Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ටැම්පිට විහාර මන්දිරයෙන් ඔපවත් වන විල්ගමු රජ මහා විහාරය


ඓතිහාසික ටැම්පිට විහාර මන්දිරය

හාත්පස විහිදුනු කෙත්වතු, තේවතු, නෙරළු තුරුවියන් යටින් පැමිණ උස් භූමියකට අපි පිවිසෙමු. ඒ, නිසල පරිසරයක් තවත් ලස්සන කිරීමට සමත් මාබොටුවන ශ්‍රී සුමනාරාමය පුරාණ විල්ගමු රජ මහා විහාරය වෙතයි. මෙය පිහිටා ඇත්තේ ගාල්ලේ සිට දිවෙන මාපලගම පාරේ එන විට හමුවන වඳුරඹ මංසන්දියෙන් ඇරඹෙන වඳුරඹ තොට්ටම මහ මඟේ සැතැපුම් 2 1/2 ක් පමණ ගිය තැනේ දී ය. විහාරය ඉදිවන්නේ රා.වර්ෂ 1240 දී, එනම් මීට වසර 870 කට පෙර දවසේ දී ය. දිගු ඉතිහාසයක මං ලකුණු ඔස්සේ ඇවිත් අනාගත පැවැත්ම උදෙසා ද තිරසාර අඩිතාලමක් දමා ඇති මෙම විහාරය දඹදෙණි යුගයේ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ, දේවපතිරාජ මහා මාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ගොඩනැංවූ බව ඓතිහාසික තොරතුරු මඟින් පැහැදිලි වෙයි. එතුමා සෑදූ දක්‍ෂිණ ලංකාවේ ටැම්පිට විහාර ත්‍රිත්වයෙන් විල්ගමු රජමහා විහාරය ද එකක් බව සඳහන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද ඒ බව සනාථ කර ඇත. ලංකාවේ විහාර නාමාවලියේ විල්ගමු රජමහා විහාරය යනුවෙන් සඳහන්ව ඇත්තේ ද මෙම විහාරයයි.


ටැම්පිට විහාර ගර්භයේ පැරැණි ප්‍රතිමා

සියලු විහාරාංගයෙන් ම සපිරි විහාරස්ථානයේ විශේෂ අංගය ලෙස සඳහන් කළ හැක්කේ මෙහි ඇති ටැම්පිට විහාර මන්දිරයයි. එය ඓතිහාසික පුරාවිද්‍යාත්මක, බෞද්ධ කලා සම්ප්‍රදාය වශයෙන් ඉගෙනීමට අවැසි බොහෝ දේ ඉතිරිකරමින් තවමත් නොනැසී පැවතීම භාග්‍යයකි.

එය කාලයාගේ ඇවෑමෙන් යම් වෙනස්කම් වලට බඳුන් වී ඇතත්, මුලික ආකෘතියත් අන්තර්ගතයත් නොනසා පැවැත්ම උදෙසා කළ වෙනස්කම් මොනවාදැයි පැරැණි ඡායාරූප පිරික්සීමේ දී අපට පැහැදිලි කර ගත හැකි ය. ගල්කුළුණු මත තිරස් හා සිරස් අතට නා කඳන් එළා ඒ මත්තෙහි ඉදි කළ විහාර මන්දිරය කුඩා ප්‍රමාණයේ එකකි. ඇතුල් ගර්භයේ නිර්මාණ පිරික්සීමේ දී මෙහි විශේෂයක් දැකගත හැකිය. විහාර ගර්භයට පිවිසීමේ දී ඇස ගැසෙන ප්‍රධාන බිත්තියේ අඹා ඇති බුද්ධ ප්‍රතිමාව මෙන්ම ආසන්නව දෙපස නෙලා ඇති බුද්ධ ප්‍රතිමා ද්විත්වයත් හිටි පිළිම වශයෙන් සම ප්‍රමාණයට එකම මුද්‍රාවෙන් නිර්මාණය කර තිබේ. දෙපස නෙළා ඇති විෂ්ණු හා කතරගම දේව ප්‍රතිමාවන්ට ද ඒ හා සමාන ඇගැයුමක් ප්‍රදානය කර ඇති බවක් පෙනේ. මින් ගම්‍ය වන්නේ ඒ යුගයේ දේව ඇදහීමට ලැබුණු තැන ද නැතහොත් ශිල්පියාගේ පෞද්ගලික සිතුම් පැතුම් හි පිළිබිඹුවක් දැයි ගවේෂණය කළ යුතු වෙයි.


