Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආනන්ද මෙත්තෙය්‍ය හිමි ජීවන චරිතය

බටහිර ලෝකයට බුදුදහම හඳුන්වා දීමෙහිලා පූජ්‍ය ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ දායකත්වය විෂයයෙහි මගේ විමර්ශනය ආරම්භ කළේ, එංගලන්තයේ බුදුදහම පිහිටුවීම පිළිබඳ ශත සංවත්සර උත්සව ව්‍යාපෘතිය සැලසුම් කරන්නාගේ ඉල්ලීම නිසාය. මගේ මේ පලදායක කාරිය සාර්ථක කර ගැනීමට දිරිගැන්වීම සහ උපදෙස් දීම සම්බන්ධයෙන් ඔහුට මගේ අත්‍යන්ත කෘතඥතාව පළ කර සිටිමි. එසේම කොළඹ රාජ්‍ය ලේඛනාගාරයේ සහ කෞතුකාගාරය පුස්තකාලයේ නිලධරයනටත්, බෞද්ධ සංගමය, පරම විඥානාර්ථ සමාගම, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පුස්තකාලය සහ වෙනත් බොහෝ දෙනාටත් ඔවුන්ගේ කාරුණික උපකාර සහ අනුග්‍රහයට මගේ හෘදයංගම ස්තුතිය පළ කරමි.

තවද පූර්විකාවක් ලෙස බුදුදහම අපරදිගට හඳුන්වා දීමෙහිලා ලෝකෝත්තරවාදය, පරම විඥානාර්ථවාදය සහ ගුප්ත විද්‍යාව මඟ පෑදූ බව කියන්නට කැමැත්තෙමි. උදාහරණයක් ලෙස 1828 දී සාන්ත පීටර්ස්බර්ග්හි ජේ.ජේ.ශිම්ඩ් බුදුදහම සමග ලෝකෝත්තර පරම විඥානාර්ථවාදී ඉගැන්වීම්වල සම්බන්ධතා ගැන සාකච්ඡා කළේය. (එතරම් කල් තබා සාන්ත පීටර්ස්බර්ග්හි බෞද්ධ විශ්වවිද්‍යාලයක් තිබිණි) සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට් විසින් ආරම්භ කරන ලද පරම විඥානාර්ථ සමාගම බුදුදහම අධ්‍යයනය කෙරෙහි යෝධ බලපෑමක් කළේය.

බුදුදහම සොයා 1786 දී පෙරදිගට පැමිණි සිහි කටයුතු පළමුවැනි යුරෝපීයයා වූයේ ඇතිනියානු ගී‍්‍රක දිමිත්‍රියෝ ගැලනෝස්ය. (1760 - 1833) .සංස්කෘත භාෂාව උගත් ඔහු නොයෙක් ආගමික ග්‍රන්ථ ගී‍්‍රක් භාෂාවට පරිවර්තනය කළේය. ඔහුගේ සංස්කෘත ශබ්දකෝෂයේ අත්පිටපත මෙතෙකුත් ගී‍්‍රසියේ ජාතික පුස්තකාලයේ සුරක්ෂිතව ඇත. ඉක්බිති බුදුදහම උගන්නට, දෙවැනි යුරෝපියයා ඉන්දියාවට පැමිණියේ 1833 දී ය. ඔහු හංගේරියානු ජාතික වංශාධිපතියකු වූ ඇලෙක්සැන්ඩර් ක්සෝමා ද කොරෝසීය.(1784 - 1842)

බුදුදහම අපරදිග පතුරුවන්නට ශ්‍රී ලංකාවට සැපත් අතීත දායකත්වය සඳහන් කරන්නට මම කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ සේවාව කරමින් සිටිබ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිවිල් සේවකයෝ ශ්‍රී ලාංකික උගත් යතිවරුන් විසින් විවරණය කරන ලද බෞද්ධ දර්ශනයෙන් වශීකෘත වූහ.

