Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වදනින් කිව නො හැකි හිමි ගුණ මහිම

දැඩි පිපාසාවෙන් පෙලුණු මිනිසකු එම පිපාසාව සන්සිඳවා ගැනීම උදෙසා පිරිසුදු ජලය පිරි විලකට පිය නඟන්නා සේ දහම ගුරුකොට ගැනීමේ පරමාර්ථයෙන් දහම් පිපාසාව සන්සිඳුවා ගැනීමට බුදුරදුන් සොයා යෑම ද ස්වාභාවික සන්සිද්ධියකි. අනන්ත අප්‍රමාණ වූ මුනිඳුන්ගේ ගුණ සමුදාය කෙසේ පවසන්න ද බුදු ගුණ අලංකාරකරුවා ස්වකීය ග්‍රන්ථය කාව්‍යෝක්තියට පෙරැළීමේ දී ඒ ගුණ ගැඹුර කෙසේ පවසන්නද කියා අසයි. අසමසම වූ අනන්ත වූ මනුෂ්‍යාති මනුෂ්‍ය වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ බුදුරදුන්ගේ අසීමිත අප්‍රමාණ ගුණ කදම්බයෙන් කණිකාවක් හෙවත් අංශුවක් පවසන්නට දරන තැතක් ලෙස ද හඳුන්වති.

‘ධර්මය’ හෙවත් ‘ධම්ම’ කුමකට ද? කවරෙක් සඳහා ද? එම දහම පිරිපුන් එකක් ද? කාටත් පිළිගත හැකි ද? ධර්මය අපේ ජීවිතයට බුද්ධ වේ ද? මේ සියල්ල සැලකිල්ලට ගෙන ජීවිතයේ යථාර්ථය දැනගැනීමට බුදුරදුන් සොයා ගිය අයත්, බුද්ධ කාලයේ බුදුරදුන් ඒ අය සොයා සැනසීම ලබාදුන් අයුරුත් ත්‍රිපිටක සාහිත්‍යයෙන් අනාවරණය වේ.

බුදුවරයෙක් ලොව පහළ වන්නේ සාරාසංඛ්‍යා කල්ප ලක්‍ෂයකට පසුව ය. පෙර සිටි බුදුවරුන්ගේ ධර්මයම අඛණ්ඩවම දේශනා කිරීම පිළිවෙත යි. බුදුවරයන් වෙනස් වූව ද ධර්මය එකක්ම ය. එහි කිසිදු වෙනසක් නොමැත.

සත්ව ලෝකයේ විඥානගත හා අවිඥානගත සත්ව දෙකොටසකි. විඥානගත සත්ව ගණයට ගැනෙන්නේ මිනිසා ය. අවිඥානගත තත්ත්වයට වැටෙන්නේ තිරිසන් සතුන් ය. මිනිසුන්ට සිතන්නට පතන්නට හොඳ හා නරක තෝරා බේරාගැනීමට තරම් ඥානයක් නැත්නම් ප්‍රඥාවක් ඇත. බුද්ධ ධර්මය ද ප්‍රඥාවන්තයන්ට ය.

බුද්ධ චරිතයේ වැදගත්ම ලක්‍ෂණය වන්නේ සියල්ල අත්දැකීම් බවට පෙරළා ගැනීමයි. හැම දෙයක්ම ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නඟා එහි හොඳ හා නරක තෝරා බේරාගැනීම ය. සෙසු ආගමික නායකයන්ගෙන් බුදුරදුන් මතුවන්නේ ඒ හේතුව නිසා ය. ඒ නිසාම බුදුරදහු මහා ශ්‍රේෂ්ඨයාණෝ ය. අසමසමයාණෝ ය.

සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට ස්වකීය ශරීරය ඇට සැකිල්ලක් බවට පත්වන තෙක් ජීවිතයට දුක් දී, එයින් විමුක්තිය ලබත හැකි ද යන්න අත්හදා බැලුවේ ය. එයින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව දත් බෝසතුන් වහන්සේ, එම අන්තය බැහැර කළහ. ‘අත්තකිලමථානුයෝගය’ හෙවත් ශරීරයට දැඩිසේ දුක් දීම ද බැහැර කළහ. ‘කාමසුඛල්ලිකානුයෝගය’ හෙවත් ජීවිතයට අතිශය සැපදීමේ අන්තය ද බුදුරදහු බැහැර කළහ.

