Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන සෝමාවතී මහා සෑ වන්දනාව 8 දා

කාවන්තිස්ස මහරජතුමාගේ නැගණිය වූ සෝමවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කරන ලදී. ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරිඅබා කුමරු හා සෝමවතී දේවිය එවකට සේරු නුවර රජකළ ශිව රජු වෙත ගියේය.ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සෝමපුරය නමින් පාලනය කරන්නට විය.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක් සහිත විහාරයක් කිරීමට අදිටන් කර ගත්තාය. තම ස්වාමියා වූ ගිරිඅබා කුමරුටද එය යෝජනා කළාය. ගිරි අබා රජතුමා මහත් සතුටට පත්ව රහතන් වහන්සේ සැට නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් ඉදි කරවීමට කටයුතු යෙදූහ. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේ ලබා දෙන මෙන් රජතුමා සහ සෝමවතී බිසව මහින් ද මහ තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ මහ රහතන් වහන්සේගේ පරම්පරානුයාත මහාදේව මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යවූ මහින්ද මහ රහතන් වහන්සේ තමන් වහන්සේ ලග තිබූ දකුණු දළදා වහන්සේ ගිරි අබා රජුට පරිත්‍යාග කරන ලදී.


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමවතී විහාරයැයි නම් තබා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේට පූජා කළ බව සඳහන් වේ. සෝම නම් පස් පිළිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර සතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද ‘ මණිඅගිය’ නම් පොහොය ගෙයක්ද ආරාම, කූටාගාර ශාලා ආදී සියලු විහාරාංගවලින්ද පරිපූර්ණව තිබූ බව වංශ කථා මෙන්ම පුරා විද්‍යාත්මක සාධකවලින්ද පැහැදිලිවේ.

වංශකථාවල සඳහන් පරිදි සෝමවතී දාගැබ පිහිටා ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දුරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්ධව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදුවූ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව හෙලිවන අතරම චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගැලූ මහවැලි ගග දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරැණි කුඹුක් ගස් ආදියෙන් පැහැදිලිවේ. එදා සෝමවතිය රුහුණු ප්‍රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වීම නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වේ. ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව සිට බැතිමත් රජවරුන්ගෙන් එල්ලවූ ආක්‍රමණයන්ගෙන් හටගත් බෞද්ධ සිද්ධස්ථාන සංහාරය නිසා ක්‍රම ක්‍රමයෙන් එම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගතවන්නට විය.

කලක් වනාන්තර ගතවී තිබූ එම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ එහි ඇති හාස්කම් නිසාවෙනි. එම දාගැබෙන් බුදුරැස් විහිදීමත්, අනේකවූ දිව්‍යභේරී නාදයන්ගේ රාවයන් නිකුත්වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී එම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස 1947 දීය. උන්වහන්සේලා අලි කොටි වගවලසුන්ගෙන් ගහන මහ වනයට පිවිස කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ.


ඡායාරූපය- ලක්ෂාන් මධුරංග

කිසිත් කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි අවස්ථාවක ඈතින් අහසට ආලෝක ධාරාවක් විහිදෙනු දැක ඒ ඔස්සේ මහා සෑය තිබුණු ප්‍රදේශය සොයා ගන්නාවිට රාත්‍රි 11පමණ වී තිබුණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ.

සෝමවතී රජමහා විහාරාධිපතිව වැඩ විසූ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ගේ අනුශාසනා පරිදි සෝමවතියේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය ආරම්භ විය.

1981 ජූලි 4 වනදා මහාසෑයේ කේතු පළන්දන මහෝත්සවයේදී එහි පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත් කරමින් දුටුවන්ගේ සිත් බුද්ධාලම්භන ප්‍රීතියට පත් කරමින් සෝමවතී මහාසෑයෙන් රැස්විහිදෙන්නට පටන් ගත් අතර එම දර්ශනය මිනිත්තු 45 ක් පුරා පැවැති බව ද කියයි.

1983 හටගත් ජූලි කලබලවලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය.චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩ සිටි මහ සඟරුවන සිදු කරන ලද්දේ දුෂ්කරතා මධ්‍යයේය.

1947 අගෝස්තු 29 වනදා සිට 1966 මැයි 12 වනදා දක්වා සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් විහාරාධිපතිධූරය දැරූ අතර 1966 මැයි 13 වනදා සිට 1999 අප්‍රේල් 13 වනදා දක්වා සෝමවතී රජමහා විහාරාධිපතිධූරය පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමියන් විසින් උසුලන ලදී. උන්වහන්සේ මහත් සැදැහැයෙන් සෝමවතියේ ආරක්ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැප කළහ.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් සෝමවතී චෛත්‍යය රාජයාණන්ගේ අභිවෘද්ධියත් ආරක්ෂාවත් පිණිස ශ්‍රද්ධාවෙන් කැපවී කටයුතු කරන ආදර්ශමත් සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

2008 වසරේදී සෝමවතී මහාසෑය වන්දනාව සඳහා වැඩම කළ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් 2008 පෙබරවාරි මස සිදු කළ ස්වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක් කිරීමට සෝමාවතියේ ද හැකියාවක් ඇත්නම් කෙතරම් අගේදැයි සිත් විය.

මහා සෑය වන්දනාකර දම්සක් පැවතුම් සූත්‍රය සජ්ඣායනා කර දෙවියන්ට පින් දී ප්‍රාර්ථනාවක් කළහ. බියකරු ත්‍රස්තවාදය ඉක්මනින් නිමාවක් දකින්නට අවස්ථාවක් සලසා දෙන ලෙසත් එය දුරු වූ විට එම සෝමවතී මහ සෑය වන්දනාවක් කරන බවට සෑරදුන්ට වන්දනා කර ප්‍රාර්ථනා කළහ.

එම සෝමවතී මහා ස්ථූප වන්දනාව මැයි 8 වනදා සවස 7 සිට රැය පහන්වන තුරා සෝමවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.

අතීත ශ්‍රී විභූතිය සිහි කරවමින් ශෛලමය ආසයනක් මත තැන්පත් කැරුණු අඩි නවයක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එදින පූජා කැරේ. සෝමවතී මහ සෑයට නිරතුරුව සුවඳ දීම පිණිස පිච්ච මල් පඳුරු පනහකින් සමන්විත විශාල මල් පෝච්චි පනහක් මහසෑය වටා පිදෙනු ඇත.

දකුණු දළදා වහන්සේ සෝමවතී චෛත්‍යයෙහි නිදන් කර ඇති හෙයින් අද සියැසින් දැක බලා ගත නොහැකිය. එනමුත් සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳ හෙළිවී ඇති සියැසින් දුටු විශ්මය ජනක සිද්ධීන් හා බුදුරැස් විහිදීම නිසා සකල බෞද්ධ ලෝකයාගේ සිත් සතන්හි සෝමවතියෙන් බුදුරැස් විහිදේ යන රාවය රැව් පිළිරැව් දෙමින් පවතී.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.