බුදුදහමේ සුලමුල

පළමුවෙන් ම ඔවුහු බුදුදහමේ සුලමුල සොයනු පිණිස පාලි භාෂාව ඉගෙන ගන්නට පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ සේවාවෙන් ඉක්බිති ආපසු සියරට පැමිණි ඔවුහු බුදුදහම ගැන ලියන ලද ලිපිලේඛන සහ පාලි ත්‍රිපිටකයේ ඉංගී‍්‍රරිසි පරිවර්තන ප්‍රකාශයට පත් කරන්නට ඇරඹූහ.ඔවුන් අතර රොක්හිල්, බීල්,ඕල්ඩන්බර්ග්, සැමුවෙල් බීල්, රොබට් චිල්ඩර්ස්, (පළමුවැනි ඉංගී‍්‍රසි - පාලි ශබ්දකෝෂයේ කර්තෘ) ජෝර්ජ් ටර්නර් සහ ටී.ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස් (එංගලන්තයේ පාලි පොත් සමාගමේ නිර්මාතෘ) ආදීහු වෙති. ඉන්දියාවේ සිවිල් සේවකයකුව සිටි “ ද ලයිට් ඔෆ් ඒෂියා “ වීරකාව්‍යයේ කතුවර සර් එඩ්වින් ආර්නෝල්ඩ් පවා පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් සහ ඩේවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) සමග බුදුදහම ගැන සාකච්ඡා කරන්නට ශ්‍රී ලංකාවට ආවේය. එබැවින් බටහිරුන්ගෙන් බුදුදහම හා ශ්‍රී ලංකාවේ උරුමය පිළිබඳ සුවිශේෂ සැලකිල්ලක් දැක්වුණු බව පෙනේ. ශ්‍රී ලංකාව කෙරෙහි වශීභූත තවත් එක් පුද්ගලයකු වූයේ ගෝඩන් ඩග්ලස්ය. ශ්‍රී ලංකාවට පැමිණි ඔහු කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාමයේදී අශෝක භික්ෂු නමින් පැවිද්ද ලැබීය. එහෙත් අශෝක හිමියෝ නැවත එංගලන්තයට නොගියහ. කෙසේ වෙතත් පසුව මියන්මාරයට වැඩියාහු එහිදී අපවත් වූහ.

හෙන්රි ඇලන් බෙනට් නම් ඉංගී‍්‍රසි ජාතිකයා ලන්ඩනයේ උපන්නේ 1872 දෙසැම්බර් 08 වැනිදාය. සිවිල් සහ විදුලි ඉංජිනේරුවකු වන බෙනට් නම් ඔහුගේ පියා, ඇලන්ගේ ළාබාල වියේදීම අභාවප්‍රාප්ත විය. ඉන් පසු ඇලන් හදාවඩා ගනු ලැබුවේ ඔහුගේ සුළුපියා වන මැක් ගී‍්‍රගෝර් විසිනි. මවගේ දෙවන සැමියා වන මැක් විසින් සිය ජීවිත කාලයේදි රැක බලා ගනු ලැබූයෙන් ඇලන්ට මැක් ගී‍්‍රගෝර් නමට උරුමය ලැබිණ. ඇලන් මැක් ගී‍්‍රගෝර්ගේ නිහතමානි සහ අහිංසක ජීවිතාරාම්භය ජේ.එෆ්. මැකිනි විසින්, පූජ්‍ය ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ අපවත් වීමෙන් ඉක්බිති එළඹුණු දසවැනි සංවත්සර අනුස්මරණ උත්සව සභාවේදි සඳහන් කරන ලදී. මැතිනි කියන පරිදි ඇලන් බෙනට් කායික හා මානසික දුක යනු කුමක් දැයි මැනවින් හඳුනා ගත්තෙක් විය. ඔහුගේ කායික වර්ණදේහ පිළිබඳ රෝග තත්ත්වය, ජීවිතයේ මුලික අවස්ථාවේදී ම එහිලා ඌනතාව දරා සිටීමට අදාළ ප්‍රතිඵලයක් විය.

