Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘මම’ හැඟීම කුමක් ද ?

මම කවුද? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදි අන් ආධාරකයන් වන මතිමතාන්තර සංකල්ප ආගමික (බුදු දහම නොවේ) සිද්ධාන්ත, විශ්වාස චින්තන, මනෝ විද්‍යා,ජීවවිද්‍යා පර්යේෂණ ආදියෙන් යම් පිටුවහලක් ලැබේද? යන්න විමර්ශනයට භාජනය විය යුතුය.

බුදුන් වහන්සේ දේශනා කර වදාළේ දුකින් පෙළෙන සත්වයාට සසරින් එතෙර වීම උදෙසා ප්‍රමාණවත් වන ධර්ම කොට්ඨාසයක් පමණි. ඉන් වැඩිමනත් කරුණු හිස මත පවරාගෙන සත්වයාගේ මනස වල්මත් කරවීම හෝ අයාලේ යාමට අවකාශ සකසා නොදී බහා තබන ලද බර ඇත්තේ යැයි කීමට ශක්තිය ඇත්තාවූද අවිද්‍යාන්ධකාරයෙන් මිදීමට වෙර දරන්නා වූ ද තත්වයක් කරා පියවර එසවීමට වාසනාව ඇත්තවුන් උදෙසා පමණක් යෝග්‍ය වන තරමට අකක් නොතබා අවශ්‍ය වූ ධර්මය දේශනා කර වදාළ සේක.

මම කවුද? යන ප්‍රශ්නය ඉංගී‍්‍රසි ව්‍යවහාරයට අනුව නම් නොමග යවන සුළුය. එසේ වුවද දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන සතර ආර්ය සත්‍යය සාක්‍ෂාත් කරගෙන දුකින් මිදීමේ ඒකායන මාර්ගය වෙත සම්ප්‍රාප්ත වීමට අවශ්‍ය වන සමුදයාර්ථය සාරගර්භ අයුරින් දේශනා කරන සේක. තථාගත ධර්මය දෙසට නැඹුරු වෙමු.

මම,හැඟීම ඇති වන්නේ කෙසේද? යන්න ගැඹුරින් විමර්ශනය කිරීමේදී එහි තහවුරු වීම සිදුවන්නේ විඤ්ඤාණය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර නොගැනීම හේතු කොට ගෙන බව පෙනීයනු ඇත. විද්‍යාඥයා ඉදිරියෙහි විඤ්ඤාණය වූකලී අත පෙවිය නොහැකි, අති සූක්‍ෂම හා නොදන්නා එකම දෙය බව පැවසුව ද, එය දැන ගැනීමට හා හසුකර ගැනීමට ගනු ලබන ක්‍රියා මාර්ගය කිසිසේත්ම පැසසුම් කටයුතු නොවේ. විද්‍යාව විසින් විඤ්ඤාණය කුමක්දැයි පෙන්වා දීමට උත්සාහ ගනු ලබන්නේ වෙනත් දෙයක ආධාරයෙනි. එබැවින් මම කවුදැයි හඳුනා ගැනීමේදී දත යුතු හා උපයෝගී කටයුතු ප්‍රධානතම මෙවලම වන්නේ විඤ්ඤාණය බව විද්‍යාව විසින් අවතක් සේරුවට පත්කර තිබීම සියල්ලම අවුල් ජාලයක් බවට පත් කර දැමීමට හේතු වන්නේය.

“මම” යනු හුදෙක් පංචුපාදානස්කන්ධය මගින් නිර්මාණය කෙරෙන මායාවකැයි කෙසෙල්පොත මෛත්‍රීරතන හිමිපාණන් දක්වා තිබීම පූර්ණ සත්‍යයකි. රූප (පස් මහා භූත නිර්මාණ) වේදනා (වින්දනය) සංඥා (හැඳිනීම ) සංස්කාර (අත්‍යවශ්‍ය ප්‍රත්‍යය) යන කරුණු වල සමායෝජනයෙන් විඤ්ඤාණය හට ගනී. විඤ්ඤාණය වූ කලී “ මම’ යන මායාවේ නිමැවුමක් වන්නා සේම එහි මායාකාරී නිර්මාණය මමායනය වේ. මගේය යන්න මත අස්මීමානය තහවුරු වේ. බාහිර හෝ ස්වකීය ශරීරය විෂයෙහි ඇති දේවල් මගේ යැයි ගැනීම නිසා “ මම “ යන හැඟීම නිර්මාණය වේ. එසේ නොමැතිව “ මම” පවතින හෙයින් එකී දේවල් මගේ යැයි ගැනීම සිදු නොවේ.