අත්තකිලමථානුයෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් බැහැර කොට මැදුම් පිළිවෙතක් නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවක් තෝරා ගත්තේ ය. දැඩි අන්තවාදී අන්ත දෙක ඉඳුරාම ප්‍රතික්ෂේප කොට මැඳුම් පිළිවෙත තෝරා ගත්තේ ය. මේ මාවත් දෙකට විෂය නොවන අගෝචර අන්ත දෙක බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ස්වකීය ඥානය මෙහෙයවීය. මේ ඥානය කුමක් සඳහා ද? කාට ද? සසර, නැත්නම් සංසාරය, මහා දුක් ගොඩකි. මේ දුක් පොදිය නැත්නම් කන්දරාව, පොදි බැඳගෙන සදාකල්හිම ගමන් කරනවා ද?

මෙයින් මිදෙන්නට මාර්ගයක් සෙවීම බෝසතුන්ගේ අපේක්‍ෂාව විය. යථාර්ථය සෙවීම බුදුරදුන්ගේ නියත ය. (Theory) විය. යථාර්ථය යනු ඇත්ත ඇති සැටියෙන් දැකීම ය.

දුකෙහි ඇලී - ගැලී - වෙලී – පැටලී සිටින සත්තවයා එම දුකෙන් මුදවා ගැනීමට මහා ප්‍රඥාවක් බුදුහු ලබාගත්හ. අපි එයට මහා ප්‍රඥාව යැයි කියමු. චතුරාර්ය සත්‍ය ධර්මයක් බුදුන් වහන්සේ දෙසූහ. දුක්ඛ - සමුදය – නිරෝධ – මාර්ග යනුවෙන් එම ‘චතුර් සත්‍ය’ හැඳින්වේ. දුක – දුක ඇතිවීම – දුක නැතිකිරීම හා දුක නැති කිරීමේ මාර්ගය ලෙස මේ චතුරාර්ය සත්‍ය ධර්මය හැඳින්වේ.

තමන් වහන්සේ බුද්ධත්වය ලබා සාක්ෂාත් කරගත් මේ ධර්මය අප හඳුන්වන්නේ ‘චතුරාර්ය සත්‍ය ධර්මය’ ලෙසිනි. දම්සක් පැවතුම් සූත්‍රයට අන්තර්ගත කොට ප්‍රථමයෙන් කොණ්ඩඤ්ඤ – වප්ප – භද්දිය – මහානාම – අස්සජි යන පස්වග මහණුන් ප්‍රමුඛ දෙවි බඹුන්ට ප්‍රථමයෙන්ම ඉසිපතනයේ දී දෙසුවේ, ‘යමකු ඉපදුණොත් මිය යනවා ය.’ යමක් ලොවට ඇතිවුවහොත් නැතිවෙනවා ය. සදා කාලික යැයි කියා දෙයක් ලොව නොමැත. යමකු එසේ සිතුවොත් එය මායාවක් ය. (Fantacy) මිථ්‍යාවක් ය (Myth) යන්න බුදුන් වහන්සේ පැවසූහ.

සත්වයා ඉපදීම දුකක් ය. ලෙඩවීම දුකක් ය. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් ය. ආදී වශයෙන් සඳහන් කළ බුදුරදහු පංචඋපාදනස්කන්ධයම දුකක් ලෙස දෙසූහ. එබැවින් ප්‍රඥාව මෙහෙයවා යමක ඇලි - ගැලී නොසිට තෘෂ්ණාව අත්හළ යුතු බව පෙන්වා දුන්හ.

බෞද්ධ චින්තනයෙහිලා සත්‍යතාව යථාභූතතාව දක්නා ලද්දේ වාස්තවික වශයෙන් නොව, ද්‍රව්‍ය පදාර්ථයෙහි නොව, අවාස්තවික තත්ත්වයන්ගේ / ධර්මයන්ගේ (අප ද්‍රව්‍ය වශයෙන් සලකන දෙයෙහි නොව, ලෝකෝත්තර තත්ත්වයක ආධ්‍යාත්මික එකමුතුවක් කෙරෙහි ය. බෞද්ධයනට ඊනියා ක්‍රමිකත්වය (ධම්ම) සත්‍යය /තථ්‍යතාව පවතින්නේය) මානසික (වශයෙන් වන) සම්බන්ධතාව/ඒකාත්මභාවය වශයෙනැයි ‘එච් බෙක්’ සඳහන් කළේ ය. ‘පවත්නා ලෝකයේ නියාම ධර්මයක් විවිසා දත හැකියි’ ‘ඕල්ඩන් බර්ග් (Oldenberg) පැවැසී ය. ගලන ගංගාවන්ගේ උපමාවෙන් හැඳින්වෙන සංවිහිත නීතියක් / න්‍යායක් සංස්කාර ලෝකය අනුගමනය කරයි. එනම් ධර්මයන් ය. (ධම්මා) මේ අනිත්‍ය ධර්මය අනෙකුත් ධර්මයන්ට ආසන්නව සකස් වී පටිච්ච සමුප්පාද යටතේ පිහිටයි. ‘ජෝන් රොස් කාටර්’ ස්වකීය ධම්ම නැමැති ග්‍රන්ථයේ සඳහන් කරයි.