ඔහු ඉතා ළමා වියේදී ම ලන්ඩන් සිටි විශ්ලේෂකයාගේ පරීක්ෂණාගාරයේ බෝතල් සෝදන්නකුගේ රැකියාවක් ලබා ගත්තේය. එහිදී වැටුප වූයේ සතියකට සිලිං දහයකි. වයස 14 සිට 18 තෙක් කුස පුරා ආහාර වේලක් යනු කුමක් දැයි ඔහුට හඳුනා ගත නොහැකි විය. කුඩා ඇලන් බෙනට් අධ්‍යාපනය ලැබුවේ බාත් අසල හොල්ස්ලි විද්‍යාලයේ රෝමානු කතෝලික පාසලේය. කලෙක ඔහු ලන්ඩන් ධාන්‍ය කර්මාන්ත ආයතනයේ රසායන විශ්ලේෂඛ ආචාර්ය බර්නාඩ් ඩයර් යටතේ විශ්ලේෂක රසායනඥයා ලෙස සේවාව කළේය.

ඔහු 1893 මාර්තු 24 වැනිදා පරම විඥානාර්ථ සමාගමට බැඳුණේය. ඉක්බිති ඔහු එච්.පී.බ්ලැවොට්ස්කි මැතිනියගේ “අබිරහස් ධර්මය “ පිළිබඳ පන්තියට ලියාපදිංචි කරන ලදී. මෙලෙසින් ඔහු පියවරින් පියවර ගුප්ත ක්‍රියාකාරකම් වලට නැඹුරු වූ අතර, ගුප්ත විද්‍යා විෂයයෙහි බහුශ්‍රැත වූයේ. බෙනට් 1894 දී ගෝල්ඩන් ඩෝන්හි වායුරෝධක සමාජය සමග එක් විය. එහි සාමාජිකයෝ ඉමහත් උනන්දුවකින් ගුප්ත විද්‍යා දැනුම මගින් අධ්‍යාත්මික සංවර්ධනය පිණිස පුහුණුවක් ලැබූහ. මේ වන විට බෙනය ගුප්ත විද්‍යා හෝ ගූඪ විද්‍යා පිළිබඳ නිපුණයකු ලෙස නමක් දිනාගෙන තිබිණ.

භික්ෂුවක ලෙස පවා මානසික රෝග සුව කිරීමේ ශක්තිය කෙරෙහි නැඹුරුවක් ඔහු කෙරෙහි වූ බව පෙනේ. 1899 ජනවාරියේදී ඔහුට සිය කිට්ටුතම මිතුරා වූ ඇලෙස්ටර් ක්‍රෝලී පදිංචිව සිටි / ක්‍රෝ තට්ටු නිවාසයේ නවාතැන් ගන්නට පහසුකම් සැලසිණ. මෙවක, ක්‍රෝලි , බෙනට්ගෙන් මැජික් සහ යෝග විද්‍යාව උගත්තේය. බෙනට් ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ සිටි වකවානු වලදී ක්‍රෝලි ඔහු හමුවන්නට පවා පැමිණ ඇත. එවක බෙනට් සිටියේ ආනන්ද මෙත්තෙය්‍ය නමින් පැවිදි රූපයෙනි. ක්‍රෝලි සිය ස්වයං චරිතාපදානයේ ඒ පිළිබඳ විස්තර තොරතුරු සටහන් කර ඇත. 1890 වේදී 18 වැනි වියේ ගැටවරයකුව සිටි බෙනට්, සර් එඩ්වින් ආර්නෝල්ඩ්ගේ “ලයිට් ඔෆ් ඒෂියා” කියවා තිබිණ. එය තරයේ ඔහුගේ සිත ඇද බැඳ ගත්තේය. ඒ නිසාම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් විෂයයෙහි ඔහුගේ සිත කුතුහලයෙන් වෙළී ගියේය. ඔහුගේ ධාන්‍යශීලි මනෝභාවය විසින් ඔහු කෙමෙන් සියලු ලෞකික වූත්, ගූඪ වූත් බලපෑම් වලින් වියුක්ත ක්ෂේමස්ථානයකට යොමු කරනු ලැබීය.