දේවල් මගේ හින්දයි මම තර වන්නේ
මම නිසා නොවේ දේවල් මගෙ වන්නේ
යන දහමෙහි අරුත පිිරිසිඳ දැන ගන්නේ
මම, මගෙ හැඟුම් හළදා සිත සැනසෙන්නේ

තම විඤා්ඤාණ හුදෙක් දැන ගත හැකි හා දැකගත හැකි වන්නේ පිටස්තර ලෝකය ඇසුරින් ගත් සාධක හඹා යාමෙන් නොව තමා විසින්ම පමණි. ලෝකය නිමැ වී තිබෙන ගස් වැල් ගල් පස් හා ජීව වස්තු සම්භාරය අතරින් තමාට පෙන්වා දිය හැකි එකම දෙය නම් තමාගේ විඤ්ඤාණය පමණි. මෙම නිගමනයෙහි අරුත වටහා ගැනීම තුළ සියලු සත්‍යතාවන් ගැබ් වී පවතී. එසේම එය කළ හැක්කේ තම තමාගේ විඤ්ඤාණය සම්බන්ධයෙන් තමාට ම පමණි. කෙනෙකුට තව කෙනෙකුගේ විඤ්ඤාණය පිළිබඳව කිසිවක් කළ නොහැකි වේ. ඒ වූ කලී සනාතන සත්‍යතාවකි.

ගරුතර ස්වාමීන් වහන්සේ විසින් ‘මම’ යන හැඟීමට හේතු වන ජීව රසායනික ක්‍රියාවලියේ හැසිරීම මැනවින් නිරීක්‍ෂණය කර පැහැදිලි කිරීමට යත්න දරා තිබීම ප්‍රශංසනීය ය. රූප වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ යන ධර්මතා විද්‍යාවට අනුගත පරිදි විවරණය කිරීමට යත්න දැරීම වූ කලී දැලකින් සුළං නවතාලීමට කරන ව්‍යායාමයක් දොහෝයි සිතීම නොවැළැක්විය හැකිය. පිහිනීමට පුරුදු වීම අවශ්‍ය තැනැත්තා ජලයට බැසිය යුතුම වේ. පා පැදියක යාමට පුහුණුවන්නා එය භාවිතයෙන්ම පුහුණුව ලද යුතුය. විඤ්ඤාණය ඒ තුළින්ම කුමක් දැයි හඳුනා ගත යුතුය. ලෝකයේ මට ඇති හොඳින් මා දන්නා දෙයනම් මගේම වූ විඤ්ඤාණය පමණි.

විද්‍යාවට විඤ්ඤාණය කිසිසේත්ම ග්‍රහණය කොට ගත හැක්කක් නොවන්නේ අන් බාහිර වූ දෙයක් මගින් විඤ්ඤාණය සිය ග්‍රහණයට ගැනීමට යාමේ ඵල විපාක වශයෙනි. විඤ්ඤාණය සැඟව ඇති තැන සෙවීමට තැත් කිරීමේදි විද්‍යාඥයා ඉමහත් අකරතැබ්බයකට පත් වන්නේ ටෝච් බැටරියක් විද්‍යුතය සෙවීමට දරන ප්‍රයත්නය පරිද්දෙනි. විදුලිය උපදින්නේ ටෝච් බැටරියේ සියලුම කොටස්වල සමානුයෝගයේ ප්‍රතිඵල වශයෙනි.