විහාරාධිපති මාපලගම සාරානන්ද නා හිමි

මා එසේ සඳහන් කළේ වත්මනෙහි විහාර ගර්භයක මෙවන් ප්‍රතිමා නිර්මාණයක් කළහොත් එය මහා ආන්දෝලනයකට තුඩු දිය හැකි බැවිනි. පුරාණයේ එකම වහලක් යට එක මොහොතක බුද්ධ පූජාවත් දේව පූජාවත් එකට පැවැත් වූ බවක් රාජ්‍ය ලේඛනයක සඳහන්ව තිබේ. එසේ නම් එදවස බුද්ධ වන්දනාවට මෙන්ම දේව පූජාවටත් සම තත්ත්වයක් තිබුණාදැයි සොයා බැලීම වටී.


චෛත්‍යය හා නව බුදු මැඳුර

විෂ්ණුදෙවියන්ගේ අත් සතර ඇතත් කතරගම දෙවිඳුන්ගේ මුහුණු සය අත් දොළස පිළිබිඹු නොවේ. ලේඛනයේ සඳහන් කර ඇත්තේ කතරගම දෙවිඳු වූවද මේ අඹා ඇත්තේ වෙනත් දෙවි කෙනකු දෝයි සැකයක් මතුවේ.

මෙසේ පැරැණි නිර්මාණයන් ඉතිරිකර තබායෑමේ දී වර්තමානයේ පැන නැගෙන ගැටලු සඳහා උත්තර සොයායෑමෙන් ඉතිහාසයේ ගැටලු සහිත පරිච්ඡේදයන්ට විසඳුම් සොයා ගැනීමට පුළුවන. ඒ මඟ ඔස්සේ එදා සම්ප්‍රදායේ සංස්කෘතියේ කලාවේ සුවිශේෂීතා හඳුනාගත හැකි ය.

ප්‍රතිමා නෙළා ඇත්තේ මී පැණි, උක් පැණි ආදිය සමඟ හුඹස් මැටි පදමට අනාගත් බදාමයෙන් බව කියැවේ. මෙම පිළිම දිගු කාල විපත් මැද නොනැසී චිරාත්කාලයක් පැවැත්ම උදෙසා ශිල්පියා ගත් තාක්‍ෂණික උපාය මාර්ගය පුළුල් ලෙස ගවේෂණය කිරීම හෙට දිනට අපට මහඟු ආයෝජනයක් වනු ඇත.

පිටත වටබිත්ති සිතුවමින් හැඩකරතිබේ. ඒ දසුන් තත්ත්වාකාරයෙන්ම තිබෙන බව පෙනේ. ඒ නිර්මාණයන් තුළින් පිළිබිඹු වන්නේ පව්කම් කිරීමෙන් ලැබෙන ආදීනවයන් ය. එක් වකවානුවක මෙය වල් බිහිවී අව් වැසි විපත් වලින් පීඩනයට හසුවී තිබූ නිසා සිතුවම් පිළිම ආදියේ ඇකී මැකී යාම් කැඩුම් බිඳුම් ආදියත් දැක ගැනීමට ලැබේ. එහෙත් වර්තමානයේ මේවා ආරක්‍ෂා කිරීමට උත්සාහ දරා තිබීම අගැයිය යුතු ය. පුරාවිද්‍යා ගවේෂකයන්ගේ වියතුන්ගේ ශිල්පීය, තාක්‍ෂණික ඥාණයෙන් දීර්ඝකාලීන ආරක්‍ෂණ වැඩ පිළිවෙළක් යොදා මේ වටිනා ඓතිහාසික නිර්මාණයන් සුරක්‍ෂිත කිරීමට පෙළඹිය යුතු වෙයි. විහාර භූමියේ කැණීම් වලදී පැරැණි ලෝහ බුදු පිළිම, පැරැණි කාසි ආදියද සොයාගෙන තිබේ.