1900 වසරේ මුල හරියේදී බෙනට් ශ්‍රී ලංකාවට පැමිණියේ වැඩි දුරටත් බුදුදහම ගැන අධ්‍යයනයෙක යෙදෙන්නටය. එහිදී ලෝරා නම් එක්තරා පරිත්‍යාගශීලී කාන්තාවක් නැව් ගාස්තුව වශයෙන් කිසියම් මුදලක් දුන් බව කියනු ලැබේ. ඔහුට ශ්‍රී ලංකාවේ නතරවීම පිණිස පහසුකම් සලසා දෙන ලද්දේ දොස්තර ආතර් ද සිල්වා මහතා විසිනි. එහිලා එතුමා රිචඩ් ජෝන් එලින්සන් පෙරේරාට ඇලන් බෙනට් හඳුන්වා දෙමින් ලියුම් දී ඇත. රිචඩ් පෙරේරා යනු එවක සුපතළ දොස්තර කැසියස් පෙරේරා සහ රිචඩ් ලයනල් පෙරේරා හා මෙරිල් විල්සන් පෙරේරා ආදීන්ගේ පියාය. රිචඩ් පෙරේරා විසින් බෙනට් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා පමණක් නොව, පාලි භාෂාව හා බුදුදහම ඉගෙන ගන්නට ගරු කටයුතු භික්‍ෂූන් වහන්සේ නමක් වෙත ඔහු කැඳවා ගෙන ගොස් ද ඇත.

එවක පෙරේරා පවුලේ සාමාජිකයෝ සැදැහැවත් සහ කීර්තිමත් බෞද්ධ නායකයෝ වූහ. ඒ අතර මැනවින් උගත් විද්වත් වෘත්තිකයෝද වෙති. පෙරේරා පවුලේ වැඩිතමයන් සාමාජිකයෝ නීති වෘත්තිකයෝය. එහෙත් දොස්තර කැසියස් ඇෆලෙක් පෙරේරා (පසුව පූජ්‍ය කස්සප හිමි) කායික වෛද්‍යවරයෙක් විය. පෙරේරා පවුලේ සාමාජිකයෝ හේවාවිතාරණ පවුල සමග සහයෝගයෙන් කටයුතු කළාහු පමණක් නොව, බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වන්නට උනන්දුවක් දැක්වූවනට එක සිතින් උදවු කරන්නට සැදී පැහැදී සිටියෝ ද වූහ.

දිවිගලහේන පන්සල

ඇලන් බෙනට්ට පාලි භාෂාව හා බුදුදහම පිළිබඳ විශිෂ්ට දැනුමක් ලබා දුන් ගුරුවරයා වන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ කවරෙක් දැයි හඳුනා ගැනීමේ අභියෝගයට මම මුහුණදී සිටියෙමි. දොස්තර කැසියස් පෙරේරා විසින් එක්තරා සඟරාවකට ලියා තිබුණු මරණ දැන්වීමකින් ඒ භික්ෂූන් වහන්සේ කඹූරුගමුවේ පන්සලක විසූ කීර්තිමත් පූජ්‍ය රේවත හිමියන් බව දැන ගත හැකි විය. මම පසුව පූජ්‍ය මාපලගම නාලක හිමි, ඉංගිරියේ උදිත හිමි සහ පනාගොඩගේ සනත් ආදීන්ගේ මග පෙන්වීම ඔස්සේ කඹුරුගමුවට ගියෙමි. එහිදී අපට දකින්නට ලැබුණේ” රේවත දහම් පාසල “ නම් දහම් පාසල සමග අඩකින් ගරා වැටි තිබුණූ පන්සලය. ගැමියන් එය හැඳින්වූයේ දිවිගලහේන පන්සල නමිනි.

