Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුළු තුන් ලෝකයම අපිරිමිත බොදු බැතියෙන් නහවමින්, ධර්මාලෝකයෙන් ආලෝකවත් කරමින්, බොදුනුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පහන් කරමින් වසරකට වරක් උදාවන වෙසක් පුන් පොහෝ දිනය තව දින කීපයකින් උදාවෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි අසිරිමත් තෙමඟුල සිදුවූයේ එවන් ඓතිහාසික දිනකය. එනම් උන් වහන්සේ සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් මෙලොව පහල වූයේද, බුද්ධගයාවේදී සදාකාලික සැනසුම් මග හෙවත් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කළේද, පන්සාලිස් වසක් බුදු කිස නිමවා කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ වදාළේද වෙසක් පුන් පොහෝ දිනකයි. එම උතුම් සම්බුදු තෙමඟුල නිමිතිකොට ගෙන සමස්ත ලෝකවාසි බොදු ජනතාවම ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජා යන දෙවිධියෙන්ම උන් වහන්සේගේ ගුණ සාගරය සිහිපත් කොට පුද පූජා පවත්වති. ගෞරව දක්වති.

ලුම්බිණිය

දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබා පුරා කප් සුවහසක් මුළුල්ලෙහි දානාදි දස පෙරුම් දම් සම්පූර්ණ කොට තුසිත දෙව්ලොව ඉපිද සිටි අප මහ බෝසතාණන් වහන්සේ දෙවි බඹුන්ගේ ඇරයුමෙන් , පංච මහා විලෝකනය කොට, අනතුරුව ඇසළ පුණුපොහෝ දින මහාමායා දේවිය කුස පිළිසිඳ ගත් සේක. දරු ගැබට දසමස් පිරීමට ආසන්නවත්ම කුමරියට තම මව්පියන් වෙත යාමට දොලක් උපන්නාය.


ලුම්බිණිය

ඒ ගැන ඇසු සුද්ධෝදන රජතුමා කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවර දක්වා මග තොරණ් බැද ධජපතාකාදිය නංවා, විළඳ , සුනූසල්, ඊතණ, අඹ, සමන් කැකුළු, ආදි ලද පස් මල් ඉස, මග දෙපස පුන්කලස් තබා සරසා දේවිය රන් සිවි ගෙයක සිඳුවා , සිවුරඟ සෙන් සමග රජ පෙරහරින් පිටත් කර යැවූහ. මෙසේ යන අතරමඟදී හමුවු ලුම්බිණී නම් සල් උයන් දුටු ඇයට එහි බැස යාමට සිතක් පහළ විය. එදින මුළු සල් වනයම මලින් බරව පැවැති අතර රොන් ගන්නා බඹරුන්ගේ නාදයෙන් හා අතු අග හිඳ ලිය ගී ගයන සියොතුන්ගේ නාදයෙන් ද එතනින් නාද වූ ඉතා රමණීය වූවක් විය.

මලින් බර වු සල් අත්තක් අතින් ගෙන සිටි දේවියගේ කර්මජවාතය චලනය වූවාය. ඒ බව දත් ඇමති ජනයා අවට කඩතිර ඇඳ රැකවල් ගෙන සිටියේය. දහසක් සක්වල දෙවියෝද එක් රැස්ව පිරිවැරූහ.

