසක් කර එය තම තමාම සොයා ගත යුතු දෙයක් බවත් (ඕපනයිකෝ) පෙන්වා දෙමින්, ධෛර්යවත් කරන උතුම් ශ්‍රාවක සමූහයා ද (සාවක සංඝෝ) පිළිගන්නා බව අනුගමනය කිරීමට නතුවන බව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ස්වයං පොරොන්දුවකට පත් වෙමු.

මෙසේ තෙරුවන් සරණ යෑමට පසු, සමාදන් වන සීලය මනා ලෙස වැඩීමටත් ආරක්‍ෂා කර ගැනීමටත් එසේ සරණ යෑම පිටුබලයක් වෙයි. ඇත්තෙන්ම එය සම්මා දිට්ඨි පියවරේ ප්‍රථම අවධියයි. මේ අනුව, නිවැරැදි අවබෝධයෙන් තෙරුවන් වන්දනාවත්, තිසරණ සරණ යෑමත් සුපිරිසුදු බෞද්ධයකු වීමේ ලක්‍ෂණ පෙන්නුම් කරන්නකි.

දේවදත්ත තෙරුන් වහන්සේ ධ්‍යාන ලාභියෙකි. ධ්‍යාන ලාභියකු වීම ම, පරම සත්‍ය, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හෝ එයට පිළිපන් අයකු වීමට සුදුසුකමක් නොවෙයි. ශාසන ඉතිහාසයේ දක්වන කරුණු අනුව දේවදත්ත හිමියන් බුදුන් වහන්සේට විවිධ අපහාස කරදර කළ අයෙකි. ඔහු එසේ කළේ බුද්ධ යන අරුත ගැන අවබෝධයක් නොතිබුණු නිසා ය. එහෙත් පසුව ඔහු යම් වටහා ගැනීමකට පත් වූවා යැයි සිතෙයි. ගිලන් වූ දේවදත්ත තෙරණුවෝ තම අනුගාමිකයන් විසින් ඔසවා ගෙන එන ලද ඇඳක බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. පොළොව මත පා තබද්දී පොළොව පැලී ඒ තෙරණුවන් නිරයට ඇදී ගිය බව සඳහන් වෙයි. ඔහු පැමිණියේ පූර්ව අදිටනකින් යුක්තව ය. ඒ, පරම සත්‍ය තමන් පිළිගන්නා බව, බුදුන් වහන්සේට කියා සිටීමට යි. අපාගත වන අවස්ථාවේ දී බුද්ධං සරණං යනුවෙන් හඬ නඟා කීවේ, ඒ නිසා ය. බුදුන් සරණ යන්නෙමි යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මූලිකව අපට සොයා දුන් චතුරාර්ය සත්‍ය පිළිගන්නා බව යි. බීජ වැපිරීමට පෙර සී සාන්නා සේ, කිසියම් සීලයක් සමාදන්වීමට පෙර තෙරුවන් සරණ යන්නේ එහි මූලික අරමුණු වලට, එය පදනමක් වන බැවිනි.

ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීමට පෙර, පුද්ගලයන් කීප දෙනෙක් හමු වූ බව, මහාවග්ග පාලිය සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ පස් වන සතිය අජපාල නුග රුක අසල ගත කරද්දී හුහුංක නම් බමුණකු පැමිණ සතුටු, පිළිසඳරක යෙදුණු බවත්, හේ කොපමණකින් කෙනෙක් බ්‍රහ්මණයකු වේ ද යන්න විචාල බවත් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ රාගාදී පව් චතු බැහැර කළ අයෙක් බ්‍රාහ්මණයකු වීමට සුදුසුකම් ලැබූ බව, උදාන වැකියකින් වදාළහ. මෙහිදී හුහුංක බමුණා දහම් දැනුමක් නොලැබූ බව, පැහැදිලි ය. ඔහු බුදුන් සරණ ගියේ නැත. එහෙත් බුදුරජාණන් වහන්සේට පි‍්‍රය මනාපකමක් දැක් වූ බව පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත් වූ පසු තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් මුණ ගැසෙත්. මහ වග්ග පාලිය සඳහන් කරන අයුරින් ස්වකීය ඥාති දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට දන් පිළිගන්වන ලෙස උපදෙස් දුන් බව සඳහන් ය. එසේ කිරීමෙන් තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙන බව, පවසා ඇත. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ බුදුන් වහන්සේ බැහැ දැක්කෝ ය. මනා රූප ශෝභාවක් හිමි බුදුන් වහන්සේ දැකීමෙන් සිත් ගත් ඔවුහු සුළු පිළිසඳරකින් පසු තමා ගෙන ආ විළඳ මී පැණි දානයක් වශයෙන් පූජා කළ බව සඳහන් වෙයි. බුදුන් වහන්සේ ධර්මයේ යම් හැඳින්වීමක් ඔවුනට කරන්නට ඇති බව අපට සිතිය හැකි ය. තමන්ට මතු ලාභ ලැබීමේ අපේක්‍ෂාවෙන් සිටි ඔවුහු, බුදුන් වහන්සේගේ යම් අපූර්වත්වයක් වෙනසක් දකින්නට ඇත. පසුව මේ වෙළෙඳ දෙබෑයෝ බුදුන් සරණ ගියහ.