එහෙත් විහාරාධිපතිව සිටි පුජ්‍ය කරතොට ශාන්තානන්ද හිමියන් කීවේ පන්සලේ නියම නම දේවගිරි විහාරය බවයි. පැරණි ගොඩනැගිලි නොතකා හැර නටබුන් බවට පත්ව තිබුණත්, කැටයම් කරන ලද සොහොන්ගලක් සමග චෛත්‍යයක් දකිනු හැකි විය. සොහොන්ගලෙහි කැටයමින් කියවෙන්නේ පූජ්‍ය වේරගම්පිට රේවත හිමියන් අනුස්මරණය පිණිස එය පිහිටැවූ බවයි. මම අසූ විය ඉක්මවු වැඩිහිටි ගැමියන් කීප දෙනෙකු සමග ඔවුන්ගේ මතකය සහ ඒ වන විට ජීවතුන් අතර නොසිටි වැඩිහිටියන් ගැනත් සාකච්ඡා කළෙමි. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇලන් බෙනට් හෝ ගැමියන් කී පරිදි “ කැහැටු සුද්දා “ රේවත හිමියන්ගේ ගිහි ශිෂ්‍යයකු ලෙස පන්සලේ නතර වී සිටි බව කීහ. ගැමියන් අතර පැවති කටකතා වලට අනුව වේරගම්පිට රේවත හිමියනට ප්‍රාචීන භාෂා, පාලි ත්‍රිපිටකය සහ අට්ඨකථා විෂයයෙහි මවිතය දනවන මතකයක් තිබිණ. උන්වහන්සේට ඉංගී‍්‍රසියෙන් පවා සංවාදයේ යෙදෙන්නට තරම් හැකියාවක් තිබෙන්නට ඇතැයි කියනු අසන්නට ලැබේ. පූජ්‍ය පැලෑනේ වජිරඥාන නාහිමි, පූජ්‍ය නාරද නාහිමි , පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමි, පූජ්‍ය පියදස්සී නාහිමි ආදීහු උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ හැදී වැඩී ශ්‍රේෂ්ඨත්වයට පත් පැවිදි ශිෂ්‍යයෝ වෙති. එහිලා උන්වහන්සේ ඒ සඟ පරපුරේ විශිෂ්ටතමයාණෝය.

ඇලන් බෙනට් ව්‍යක්ත ලෙස සංවාදයෙහි යෙදෙන්නට හැකි වන තෙක් ම පාලි භාෂාව මැනවින් උගත්තේය. රේවත හිමියන් යටතේ ලත් ඉගෙනීම අවසානයේ කොළඹ පැමිණී බෙනට් ඉංගී‍්‍රසි කතා කරන සමාජයේ ඉල්ලීම අනුව බුදුදහම මාතෘකා කර ගෙන දේශන පැවැත්වීම ඇරඹීය. ඒ අතර කොළඹ, පිටකොටුවේ පරම විඥානාර්ථ සමාගම් මූලස්ථාන බෞද්ධ මන්දිරයේ “ චතුරාර්ය සත්‍යය” මාතෘකාවෙන් පවත්වන ලද්දේ එක් දේශනයකි.

ඉන් පසුව භික්ෂුවක ලෙස බම්බලපිටියේ මෙත්තාරාම භූ®මියේ මෛත්‍රි ශාලාවේදී ධර්ම දේශනා පවත්වා ඇත. ධර්ම දේශනා පැවැත්වීම සඳහා මෛත්‍රී ශාලාව ගොඩනංවා ඇත්තේ දොස්තර කැසීයස් පෙරේරාගේ පියා වන කලින් සඳහන් රිචඩ් ජෝන් එලින්සන් පෙරේරා විසිනි. ශාලාව එසේ හඳුන්වා ඇත්තේ ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ නමට අනුවයි. එසමයෙහි ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් වැඩියෙන් ම නවාතැන් ගෙන ඇත්තේ බම්බලපිටියේ වජිරාරාමයේය.