මේ ලොව පවත්නා සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්මය යනුවෙන් ‘ත්‍රිලක්‍ෂණය’ හෙවත් ‘තිලකුණක්’ බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

‘අනිත්‍ය’ යනු කවරේද? කිසිම දෙයක නිත්‍ය බවක් නොමැත. වහා නැසෙන සුළුය බලය පතා අපි අරගල කරන්නෙමු. එහෙත් එම බලය නිත්‍යය ද නැත. අනිත්‍යතාවකි මතු වන්නේ බල අරගලයක දී අධිකාරි බලයක් පෙන්වා, දේශ දේශාන්තර වල සිය අණසක පතුරන්නට අපි වෙර දරමු. එහෙත් මෙහි සදාකාලික බවක් තිබේද නැත යන්න සෘජුවම දිය හැකි පිළිතුර ය. මෙය බුදුරදුන් ඉතා මැනවින් විග්‍රහ කළේ ය. පර්යේෂණාගාරයකට නොගොස් පර්යේෂණයක් නොකොට සිය ආධ්‍යාත්මික බලයෙන් අනිත්‍යතා ධර්මය බුදුහු පෙන්වා දුන්හ.

‘දුක්ඛ’ යනු මිනිසාට අත්විඳින්නට ලැබෙන සියල්ලම දුකය යන්නයි. සුවිසල මන්දිර වල වෙසෙන මිනිසාත්, පැල්පතක වෙසෙන මිනිසාත් ජීවත් වන්නේ දුක් ගොඩකය. පැල්පතක වෙසෙන මිනිසාත්, සුවිසල් මැදුරේ ජීවත්වන මිනිසාත් සැප ගොඩක ජීවත්වන්නේ යයි සිතුවොත් එය වැරැදි කල්පනාවකි. මෙ දෙදෙනාම දුකෙන් මිදෙන්නට උත්සුක විය යුතු බව බුදුහිමියෝ දෙසූහ.

‘අනාත්මය’ ලෙස බුදු සමයේ සඳහන් කරන්නේ කුමක් ද? අනාත්ම යනු නිවන් සාක්ෂාත් කරගන්නාතාක් මිනිසා සංසාරයේ සැරිසරන බවයි. පුනරුත්පත්තිවාදයෙන් (Re – birth) බැහැර වන බුදුසමය පහදන්නේ පුනර්භවය වාදයකි. (Re – Carnetion) යන්නයි. නිවන් දකින තාක් සත්වයා පුනර්භව වාදයට ගොදුරු වේ. මේ පුනර්භවය යනු පුද්ගලයා මියගියාට පසු පුද්ගලයා කළ හොඳ හා නරකවල ප්‍රතිඵලය යන්නයි. යළි ඉපදෙන්නේ මිනිසා නැතිනම් සත්වයා නොව, ඔහු කළ හොඳ, නරකයි. ක්‍රියාව (Action) හා ප්‍රතික්‍රියාව (Re – Action) යම් සේද ප්‍රතික්‍රියාව එලෙසම සිදුවේ. අනාත්මභාවයෙන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ මෙයයි.

ආත්මයෙන් මිදෙන්නේ කෙසේද? මෙයට මූලික වශයෙන් බලපාන්නේ ආශාවයි. නැත්නම් තෘෂ්ණාවයි. යම් යම් ඇලීම්වලට ගොදුරු වීම හේතු කොටගෙන අප කෙරෙහි තෘෂ්ණාව භරිත වේ. යම් රූපයකට ඇලී ඒ පසු පස හඹා යාම ආශාව නොවේ ද? මේ ආශාවෙන් මුළා වී අන්ධ වී යාම සංසාරය තවදුරටත් දිගු කරගැනීමකි. මේ තත්ත්වයෙන් මිදෙන්නටයි බුදුසමය ඉවහල් වන්නේ.

තෘෂ්ණාව නැතිකර ගන්නට අප උත්සුක විය යුත්තේ කවරාකාරයෙන් ද? දානය මේ සඳහා අතිශයින්ම අනවරතයෙන්ම ඉවහල් වේ. දීම ඉතා වැදගත් අංගයකි. බුදුරදුන් දස පාරමිතා ධර්මයන්හි දානය මුලට යෙදුවේ ඇයි? දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකි ය. දානය නැත්නම් දාන පාරමිතාව මැදටත්, අගටත් නොයොදා මුලටම යෙදුවේ දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකි බැවිනි. මේ අනුව මුලින්ම දාන පාරමිතාව පිළිපැදිය යුතු ය. තමන් සන්තක කර ගැනීමේ නියතයේ සිටින අපි, අනුන් සන්තක කරන්නට උත්සුක නොවෙමු.