බුදු කෙනෙක් ලොව පහළ වේද, එකෙණෙහිම ධර්මය ද පහළ වෙයි. මේ වෙළෙඳ දෙබෑයෝ පළමුව බුදුන් දහම් සරණ ගිය අත්තන් බවට පත් වූහ. හුදෙකලා පෙදෙසක දී ඔවුහු බුදුන් වහන්සේ හමුවීමම බුදුන්වහන්සේට පෞද්ගලික පක්‍ෂපාත වීමක් වශයෙන් අදහස් නොකෙරෙයි. ඔවුහු දහමේ අති විශේෂත්වයක් දුටහ. ඒ නිසාම බුදුන් වහන්සේ වදාළ කරුණු පිළිගත්හ. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ බුදුන් දහම් සරණ ගියහ.

බුදුන් වහන්සේ ඉසිපතනයට වඩින අතරමඟ දී උපක නම් ගෘහපතියකු හමු විය. ගෙදර ආරවුලකින් සිත් වේදනාවට පත්ව සිටි ඔහු බුදුන් වහන්සේගේ සිත්ගන්නා සුළු ශරීර ශෝභාවෙන් ප්‍රසන්න බවට පත් වෙයි. උපක කෙටි පිළිසඳරක බුදුන් වහන්සේ සමග යෙදෙයි. කවුරු උදෙසා කුමන ශාස්තෘන් වහන්සේ යටතේ පැවිදි වූවා දැයි උපක විචාරයේ බුදුන් වහන්සේ තමන් ‘අනන්ත ජින’ බව වදාරති. එය එසේ විය හැකි යැයි පවසමින්, හිස වනා ඔහු තම ගමනේ යෙදෙයි. මෙහි දී දහම ගැන යමක් කතා නොවුණු බව පැහැදිලි ය. උපක ඊට සුදුසු මානසික තත්ත්වයක සිටියේ නැති බව ද, පැහැදිලි ය. නමුත් ආකර්ෂණීය ශරීර ශෝභාවකින් හෙබි ඒ මහා පුරුෂ රත්නයට කැමැත්තක් පි‍්‍රය බවක්, දැක් වූ බව පැහැදිලි ය. බුදුන් සරණ යෑම, පුද්ගලයකු සරණ යෑමක් නොවන බව, මින් පැහැදිලි වෙයි.

අපි බුදු පිළිම වඳිමු. බුදු පිළිමය නෙළා ඇත්තේ මැටියෙන් හෝ, ලෝහ වර්ගයකින් හෝ, පාෂාණයෙනි. එහි බුදු හිමියෝ වැඩ නොසිටිති. අපි නොයෙකුත් පූජා, පිළිම ඉදිරියේ පවත්වමු. කිසිවිටකත් ධර්මයට පටහැනි කිසිම දෙයක් පිළිම වහන්සේ ඉදිරියේ ප්‍රකාශ නොකරමු. කිසිවෙක් පිළිම වහන්සේට පිටුපා ගමන් නොකරති. අප කිසිම දෙයක් තුළ ඇති උතුරා යන ශ්‍රද්ධාව මෙසේ, කිරීමට අප පොළඹවා ඇත.එහි ජීවමාන බුදුරදුන් වැඩ සිටින බවට සිතීමට අප මනස සාදාගෙන ඇත. එයින් කිසිවිටකත් අවැඩක් සිදු නොවෙයි. විනය ගරුක යහපත් සමාජයක් බිහිවීමට, එය රුකුලකි.

ශ්‍රද්ධාව යනු, ශීලයේ තෝතැන්නයි. ශීලය යනු, ප්‍රඥාවේ අඩිතාලම යි. සමාධිය සඳහා ශීලය අත්‍යවශ්‍ය වේ. සමාධියෙන් තොර ප්‍රඥාවක් නැත. දැනට බොදු සමාජය තුළ පවතින ගුණ දහම් හා සිරිත් විරිත් ශ්‍රද්ධාව වැඩීමට හේතු වෙයි. වත්මන පවතින ක්‍රමයට විරුද්ධ වීමක්, මෙම ලිපියෙන් අදහස් නොකෙරෙයි. විඩාවට පත් වූ, දාහයෙන් පෙළෙන සමූහයක් ඉන් මිඳීම, සඳහා තම අතැති යමකින් පවන් සලා ගනිත්. එසේ කිරීම කිසි විටකත් අනුවණකමක් නොවෙයි. එය එසේ පවන් සලාගැනීම නොකරන අයට, විරුද්ධ වීමක් ද නොවෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.