සිත දමනයට
වෙර වඩන
නැණවතා
විමුක්ති මාර්ගය කරා පියවර තැබීමට ප්‍රථමයෙන්
අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි.
එය සිතින් කයින් වචනයෙන් තහවුරු වීමට
භාවනාව හෙවත් නිශ්චිත අරමුණට සිත නගා ගැනීම නම් වූ විතක්ක විචාර දෙක
අවශ්‍ය වේ.
අරමුණට සිත නගා ගැනීම හෙවත්
ආරෝපණය කිරීම විතර්කය වන අතර
අරමුණේ සිත හසුරුවා ගැනීම විචාරය යි.
පේරාදෙණිය ගන්නෝරුව රජමහා විහාරය සහ
උඩගන්නෝරුව පුරාණ බෝධිමලු විහාරය
යන උභය විහාරාධිපති
අඹන්පොල සුමංගල නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උදකංහි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා
පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සුඛ හෙරණවහන්දෑ අරබයා
මෙම ගාථාධර්මය දේශනා කළසේක. සැවැත්නුවර ධනධාන්‍ය සම්පතින් ඉසුරුමත්
පවුලක මවුපිය දෙපලක් අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේට පැහැදී
සිව්පසයෙන් උපස්ථාන කරති. මෙම පින්වත් මව්පියන්ට වාසනාවන්ත පුත් රුවනක්
ලැබිණ.
මෙම ළදරුවා මව් කුස පිළිසිඳගත් තැන් පටන් ගෙදර සෑම දෙනාම පී‍්‍රතියෙන්
පිනායන්නට වුයේ නිධානයක් පහළ වුවාක් මෙනි.
පුතුට නම් තැබීම සඳහා සැරියුත් මහ රහතන් වහන්සේ වැඩමවා දන් පැන් පුජා
කොට “ කුමරු මව්කුස පිළිසිඳ ගත් දා සිට පවුලේ සෑම දෙනාම සුවසේ සිටිය
බව දැන්වූහ.උන්වහන්සේද කුමරුට සුඛ කුමාර යන නම තැබූහ.
මෙසේ මහත් ඉසුරෙන් වැඩෙන කුමරුගේ සෑම මංගල කාරණයකදීම පන්සියයක්
භික්‍ෂූන් වහන්සේලාට මහදන් පිළිගන්වා තෙරුවන් ගුණයෙන් ආසිරි ගැන්වූහ.
සසරදී කළ මහා පුන්‍ය බල මහිමය නිසා නිසර්ගයෙන්ම හත් හැවිරිදි කුමරුට
මහණවීමට කැමැත්තක් ඇති විය. සැදැහැවත් දෙමව්පියෝද සත්දිනක් මුළුල්ලෙහි
කුමරුට මහ පෙරහර පවත්වා සැරියුත් මහ රහතන් වහන්සේ වෙත පැවිදි කරවූහ.
සුඛ සාමණේර නමින් ප්‍රකටව මහණදම් පුරමින් දිනක් සැරියුත් මහ තෙරුන් සමඟ
පිඬු පිණිස වඩින විට අතරමඟ ගොවියන් වඩුවන් තම තමන්ගේ කාර්යයට යෝග්‍ය
පරිදි අවශ්‍ය දේ සකසා ගන්නා අයුරු නිරීක්‍ෂණය කළහ.
මෙසේ සිහියෙන් භාවනාවට අරමුණ ගත් සුඛ තෙරණුන් වහන්සේ වෙහෙරට ගොස්
පිළිවෙළින් භාවනා කොට විදසුන් වඩා උතුම් රහත්ඵලයට පත්වූහ. මෙම කාරණය
නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ උපමා උපමේය ගලපා මෙම ගාථා ධර්මය දේශනා
කළසේක.