එකල මහ මායා දේවිය සල් ශාඛාව ගෙන සිටියදීම දෙව් ලොවින් බස්නා දෙවි කුමරෙකු මෙන්ද , බඹ ලොවින් බස්නා බ්‍රහ්ම කුමරුවෙකු මෙන් ද ධර්මාසනයෙන් බස්නා ධර්ම කථික මහ තෙර නමක් මෙන් ද දේවි කුසින් බිහි වු සේක. බෝසතු කුමරු උපන් අවස්ථාවේ රන් දැලින් පිළිගත් බ්‍රහ්ම රජු අතින් සතර වරම් රජ දරුවෝ සතර දෙන අභි මංගල සම්මත වු සියුම් පහස් ඇති දිව සළු වලින් පිළිගත්හ. ඔවුන් අතින් මඟුල් මහ ඇමතියන් ද පිළිගත් කුමරා බිමට බසිමින් සිරි පතුල් දිගු කළ කල්හි පොළොවෙන් සත් පියුමන් පැන නැංගාහ. මෙම සත් පියුමෙන් කුමරුවාගේ සිරි පතුල් පිළිගන්නා ලදී. පසුව දස දිග් බලා තමන් හා සම කෙනෙක් නොදැක.” මට උතුරුව සිටි එකද සත්වයෙක් නැත. එසේ හෙයින් මම්ම උතුර වෙමියි “ සිතා සත්වැනි පියවර තැබූ පියුම මත්තේ හිදි.

“අග්ගෝ හමස්මි ලෝකස්ස.
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස “

යනාදියෙන් අභීත සිංහ නාද කළේය. අනතුරුව සුරනරන් ගේ මහත් වු පුද සත්කාර ආශිර්වාද හා රැකවල් මැද්දේ බුද්ධ මාතා මහාමායා දේවිය හා කුමරුවා කැටුව පෙරළා රජ ගෙදරටම පෙළහරින් නික්මුණහ.

ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවරත් දෙව්දහ නුවරත් අතර ලුම්බිණිය පිහිටා ඇති අතර දඹදිව ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ ධර්මාශෝක රජතුමා විසි වෙනි අභිෂේක වර්ෂයේදී කළ තමාගේ ධර්ම යාත්‍රාව සිහිවීම පිණිස එතුමා විසින් මෙම ස්ථානයේ ශිලා ස්ථම්භයක් ඉදිකරන ලදී “ බුදුරජාණන් වහන්සේ මෙහි උපත ලැබූවයි” එහි ලේඛන ගතව ඇත.


කුසිනාරාව

වසර 2632 කට පෙර සිද්ධාර්ථ කුමාරෝපත්තිය සිදු වු මෙම ලුම්බිණිය මුළු මහත් බෞද්ධයන්ට පින් කෙතකි. එම ස්ථානයේ ඉදිකර ඇති අශෝක ස්ථම්භය අද පවා දක්නට ඇති අතර මේ නිසා දෙස් විදෙස් බොදු ජනතාවට අදත් එම ස්ථානය සැක හැර දැක බලා වැඳ පුදා ගැනීමේ භාග්‍ය උදා වී අත.

කෙසේ වෙතත් ලුම්බිණිය පිහිටි ස්ථානය පිළිබඳව කිසිදු වාද විවාදයක් නැත. තවද මෙම බුද්ධෝත්පත්තිය සිදු වූ මොහොතේ ඇති වු විවිධ ආශ්චර්යය මත් දේ ගැන කා අතරත් ප්‍රකටය. බාරාණාසි හෝ ලක් නව් ගුවන් තොටුපලවල දෙකින් ඉතා පහසුවෙන් ලුම්බිණියට ළඟා විය හැක. දුම්රිය බස්රිය ආදි වෙනත් වාහන වලින්ද පැමිණිය හැකි මාර්ගද ඇත.

බුද්ධගයාව

සිදුහත් බෝසතාණන් වහන්සේ ගයා ශීර්ෂය නමින් හැඳින් වූ ප්‍රදේශයේ දී සපිරිවර මාර මථනය කොට බුද්ධ රාජ්‍ය ශී‍්‍රයට පත්වීම නිසා බුද්ධගයාව නමින් කා අතරත් ප්‍රකට විය. වෙසක් පොහෝ දින උදා වූ පසු සිදුහත් බෝසතාණන් වහන්සේ අජපාල නුග රුක මුල නැගෙනහිර දෙසට මුහුණලා වැඩ හුන්හ. සුජාතා සිටු දේවිය රන් තලියක බහාලූ කිරි බතක් ගෙන ගොස් උන් වහන්සේට පිළිගැන්වුවාය.