ආගම (බුදු දහම නොවේ) විඤ්ඤාණය තේරුම් ගැනීමට ගිය තැන අවබෝධයට හසු නොවීම නිසා බියෙන් හා සන්ත්‍රාසයෙන් යුතුව නොදන්නාකම විලියකින් තොරව ප්‍රකාශ කර නිහඬ වේ. විද්‍යාව නිබඳව ගමන් කරන මග ඔස්සේ ගොස් කිසිම දිනෙක විඤ්ඤාණය පිළිබඳ අංශුමාත්‍රයක හෝ අවබෝධයක් ලද නොහේ.

බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ පිළිවෙතෙහි අග්‍රඵලය නම් ප්‍රඥාවය. එය වනාහි සම්‍ය දර්ශනය වේ. එය වඩාත් පැහැදිලි කරන්නේ නම් හේතුඵල බන්ධනය සක් සුදක් සේ අවබෝධ ඥාණයට හසුකර ගැනීමය. ලොව යථා ස්වරූපය කුමක්දැයි අවබෝධ ඥානයට හසු කර ගැනීම විනා අන්කිසිත් නැත.

අපගේ ගැටලුව “මම” කවුදැයි හඳුනා ගැනීමය. ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම අවබෝධයට ඉතා අපහසු වූ ප්‍රතිභා ඥාණය වශයෙන්ද, ප්‍රඥාව ලෙසද හැඳින්විය හැකි මේ අවබෝධය ආගම ගිය මග ඔස්සේ හෝ විද්‍යාව විසින් ගමන් ගන්නා උපකරණ ඇසුරු කොටගෙන ඒ ඇසුරින් කරන නිගමන හා සංකල්පන ඔස්සේ ගමන් කොට කිසිදිනක උගත හැකි දෙයක් නොවන්නේය. එමගින් ලබන දෙය දැනුමය. දැනුමෙහි අග්‍රඵලය වන උගත්කම වනාහි යල්පනී. සදාකාලික නොවේ . එමගින් ලබා ගත් නිගමන තවකකුගේ එබඳුම වූ උත්සාහයකින් බිඳ වැටේ. මුල් තැනැත්තා සොයාගෙන ඇති නිගමන හා සංකල්පන දෙවැන්නා වෙතින් බිඳ හෙළීමට අවශ්‍ය වන්නේ තමන්ගේ නව උපකල්පනය තාර්කිකව ඉස්මතු කර දැක්වීම පමණි. එවිට සිදු වන්නේ සත්‍යය දකිනු වෙනුවට සංකල්පනයක් මත තවත් සංකල්පනයක් ඉදිරිපත් වීම පමණි.

තර්කය මගින් ලබා ගැනෙන දැනුම ද තාවකාලික වේ. තර්කය දෙපැත්ත කැපෙන අයුධයකැයි කිව හැක්කේ එක පැත්තක් නිවැරැදි නම් දෙපැත්තම එසේ වේ. එක් පැත්තක් වැරැදි නම් දෙපැත්තම එසේ වීම සාධ්‍යයකි. තවද කොටස් වලට බෙදා වෙන් කර සංඥා සහ විදුලිය ගමන් කරන ආකාරය පිළිබඳ හැඳින්වීමක් පමණකින් විඤ්ඤාණය හෝ පංචුපාදානස්කන්ධය හෝ මම යන ධර්මතා පිළිබඳව හැඳින්වීමක් කළ හැකි වේ ද? එය කළ හැක්කේ නම් අකුරු කිසිවක් ලිය නොහෙන පුද්ගලයෙකුට පෑන් පැන්සල් හා ඒවායේ නිර්මාණද පොත් හා තීන්ත ආදියේ භෞතික පදාර්ථ විශ්ලේෂණ ඉගැන්වීමකින් අකුරු ලියන්නට පුහුණු කළ හැකි විය යුතුය.