දියාළුවෝ විවිධ ක්‍රම මගින් තමන්ට කැමති තැනකට ජලය ගෙන යති. හීවඩුවෝ
තමන්ට කැමති පරිදි ලී දඩු සකසා ගණිති. ලෝහකරුවෝ යකඩ තලාපෙලා ඔප මට්ටම්
කොට වැඩෙහි යොදති. එමෙන්ම නුවණැත්තෝ තම සිත දමනය කර ගනිති.
පින්වත්නි,
ජලය, අප සෑම දෙනාටම සෑම කාර්යකදීම අත්‍යාවශ්‍ය වන අතර එහි ස්වභාවය පහලට
ගලාගෙන යාමයි. එහෙත් ගොවියෝ වැව් අමුණු, කෙත් වතු සඳහා ඇලදොල මාර්ගයෙන්
ගෙන ගොස් අවශ්‍ය වගාවන් කර ගනිති.
එය සිහි බුද්ධියෙන් කරණා ඉතා සියුම් කාර්යක් වුවද ඉන් ලබන ප්‍රයෝජන
අපමණය. ලෝහ වැඩ කරන කාර්මිකයෝද යකඩ උණුකොට ඉතා සියුම් උපකරණ නිර්මාණය
කරති. එම උපකරණ වලින් වඩුවෝ දැව දඬු කපා කොටා ඉරා යතු ගා ලී වලින් කරණ
විචිත්‍ර නිර්මාණද සිහි කල්පනාවෙන්ම කළ යුතුවේ.
සිතින් කුමන නිර්මාණ කළත් සිත දමනය කිරීම එතරම් පහසු කාර්යක් නොවේ.
ඇසින් පෙනෙන දේ සිතින් සිතා නිර්මාණය කිරීම පහසු වුවද නාම ධර්ම
සංඛ්‍යාත සිත තමාට අභිමත පරිදි අවනත කර ගැනීමට ප්‍රධාන වශයෙන් කාර්ය
කීපයක් එක්විය යුතු වන්නේය.
01. පෙර භවයේදී කළ අභ්‍යාස
02. මේ භවයේදි ලබන කල්‍යාණ මිත්‍ර සේවනය
03. තම චරිතයට යෝග්‍ය අරමුණ
04. අධිෂ්ඨානය
අති දීර්ඝ කාලයක් සසර සැරිසරණ සත්වයන්ට එම සසර දුකින් මිදීමට නම්
මිනිසත් බවක් ලැබීමත්, සිත දමනය කරගෙන විමුක්ති මාර්ගයට යෝග්‍ය අරමුණක්
ගෙන භාවනා කිරීමත් අවශ්‍යම වන්නේය. එය මොහොතකින් කළ හැකි දෙයක් නොවන
අතර සසරදී ධර්මය දැනගෙන එකී ධර්මානුධර්ම ප්‍රතිපදාවේ සතත නිරත යුතුවේ.
මොහොතක් පාසා අරමුණෙන් අරමුණට වෙනස් වන සිත නිශ්චිත අරමුණක රඳවා ගැනීමට
කල්‍යාණ මිත්‍ර සේවනයෙන් තම චරිතයට යෝග්‍ය පරිදි සම සතළිස් කමටහන්
වලින් එකක් තෝරා ගෙන දැඩි අධිෂ්ඨානයෙන් භාවනා කළ යුතු වන්නේය. සසර ගති
පැවතුම් අනුව සත්වයන්ගේ හැසිරීම් රටාව විවිධාකාර වේ. විශේෂයෙන් භෞතික
අපේක්‍ෂාවන්ගෙන්ම අභිවෘද්ධිය කරා ගමන් කරණ එයම සරණ කර ගන්නා මිනිසාට
චිත්ත දමනය කිරීම අතිදුෂ්කරය. මිනිසා මුහුණපාන ප්‍රශ්න අනුව ගැඹුරු දහම
අවබෝධ කර ගැනීමට වඩා අවශ්‍ය වන්නේ මිනිස් සිත හා ලෝකය අතර පවත්නා තද
බන්ධනය සරල කරගැනීමයි. කෙතරම් සම්පත් තිබෙන නමුත් තෘප්තිමත් වීමේ
සිමාවක් සොයා ගැනීම උගහටය.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ විමුක්ති මාර්ගය කරා
පියවර තැබීමට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි. එය
සිතින් කයින් වචනයෙන් තහවුරු වීමට භාවනාව හෙවත් නිශ්චිත අරමුණට සිත නගා
ගැණීම නම් වූ විතක්ක විචාර දෙක අවශ්‍ය වේ.අරමුණට සිත නගා ගැනීම හෙවත්
ආරෝපණය කිරීම විතර්කය වන අතර අරමුණේ සිත හසුරුවා ගැනීම විචාරයයි. එයින්
ලබන පී‍්‍රතිය හා නිරාමිස පී‍්‍රතිය නිසා අරමුණේ සිත ධ්‍යාන ගතවේ.