පසුව බෝසතාණන් වහන්සේ එම කිරිපිඬුඳ පිළිගෙන නේරංජණ ගං තෙරට ගොස්, ස්නානය කර, කිරිබත් වළදා රන් තලිය අතට ගෙන “ අද මම බුදු වන්නේ නම් මෙම තලිය උඩුගම් බලා යේවායි “ සිතා දියට දැමුසේක.

අනතුරුව උන් වහන්සේට අතරමගදී හමු වු සොත්ථිය බමුණා දුන් කුසතණ අට මිටක් ගෙන ගයා ශීර්ෂයෙහි අට ඉස්බත් පෙරට ගමන් කොට “පෙර බෝසත්වරු වැඩ සිටි තැන යයි “ සළකා ඇසතු රුක මුල කුස තණ අතුරා” මාගේ සිරුරේ සම්, නහර, ඇට පමණක් ඉතුරු වී මස්, ලේ වියලී ගියත් සත්‍යාවබෝධය කොට, සර්වඥතා ඤාණය ලබා මිස මෙතැනින් නොනැගිටිමියි “ උන් වහන්සේ අපරාජිත පර්යංකයෙන් හා චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව අධිෂ්ඨාන කරවැඩ හුන්හ.


බුද්ධගයාව

මෙසේ වැඩ සිටි උන් වහන්සේ ශීලයෙන් පවිත්‍ර වූ තම සිත භාවනාව මගින් ක්‍රමයෙන් සමාධියට නැඹුරු කළහ. එවිට දේව පුත්ත මාරයාගේ භයානක දර්ශන පෙනෙන්නට හා අද්භූ®ත ශබ්ද ඇසෙන්නට විය. එතැනට දෙව් බඹ සේනාද රැස් වූහ. හිරු බැස යාමත් සමඟම සඳ මඩල උදා විය. හදිස්සියේම බෝරුක අවට පිරිවරා සිටි දෙවි බඹ සේනා සතුරෙකු මෙන් දිව එන වසවත් මරු ඇතුළු මාර සෙනඟ දැක හිස් ලූ ලූ අත දුවන්නට පටන් ගත්හ.

බෝ මැඩ අසලට පැමිණි වසවත් ඇතුළු මාර පිරිස බෝසතාණන් බිය ගන්නා පළඟින් නැගී සිටුවීමට නොයෙක් තරජන ගර්ජන කළහ. තම සිතේ එකගත්වයට බාධක වූ එවැනි දේ වලට එතුමා බිය නොවූහ. පසුව උන් වහන්සේ වසවත් මාර ඇතුළු මාර සෙනග පලවා හැර සිත එකගත්වයට ගෙන ධ්‍යාන වලට සම වැදුණහ. එම සිත සර්වඥතා ඤාණය වෙත යොමු කළ බෝසතාණන් වහන්සේ එදා පෙරයම් සමයෙහි පුබ්බේනිවාසානුස්සති ඤාණයන් , මැදියමෙහි චුතූප්පාත ඥානයත්, අළුයම් හි ආසවක්ඛය ඤාණයත් යන ත්‍රි විද්‍යාවන් අවබෝධ කොට ගත්හ.

අනතුරුව චතුරාර්ය සත්‍යය ධර්මය සර්වඥතා ඤාණයෙන් මනා කොට අවබෝධ කොට ගෙන පස්මරුන් පරදවා සවාසනා සව් කෙලෙසුන් නසා සර්වඥතා ඤාණය ලැබීමේ සතුට නිසා සිතේ ඇති වු පී‍්‍රතිය මෙසේ පහළ කළහ.

“අනේක ජාති සංසාරාං- සන්ධාවිස්සං අනිබ්බිසං ..”

ආදි උදාන වාක්‍යයෙන් ඒ බව දැක්වේ.