යථා තත්වය පිළිබඳ අවබෝධයට මේ ක්‍රම වේදයන් කිසිවකින් පලක් නැත. යථා තත්වය වනාහි ජලයට බැසීමෙන් පිහිනීම උගන්නා සේ ද, අකුරු ලිවීමෙන්ම ලේඛන හැකියාව ලබන්නා සේද වූ මනසත් අරමුණත් අතරත පවත්නා මනා සංයෝගයයි. මනස හා අරමුණ වෙන් වශයෙන් නොව මේ ධර්මතා දෙකෙහි මේ මොහොතේදීම සිදුවෙමින් පවත්නා සංයෝගය හඳුනා ගැනීමයි. එය වාස්තවිකව විසැඳීමට තැත් කරන්නා ඇස් සරහන්නට තෞල අඳුන් ගානා වැනි තත්වයකට පත් වනු ඇත. මනස හා අරමුණ අතරත ඒ මොහොතේම සිදුවන සංයෝගය දෙස නොබැලේ නම් කාලය නම් වූ ධර්මතාව ඊට බාධා කරමින් මනස වර්තමානයටත් අරමුණ අතීතයටත් හැරී යථා ස්වභාවය අවබෝධකර ගැනීමට බාධා පැමිණේ. එබැවින් කාලය නම් වූ මායාවට රැවටීමෙන් සිදුවන්නේ සත්‍යය අප කෙරෙන් ඈතට පලා යාම හෝ සැඟවීමය. එපරිද්දෙන් අවකාශය හා අනන්තය ද මායාවකි.

මේ සියල්ලෙහි දක්නට ලැබෙන එකම වරද නම් අවිද්‍යාවය. අවිද්‍යාවේ සැබෑ තත්වයලෝකයේ යථා ස්වරූපය සැඟවීමය. අඳුරට උපමා කරන්නේ එහෙයිනි. අවිද්‍යාව තණ්හාවේ නිවුන් සොහොයුරෙකි. අවිද්‍යාව ආශ්‍රවයකි. දස සංයෝජන වලින් එකක් වන්නේද අවිද්‍යාවය. පටිච්ච සමුප්පාද ධර්මයේ ආරම්භය අවිද්‍යාවය. සංස්කාර , විඤ්ඤාණ නාම රූප , සළායතන , ඵස්ස, වේදනා තණ්හා ආදි වශයෙන් පියවරෙන් පියවර තණ්හාවට හේතු ප්‍රත්‍ය වන ආකාරයද අනතුරුව උපාදාන භව,ජාති, ජරා, මරණ දක්වා වූ සත්වයාගේ අනිත්‍යතාව විස්තර වේ. රූප ශබ්දාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු සපුරා වැළඳගෙන දැලක් මෙන් සත්වයා වසා සිටින හෙයින් තණ්හාව ජාලිනී නම් වේ. එම අරමුණු වල වෙලී පැටලි ගැලී සිටින හෙයින් විසන්තිකා නම ද යෙදේ.තණ්හාව ඇත්තේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව පෝෂණය වීමට ඉවහල් වන්නේ කාමච්ඡන්ද , ව්‍යාපාදාදී පංච නීවරණයන්ය. නීවරණ යනු නිවන (නිවීම) ඇසුරාලීම යන අර්ථයෙනි. මේ සියල්ලෙහි අවසන් භයානක ප්‍රතිඵලය නම් මම හෙවත් මාගේ යන අස්මීමානය තහවුරු වීමය.

හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියල්ලෙහි අත්‍යවශ්‍ය ලක්‍ෂණ නම් අනිත්‍යතාවයි. ‘මම’ යන පුද්ගලයා සැදී ඇත්තේ රූප ,වේදනා, ආදි අල්වා ගන්නා කොටස් පහකින්ය. උපාදාන, තණ්හාව නිසාය. මේ සියල්ල අනිත්‍යය. වෙනස් වන සුළුය. එවිට මම ද තාවකාලිකය. පුද්ගලයා සත්වයා යැයි කිව හැක්කේ පංචුපාදානයටය. එවිට මම යනු මායාවක් බව වැටහේ. ආශ්‍රවයකට අත්‍යවශ්‍ය ප්‍රත්‍යය වූ රූපය ආත්මය වශයෙන් සැලකීමද ඒ නිසා අනිත්‍යය. සත්වයා ආත්මය වශයෙන් හඳුනා ගත් කිසිවක් ආත්ම නොවන බව මෙයින් පෙනේ. එහි අනිත්‍යතාව අත්‍යවශ්‍ය ලක්‍ෂණය වන හෙයිනි. අනිත්‍ය වූ කිසිවක් ආත්ම වශයෙන් ගත නොහැක. එසේ නම් මම වූ කලී මුලාවකි. අනිත්‍යතාව අවබෝධ වූ යම් දිනෙක ආත්මයද එවිට මම යන්නද මායාවක් බැව් පෙනීයයි. ඒ වූ කලී වැලිතලය මත දිලෙන හිරු එළිය ජලය සේ හඳුනා ගැනීමෙන් මුලාවට පත් නොවීමය.