භෞතික ලෝකයෙන්ම ගත් අරමුණට සිත ධ්‍යාන ගත වෙන විට එම අරමුණේ ස්වභාවයද
යථාර්ථ වශයෙන්ම අවබෝධ වේ. ලෝකයේ සැම පදාර්ථයකම පරම ස්වභාවය අනිත්‍ය
දුක්ඛ, අනාත්ම ස්වභාවයයි. එය සෑම දෙනාටම අවබෝධ නොවන්නේ අරමුණෙන් අරමුණට
සිත වහාම අලුත් දෙයක් සොයා එයින් ලබන වින්දනය නිසාය.
සමාජය විසින් පුරුදු කළ අරමුණු වලින් තෘප්තිමත් වීම මොහොතක් පාසා වෙනස්
වන අතර එයින් දුක්වේදනාවක්ද මතු අපේක්‍ෂාවක්ද වන්නේය. එමෙන්ම කාම
උපාදානාදී හේතූන් නිසා අපමණ දුක් වේදනා ඇතිවන්නේය.
සිත දමනය කර ගැනීමෙන් ලබන ප්‍රධාන ප්‍රයෝජන
01. බුද්ධිය වර්ධනය වීම
02. ලෝ දහමින් සසල නොවීම
03. ලෝකය පිළිබඳ යථාර්ථ අවබෝධය
04. විදර්ශනාඥානය පහළ වීම සහ නිවන
සෑම කාර්යක්ම ආරම්භයේ පටන් අවසානය දක්වා කරගෙන යාමට සිත කාර්යක්‍ෂමව
යොදා ගත යුතුවේ. එසේ නොමැති නම් කටයුතු අඩාල වන්නේය. සිතීම ආරම්භය,
කිරීම, කරගෙනයාම ප්‍රතිඵලයක් ලබා ගැනීමට යම් කාර්යකට අත්‍යාවශ්‍ය වන
අතර එහිදි සිහිය පිහිටුවා ගත යුතුවේ.
සෑම කෙනෙකුටම හැඟීමත්, බුද්ධියත් දෙකම පවත්නා නමුත් හැඟීම කාර්ය සාධනයට
ප්‍රබල නොවන අතර බුද්ධිය මෙහෙයවීමෙන් සිත වික්‍ෂිප්ත භාවයෙන් ආරක්‍ෂා
කර ගැනීමට සමථ විදර්ශනා භාවනා කිරීමට හැකි වන්නේය.
සීලයෙන් තිදොර සංවරණය කරගෙන සමාධියෙන් චිත්තේකාග්‍රතාවය ඇතිකර
ප්‍රඥාවෙන් ලෝකය ගැන යථාර්ථාවබෝධය ලබාගෙන ජාති ජරා ව්‍යාධී මරණාදි මහා
දුක්වලින් නිදහස් වීමට උත්සාහවන්න. සියලු සත්වයෝ සුවපත්වෙත්වා.
ඔබ සැමට තෙරුවන් සරණයි. |