බුද්ධගයාවෙ ඉතිහාසය ආරම්භ වන්නේ බෝධි සත්වයන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා ආරම්භ කිරීමත් සමගය. සමස්ත ලෝකයාටම ධර්මාලෝකය පතුරුවා හල මෙම බුද්ධගයාව තරම් අති පූජනීය ස්ථානයක් බොදුනුවන්ට තවත් නැත. අශෝක අධිරාජයා පවා එම ශුද්ධ බෝධි වෘක්ෂය වන්දනා කිරීම සිරිතක්ව පැවැති බව ඒ ගැන සඳහන් සාංචියේ තොරණක ඇති ගල් කැටයමකින් හමු වේ. අද දක්නට ලැබෙන බුද්ධගයා විහාරය මෙම අධිරාජ්‍යයා විසින් ගොඩ නඟන ලදැයි විශ්වාසයක් ඇත.

බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ මෙම බුද්ධගයා ප්‍රදේශය මගධ දේශයට අයත්ය. ත්‍රිපිටකයට අනුව සෑම බෞද්ධයකු විසින්ම දැක බලා වැඳු පුදා පහන් සංවේග දැනවිය යුතුතැන් සතරක් දැක්වේ. ඉන් එක් ස්ථානයකි බුද්ධගයාව . සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ පෙරුම් දම් පුරා තුන් ලෝකවාසි සකල සත්වයාට සදාකාලික සැනසීම ළඟාකර දීම අදිටනකින් අප බෝසතාණන් වහන්සේ අමා සුව ළඟාකර ගත් එම පරම පුජනීය වු බුද්ධගයාව සදානුස්මරණීය ස්ථානයකි.

ලංකාවෙන් වැඩම වන භික්‍ෂූන් වහන්සේට සුදුසු ආවාස පහසුව බුද්ධගයාවෙන් නොලැබුණු බව සැලවූ පසු ක්‍රි.ව. 388 දී ශිලා මේඝවර්ණ රජතුමා එහි සංඝාරාමයක් කරවු බවද ඉතිහාසයේ සඳහන් වේ. එම සංඝාරාමයෙහි නෂ්ඨාවශේෂ අද පවා දක්නට ඇත.

නොයෙක් රටවලින් බුද්ධගයාව වන්දනා කිරීමට දේශාටකයන් පවා පැමිණි ඇති බව ඓතිහාසික වාර්තාගත කරුණු වලින් සනාථ වේ. ඒ අතර ක්‍රි.ව. 409 දී පැමිණි පාහියන් හා ක්‍රි.ව. 637 දී පැමිණි හියුං සාං යන චීන දේශාටකයින් දෙදෙනා එකල බුද්ධගයාවේ තිබූ තත්වය මැනවින් වාර්තාගත කොට ඇත. මෙම ජාත්‍යන්තර විහාරය ක්‍රි.ව. 1079 දී සැදැහැවත් වූ බුරුම බෞද්ධයන් අතින් ප්‍රතිසංස්කරණය වී ඇත. ධර්ම රක්‍ෂිත හිමි භික්‍ෂුවක් විසින්ද ක්‍රි.ව. 1100 - 1200 අතර ප්‍රතිසංස්කරණය කළ බවට ඓතිහාසික කරුණු මගින් අනාවරණය වේ. කි‍්‍ර.ව. 1290 දී බුරුම බෞද්ධයන් විසින් නැවත ප්‍රතිසංස්කරණය කළ බවද සැලකේ.

විවිධ ආක්‍රමණ, හින්දු රජවරු බලයට පත්වීම හා බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් බවට පත් කිරීම වැනි හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධගයාව අපට අහිමි විය.