මම සහ මගේ හැඟුමන් සමගින් පැනෙන

සඤ්ඤා සංඛාර වේදන විඤ්ඤාණ
උපාදාන වේ මෙකියන සියලු දෙන
ආත්මයක් නැත මෙහි තිර ලෙස රඳන

මම සහ මගේ කම අත්හළ අයට ලොවේ
කය දුර්වල වුවද සිතිවිලි දුබල නොවේ
මරණෙට බිය නොවි සන්සුන් ලෙසට ගෙවේ
මිය යනු පිණිස මම යන්නෙක් ඉතිරි නොවේ

අවිද්‍යාව හේතුවෙන් සංස්කාර රැස්වන බවද විඤ්ඤාණයට හේතු ප්‍රත්‍යය වන්නේ සංස්කාර බවද පටිච්චසමුප්පාද ධර්මයෙන් දේශනා කර වදාරා ඇත. අනිත්‍යතාව නොදක්නේ අවිද්‍යාව නිසාය. සෑම දෙයක්ම ක්‍ෂණයක් පාසා වෙනස්වීම සනාතන ධර්මතාවකි. ලෝකය නියම ආකාරයෙන් අප වෙත දර්ශනය වන්නේ අන් කිසිදු ක්‍රමයකින් නොව අපගේ විඤ්ඤාණික ක්‍රියා පිළිවෙළ නිසා බව ලොවට හෙළි කළේ තථාගතයන් වහන්සේය. ලෝකය සදාකාලිකය යන්න දුෂ්ඨියකි. ලෝකය පිළිබඳව බුද්ධ දේශනාවේ අඩංගු කෙටි හැඳින්වීම පමණක් නැණවතාට ප්‍රමාණවත්ය. එනම් ඒ ඒ පුද්ගලයාගේ ලෝකය වනාහි ඒ ඒ පුද්ගලයාගේ විඤ්ඤාණය පදනම් කොට ගැනුණු ප්‍රමාණය වන්නේය. ඉන්ද්‍රිය සයට ගෝචර වන දේ පමණි.’මම’ වනාහි මෙම ක්‍රියාකාරිත්වයේ අනතුරුදායක හා අශුභ නිර්මාණ මායාව වේ. ‘මම ‘ හෙවත් අස්මිමානය නම් වූ ප්‍රබල මායාව වනාහි අත්තවාදු පදානයේ පෙන්නුම් කෙරෙන අයුරින් ආත්ම විශ්වාසයක එල්බ ගැනීමය.

ජීවිතය ධර්ම ගොඩකි. ධර්ම ගොනුවේ ක්‍රියාවේශය නොනැවතී පැවතීම ජීවත්විම යැයි නම් කෙරේ. ධාතු යනු ශක්තියයි. ධර්ම යනු එම ශක්තිය දරන ස්වභාවයයි. ලෝකයේ පැවැත්මට උපකාර වෙමින් පවත්නා මූල ශක්ති දෙක ධාතු හා ධර්ම ලෙස හැඳින්වේ. එම ශක්ති දෙකෙන් මතු කරන ස්වරූප විවිධාකාර නිර්මාණ බිහි කරයි. හේතු ප්‍රත්‍යයන් ගෙන් සිදුවන අනවරත නිර්මාණ ජාලයක අපි වෙලී පැටලී සිටිමු. ඉතා කෙටියෙන් නාම රූප ලෙස හැඳින්විය හැකි මේ හේතු ඵල ධර්මතාව වටහා ගෙන එහි නිරෝධය දැකීමේ මාර්ගය තථාගතයන් වහන්සේ උගන්වා වදාළ සේක. බුදුදහම නම් එයයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.