ටැම්පිට විහාරයේ බිතු සිතුවම්

මෙහි ආදි කර්තෘ වහන්සේ නමක් වන පණ්ඩිතාචාර්ය මාපලගම සෝභිත මහතෙරුන් වහන්සේ ත්‍රිපිටකය පුස්කොළ මත ග්‍රන්ථාරූඪ කර ඇත. එම වටිනා පුස්කොළ පොත් මෙන්ම ලේඛනයට යොදා ගත් පන්හිඳ අද ද විහාරස්ථානයේ සුරක්‍ෂිතව පවතී. ‘සාහිත්‍ය රස චන්ද්‍රිකා’ නම් සංස්කෘත ග්‍රන්ථය ලියා පළ කළ මහා පඬිරුවනක් වූ ඛේමානන්ද හිමි වැඩ වාසය කළේ මෙම විහාර පියස යට ය.


ටැම්පිට විහාරයට ඇතුළු වන පැරැණි දොරටුව

එසේ සසුන් මඟ ප්‍රදීපනය කළ මහතෙරුන්නාන්සේගේ පහසින් පොහොසත් වූ විහාරස්ථානයේ වර්තමානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ මාපලගම සාරානන්ද නාහිමිපාණන් වහන්සේ ය. අද වන විට අනූ දෙවැනි වියේ ඉමට ආසන්න වෙමින් වැඩ වසන උන්වහන්සේ හිනිදුම් පත්තුවේ මෙන්ම දක්‍ෂිණ ලංකාවේත්, මහා සංඝ සංස්ථාවේත් ගෞරව බහුමානයට පාත්‍ර වී සිටිති.

සඟ පරපුරෙහි මිනිපහන් බඳු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල රත්මලානේ ධර්මාලෝක වැනි වියත් බහුශ්‍රැත හිමිවරුන් සිප්සතර හැදෑරූ මහා ඤාණාලෝකයක ප්‍රභවය බඳුව රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙහි 1960 සිට 1978 වසර දක්වා පුරා වසර 18 ක් කෘත්‍යාධිකාරී තනතුර හෙබවීමේ සුවිශේෂී වරම ලද්දේ මාපලගම සාරානන්ද නාහිමියන් ය.ගාලු හිනිදුම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාධ්‍ය, සාහිත්‍යාචාර්ය, උපාධ්‍යාය තනතුරු වලින් ද පිදුම් ලද නාහිමිපාණන් වහන්සේ ඉතා අල්පේච්ඡ ගුණයෙන් සුපෝෂිත භික්‍ෂු සමාජයටම පරමාදර්ශී ජීවමාන චරිතාපදානයක් බව දුටු නෙතින්, ඇසුරු කළ හෝරාවෙන් ම වටහාගත හැකි ය.


පැරැණි දේව ප්‍රතිමා

උන්වහන්සේ, නව බුදු මැදුර, චෛත්‍ය, මෙන්ම බෝධීන් වහන්සේගෙන් විහාරස්ථානය අංගසම්පූර්ණ කිරීමට සමත් වූහ. රට දැය සමයට වැඩ ඇති ශාසනහිතකාමී උගත් බුදුපුතුන් ගේ සංඝ පීතෘ වූහ. මාපලගම සාරානන්ද යුගය ද විල්ගමු රජ මහා විහාර වංශයේ තවත් නොමැකෙන යුගයක් වනු ඇත.

ඕලු, නෙළුම්, මානෙල් ආදී වූ නෙක පුෂ්පයන්ගෙන් අලංකෘත වූ විල් මඬලාවකින් සුසැඳි සුන්දර පරිසරයක පිහිටි විහාරයට විල්ගමු නම සෑදුනු බව ජනප්‍රවාදයේ කියැවෙයි. එම විල් අද කෙත්යායක් බවට පරිවර්තනය වී තිබේ. කෙතින් කමතින්, බතින් බුලතින් පොහොසත් පරිසරයක මානව සිත් සතන් මනුෂ්‍යත්වයේ දහම් පණිවිඩයෙන් පොහොසත් කිරීමට එදා සමත් වූ විල්ගමු රජ මහා විහාරයට අදත් හෙටත් එම ශක්තිය නොඅඩුව ඇති බව විශ්වාසයි.

 

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.