එනම්, ශෛව මහන්තාන නම් හින්දු පූජකයා විසින් බුද්ධගයාවේ අයිතිය තමා වෙත පවරා ගැනීමය” සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව් “ යනුවෙන් පසුව බුද්ධගයාව බේරා ගැනීමෙහි සටන ආරම්භ කළේ ජාති හිතෛෂි ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි “ මහා බෝධි සමාගම “ ආරම්භ කොට මෙතුමා ගෙන ගිය දැඩි ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව. 1858 බුද්ධගයා මහා විහාරය බෞද්ධයන්ගෙන් හා හින්දූන්ගෙන් යුක්ත මහා මණ්ඩලය කට පැවරිණි. මේ නිසා බුද්ධගයාව අදත් බෞද්ධ ලෝකවාසි ජනතාවට විවෘතව ඇත.

කුසිනාරාව

බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් රජ දනව් වල හැසිරෙමින් පන්සාලිස් වසක් තුළ සදේවක ලෝකයා වෙනුවෙන් සියලු බුදු කිස නිමවා කුසිනාරා නුවරට වැඩම කළ සේක. මේ වන විට උන් වහන්සේ අසු වන වියෙහි පසු වූහ. විශාලා මහ නුවර චාපාල චෛත්‍යය නම් ස්ථානයේදී බුදුන් වහන්සේ ආයු සංස්කාරය හළහ. එකෙනෙහිම පොළොව කම්පා විය. එතැනින් කූටාගාර ශාලාවට වැඩමවා එහිදි ශ්‍රාවකයන්ට දහම් දෙසා පාවා නුවරට වැඩ චුන්ද කර්මාර පුත්‍රයා දුන් සූකරමද්දව දානය වැළදූ සේක. අනතුරුව උන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ පිරිවරා කුක්කුත්ථා නදියෙන් පැන් සැපයීමෙන් පසු අඹ වනයට වැඩමවා සඟල සිවුර සතර පොටක් කොට අසුනක් පනවා සිංහ සෙය්‍යාවෙන් සැතපුණු සේක.

ඉන් පසු හිරණ්‍යවතී ගගින් එතෙර වී මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ සල් රුක් දෙකක් අතර අසුනක් පනවා උතුරට හිස ලා සැතපුණු සේක.

පසුව ආනන්ද හිමියන් අමතා “ සැදැහැති කුල පුතුන් දැකගත යුතු පහන් සංවේග දැනවිය යුතු වූ ස්ථාන සතර ලෙස ගෞතම බෝසත්තුමා උපන් භූ®මිය, සම්මා සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය සහ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පා වදාළ ස්ථානය උන් වහන්සේ වදාළ සේක. මේ වන විටත් රහත් නොවී සිටි ආනන්ද තෙරුන් අමතා බණ දේශනා කරමින් “ආනන්දය, ඔබ පෙර පින් කළ කෙනක. පමා නොවී රහත් වන්නැයි “ සනසා වදාළහ. එදින මල්ල රජ දරුවෝ එහි රැස්වූහ. ඉන් පසු බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් භික්‍ෂූන් වහන්සේ අමතා

හන්දදාති භික්ඛවේ ආමන්තයාමිවෝ
වය ධම්මා සංඛාරා
අප්පමාදෙන සම්පාදේථ .....”

“මහණෙනි ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් හි යෙදෙන්න “ යනුවෙන් වදාළ සේක. ඒ අන්තිම බුද්ධ වචනයයි.බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට කුසිනාරාව තෝරා ගැනීම ආනන්ද තෙරණුවන්ගේ අකමැත්තට හේතු විය. එනම් කොසඹෑ, රජගහ, සාවත්ථි, චම්පා,කෝසල, මගධ වැනි නගරයක පිරිනිවන් නොපා ඒ සඳහා කුසිනාරාව වැනි පිටිසර බද කුඩා නගරයක් තෝරාගත් හෙයිනි. මෙහිදී බුදුරජාණන් වහන්සේ මහා සුදස්සන සුත්‍රය දේශනා කර කුසිනාරාව චක්‍රවර්ති රජුන්ගේ රාජ්‍යයක් බවත්, එකල කුසාවතී නමින් ප්‍රකටව පැවැති බවත් වදාළ සේක. කුසිනාරාව පිරිනිවන් පෑම සඳහා තෝරාගන්නේ කරුණු තුනක් මුල් කරගෙනය.