වරක් ඇලන් බෙනට් එවක ලංකාවේ සොලිසිටර් ජනරාල්වරයා වු පොන්නම්බලම් රාමනාදන් පදිංචිව සිටි මහනුවර ගියේය. එහිදී ඔහු රාමනාදන්ගේ බාල පුතාට විද්‍යාව, ශුද්ධ ගණිතය සහ ඉංගී‍්‍රසි ද පෞද්ගලිකව ඉගැන්වීය. එයට ආපිට රාමනාදන් විසින් බෙනට්ට යෝග සිද්ධාන්ත හා ව්‍යායාම් උගන්වන ලදී. රාමනාදන් , බෙනට්ගේ මඟ පෙන්වීම හා උපදෙස් අනුව ලන්ඩනයට ගොස් ආධ්‍යාත්මිකත්වය පිළිබඳ දේශන පැවැත්වී ය. ඉක්බිති 1912 සැප්තැම්බරයේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි හෙතෙම, යාපනයේ හින්දු බාලිකා විද්‍යාලය පිහිටුවා, එහි විදුහල්පතිනිය ලෙස ඇලන් බෙනට්ගේ මිතුරියක වූ ෆ්ලෝරන්ස් ෆෘර් මහත්මිය පත් කළේ ය. අද පවා එය ප්‍රමුඛ පෙළේ කිර්තිමක් අධ්‍යාපන ආයතනයක් ලෙස රාමනාදන් බාලිකා විද්‍යාලය නමින් නැඟී සිටී. ෆ්ලෝරන්ස් මහත්මිය 1917 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකාවේ දී අභාවප්‍රාප්ත වූවා ය.

1901 දෙසැම්බරයේ දී ඇලන් බෙනට් මියන්මාරයේ අක්යාබ් (වත්මන් සික්වේ) වෙත ගියේය. එහිදී ඔහුට 1901 දෙසැම්බර් 08 වැනිදා ආනන්ද මෛත්‍රීය නමින් පැවිද්ද ලැබිණ. දෙසැම්බර් 08 ඔහුගේ උපන් දිනය යි. ඇලන් බෙනට්ගේ ආසන්නතම මිතුරා වන ඇලෙස්ටර් ක්‍රෝලි සිය මිතුරාට මියන්මාරයට යන්නට සිදුවීමට අදාළ හේතු දෙකක් තමාගේ ස්වයං චරිතාපදානයේ දක්වයි.

(1) මියන්මාරය ශ්‍රී ලංකාවේ සංඝයාට වඩා පවිත්‍ර සංඝයා වෙසෙන තැනක් ලෙස බෙනට් දුටුවේ ය.

(2) යක් නැටුම් හා නුවර පෙරහැර ඔහුගේ සිත තුළ පැවති මුළාවක් පහ කළේ ය.

කෙසේ වෙතත් බෙනට් ගැන ක්‍රිස්මස් හම්පී‍්‍ර මෙසේ ලියා ඇත. ‘ඔහු සඟ සසුනට ඇතුළු වන්නට තීරණය කළේ ය. එහෙත් ශ්‍රී ලංකාවේ සංඝයා කෙරෙහි බලපෑ නොයෙක් සීමා ඔහුගේ සිත් ගත්තේ නැත. ඔහු පැවිද්ද ලබා ගන්නට සිතා සිටි එක්තරා නිකායයක්, තමන් වෙනත් නිකායයන් සමග නිදහසේ ඇගැලුම්කම් දැක්වීම නිසා නිරායාසයෙන් ම තමා කොන් කරනු ඇතැයි ඔහු සිතන්නට ඇත. ඒ අතර එවන් තහංචි කෙරෙහි පෙලඹවීමක් නැති මියන්මාර් සඟ සසුනේ පැවිද්ද ලබන්නට ඔහු තීරණය කළේ ය.

‘එබැවින් ඔහු මියන්මාරයට යාත්‍රා කර, පැවිද්ද ලබනු පිණිස පළමුවෙන් අරකන්හි අක්යාබ් වෙත ගියේය. ඉක්බිති ඔහු ගියේ රැන්ගුන් වෙත ය. එහිදී තමාගේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු මධ්‍යස්ථානයක් ඔහුට ලැබිණි.’

