Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලයේ පොසොන් සතිය මෙවරත් උත්සවාකාරයෙන්

ඓතිහාසික මිහින්තලයේ දී වාර්ෂිකව පැවැත්වෙන “පොසොන් සතිය “ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සිරිත් පරිදි මෙවරත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පූර්ණ දායකත්වය ලබා දීමට තීරණය කර ඇත.

පොසොන් පොහොය ජුනි මස 25 වෙනදාට යෙදී ඇති අතර මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මල බුද්ධ ධර්මය රැගෙන “මිස්සක පව්වට “ වැඩම කිරීමේ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීම උදෙසා මිහින්තලා රාජ මහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පොසොන් උත්සව කමිටුව රාජ්‍ය අනුග්‍රහය හා පෞද්ගලික ආයතන දායකත්වය යටතේ මෙවරද පොසොන් පින්කම පැවැත්වීම පිළිබඳ සාකච්ඡාව පසුගිය 27 දින අනුරාධපුර මහ දිසාපති එච්.එම්.කේ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මිහින්තලා රාජමහා විහාරාධිකාරි වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ උසස් නිලධාරීහු එම අවස්ථාවට සහභාගි වූහ.

ජුනි 22 දා සිට 28 වන දින දක්වා මිහින්තලේ දී පැවැත්වෙන මහා පොසොන් උත්සවයේ විදුලි ආලෝක පූජාව මෙවරත් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විදුලි බල මණ්ඩලය හා එක්ව සිදු කරන බවත් පොසොන් පින්කම නිමිත්තෙන් පාසල් දරුවන් සම්බන්ධ කැරගෙන කථික තරඟ පැවැත්වීමටත්, පාසල් දරුවන් පන්සිය දෙනෙකුට සිල් රෙදි ලබා දීමටත්, පොසොන් පොහෝ දින මහා සංඝරත්නයට හීල් දානය හා මහා බත් දන්සල ලේක්හවුස් ආයතනය සිංගප්පූරු දන්සල හා ඒකාබද්ධව පැවැත්වීමටත්, පොසොන් සැරසිලි වෙළඳ සංගමය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග එක්ව ලේක්හවුස් ආයතනය එම අනුග්‍රහය යටතේ සිදුකිරීමටත් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කටයුතු කරන බව ලේක්හවුස් ආයතනය වෙනුවෙන් පොසොන් උත්සව කමිටුව නියෝජනය කරමින් අනුරාධපුර ලේක්හවුස් කළමනාකාර සරත් පෙරේරා මහතා කීය. තෙන්නකෝන් කුලසේකර


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.