01.මහා සුදස්සන සූත්‍රය දෙසීමට කරුණු වීම

02.සුභද්ද පිරිවැජියාට බණ කියා රහත් වීමට මග පාදා දීම

03. ද්‍රෝණ බමුණා ධාතු කෝලාහලය සංසිඳුවා රජවරුන්ට සමසේ ධාතු බෙදාදීම. යන කරුණු තුනයි. චරක් බුදුන් ආපන ගමින් අවුත් අතුමා ගමට වැඩි සේක. රෝජ මල්ල රජතුමා පන්සියයක් සමඟ පැමිණ බණ අසා පැහැදී බෞද්ධයකු වී බුදුරදුන් ප්‍රමුඛ මහා සඟනට දන් පිරිනැමූ වේද මෙහිදීය.

කුසිනාරා සූත්‍ර දෙකක් හා තුන්තී සූත්‍රයද වදාළේ මෙම නගරයේදීමය. තුන්වන කුසිනාරා සූත්‍රය දේශනා කළේද උපවත්තනයේදීය.

බන්දුල සෙනෙවියාගේ බන්දුල මල්ලිකාවගේ ජන්ම භූමියද කුසිනාරාවයි. බාවරි තවුසාගේ ශිෂ්‍යයෙක් ලංකාවේ සිට බුදුරදුන් හමුවීමට ආගමනේදි කුසිනාරාව හරහා ගමන් කළ බවක්ද සඳහන් වේ. මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන්ගේ පිරිනිවන් පෑම අසා පාවා නුවර සිට කුසිනාරාවට වැඩම කළේ මෙම මාර්ගයෙනි. සම්බුද්ධ පරිනිර්වාණය, ආදහන පූජාව, සර්වඥ ධාතු බෙදා දීම යන කරුණු නිසා කුසිනාරාව පූජනීයත්වයට පත් වූහ.

පැරැණි දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් එකකි. මල්ල ජනපදය, එය කුසිනාරාවට අයත් අතර පාලනය කළේ මල්ල රජ දරුවෝය. බුද්ධ කාලයේ මල්ල රාජ්‍ය ගෝත්‍ර නවයකින් යුත් සංයුක්ත රාජ්‍යයකි. මින් ගෝත්‍ර දෙකක් බලවත්ව පැවැති අතර එකක අගනුවර කුසිනාරාව විය. අනෙක් අගනුවර පාවා නුවරයි. මෙම බුද්ධ පරිනිර්වාණය සිදු වු ස්ථානය අපර භාගයෙහි කරවන ලද එතරම් උස් නොවූ විහාරයක් වෙයි. එම විහාරයට පිටුපසින් ඇත්තේ පරිනිර්වාණ චෛත්‍යයයි. පරිනිර්වාණ විහාරය ආදාහන චෛත්‍යය , ධාතු බෙදා දුන් ස්ථානයේ කරවු චෛත්‍යයය ඇතුළු ගොඩනැගිලි රාශියක් මෙහි ඉදි කරවන ලදී. ධාතු පරිනිර්වාණය මෙහිදී සිදු වු බව ශිලා ලිපියක කොටා තබා ඇත. පිරිනිවන් මඤ්චකය පිටිපස අශෝක රජු කරවු චෛත්‍යය දිරාපත්ව තිබී මෑත කාලයක (1927) දී බුරුම බෞද්ධයන් විසින් නව ප්‍රතිසංස්කරණයක් කොට අලංකාර කර ඇත. එකල විශාල බෞද්ධ ජනතාවක් වාසය කළ කුසිනාරාව පැරැණි බෞද්ධ රාජ්‍යයකි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ මෙම පිරිනිවීම සිදු වු කුසිනාරාව ද සැදැහැති කුල පුතුන් විසින් දැක වැඳ පුදා ගත යුතු පුජනීය ඓතිහාසික ස්ථාන අතර එක් ස්ථානයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.