මෙහිදී ප්‍රයත්නය විය යුත්තේ අනුන් සන්තක කිරීමයි. මේ සඳහා ආශාව තුනී කළ යුතු ය, යනුවෙන් බුදුගුණාලංකාර කරුවා පද්‍යයට නැගුවේ එහි යථාර්ථය මේ යැයි හකුළා දක්වමිනි. අසාර වූ කයක් තබාගෙන භයංකර වූ භවයේ සැරිසරනේනේ ඇයි? ආශාව නිසා නොවේද? එබඳු තත්ත්වයක් උද්ගත වූයේ?

කාමභෝගී ජීවිතයට නැඹුරු වන පුද්ගලයාට සසර දිග ය. යථාර්ථය නොදැන නොහදාරා යන ගමනෙහි අනිටු විපාක එමට ය. යථාර්ථය දැක ගත්තේ නම් මෙවන් අකරතබ්බවලට මූණ දෙන්නේ නැත. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් බේරුම් කරදීමට පඤ්චවග්ගිය භික්‍ෂූන් හමුවීමට යන අතරමඟදී බුදුරදුන්ට උපක නම් ආජීවකයෙකු හමුවිය. ඔහු ඇසූ පිළිතුරුවලට කෙටියෙන් දුන් පිළිතුරු මෙසේයි. කා අනුව අභිනිෂ්ක්‍රමණය කළාහු ද? කාගේ ධර්මයෙහි (ධම්ම) පැහැදුණුහු ද? යනුවෙන් උපක ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් බුදුරදුන් කීවේ ‘මම සියල්ල අභිභවනය කෙළෙමි. සියල්ල දන්නේ වෙමියි’ කීය. සියල්ල අභිභවනය කළා නම් සියල්ල දන්නේ නම් බුදුරදුන් ගැන කවර කතා ද සියලු සත්ත්වයා කෙරෙහි මහා කරුණාව හා මහා ප්‍රඥාව උපදවා දුකෙන් මුදවා ගන්නට යොදුන් ගණන් දුර කතර පා ගමනින් ගෙවා යාම උන්වහන්සේ කෙරෙහි තිබුණූ උත්තරීතර ගුණයක් නොවේ ද?පා ගමනින්ම ගම්, නියම්ගම්, දනව් පසල් දනව්, පුර විසල් පුර වෙත වැඩම කළේ සත්වයා භවයෙන් ගලවා ගැනීමට ය. අටුවාවේ එන කතාවකට අනුව බුදුහිමියෝ ලෝකානුකම්පාවෙන් යුතුව ලෝකය දෙස බලන වේලාවක දී කිසියම් පුද්ගලයකුට යහපතක් කිරීමේ පරම අටියෙන් අන්ධ මවුපියන් වෙසෙන නිවසකට වැඩියහ.

මේ අන්ධ මවුපියන් රකින්නේ ඔවුන්ගේ එකම පුතු ය. මේ පුතා එදිනෙදා රාජකාරියට යාමේදී උදෙන්ම ඉඳි ආප්ප පිට්ටු හෝ බත් පිස යාම සිරිතයි.

එදින (බුදුරදුන් වැඩි දා) සකස් කොට තිබුණේ පිට්ටු ය. බුදුරදුන් පිඬු සිඟා ආවිට ඔවුන්ට දෙන්නට කිසිවක් නොවූයෙන් සිය පුතා සකස් කළ පිට්ටු ටික ඉත සිතින් යුතුව පූජා කරන ලදී. සවස් භාගයේ පුතු ඬවසට ආ විගස අන්ධ මවුපියන් කියා සිටියේ ඔහු හදා දුන් පිට්ටු ටික බුදුරදුන්ට පූජා කළ බවයි. මේ පුවත ඇසීමෙන් එම පුතා ඒ වේලාවේම සෝවාන ඵලයට පත්විය.මේ කතාවේ වැදගත්කම පවත්නේ දීම නොව දීම ඇසීමෙන් ලත් ශ්‍රද්ධාවයි. බුදුවරයෙකු ලොව පහළවන්නේ සියලු සතුන් දුකෙන් මුදවා ගන්නට ය. මේ මහා ගුණ සාගරය කෙසේ කියා නිම කරන්න ද? පරක් තෙරක් නැති ගුන කදම්භය කියා නිමකරන්නේ කෙසේ ද? ලියා අවසන් කරන්නේ කවදාද? එය කාට නම් කිව හැකි ද එසේ කිව හැක්කේ බුදුවරයකුටම පමණකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.