බෞද්ධ සංගමය

හේතුව කුමක් වුවත් ඔහු රැන්ගුන් වෙත ගියේ 1902 පෙබරවාරියේදී ය. 1902 මැයි 21 වැනිදා (වෙසක් දින) ශ්වේඛ්‍යා සයාදොව් යටතේ උපසම්පදා පැවිද්ද ලැබිණ. එතැන් සිට හැඳින්වුණේ ආනන්ද මෙත්තෙය්‍ය නමිනි. ඉක්බිති ආනන්ද හිමියෝ 1902 ජුලි 19 වැනිදා රැන්ගුන්හිදී බුද්ධ සාසන සමාගම හෙවත් අන්තර්ජාතික බෞද්ධ සමාගම පිහිටැවූහ. එයින් ප්‍රකාශිත මුල් ම සඟරාව වූයේ 1903 ජුලි මාසයේ නිකුත් කරන ලද Buddhism An illustrated Quarter ly Review වෙයි. එයට සමගාමීව පත්‍රිකා ආකෘතියෙන් උන්වහන්සේගේ දේශන ප්‍රකාශයට පත් විය. එයට පසුතරව නොයෙක් ලිපි සහ පොත් ප්‍රකාශයට පත් කරන ලදී. උන්වහන්සේ නොයෙක් විට කොළඹ ගොස් ධර්ම දේශනා ද පැවැත්වූහ.

ආනන්ද හිමියන් විසින් ලියන ලද ලිපියකින් දිරි ගැන්වුණු ජේ.එෆ්. මැකිනි මියන්මාරයට ගොස් උන්වහන්සේ මුණගැසී පූජ්‍ය සීලාවාර නමින් පැවිද්ද ලබා ගත්තේ ය. ඉක්බිති සීලාවාර හිමියෝ ඉහත සඳහන් සඟරාවේ උපකර්තෘ තනතුර දරමින් ආනන්ද හිමියනට සහාය දැක්වූහ. (සීලාවාර හිමියෝ කලින් පූජ්‍ය ඥානතිලෝක හිමියන්ගේ සාමණේර ශිෂ්‍යයෙකි. එකල සාසනවංස නමි. එය සීලාවාර යන්නට මාරු කැරුණේ උපසම්පදා පැවිද්දේදී ය.)

හර් ඇන්තන් ෆ්ලෝරස් ක්වෙත් 1903 දී ශ්‍රී ලංකාවට අවුත්, මහනුවර මල්වත්ත විහාරයේ පූජ්‍ය සීලානන්ද මහතෙරුන් වහන්සේ යටතේ පාලි භාෂාව සහ බුදුදහම උගත්තේ ය. එහෙත් ඔහු ඇලන් බෙනට් උදාහරණයට ගෙන ඒ අනුව යමින් ආනන්ද මෙත්තෙය්‍ය හිමියන්ගේ උපකාරයෙන් රැන්ගුන්හි නතරව සිට පූජ්‍ය ඥානතිලෝක නමින් සසුන්ගත විය. මෙසේ කලින් සඳහන් පරිදි සාසනවංස නමින් පැවිද්ද ලබා පසුව සීලාවාර නමින් හැඳින්වුණු ජේ. එෆ්. මැකිනි, පූජ්‍ය ඥානාතිලෝක හිමියන්ගේ පළමුවැනි පැවිදි ශිෂ්‍යයා ය.

කෙසේ වෙතත් පසුව ඥානාතිලෝක හිමියන්ගේ වාසස්ථානය වූයේ ශ්‍රී ලංකාව යි. ශ්‍රී ලංකාවේදී උන්වහන්සේගෙන් බුදුදහමට සිදු වූ සේවාව අපරිමිත ය. ඒ සේවාවට කෘතවේදී වීමක් ලෙස, 79 වැනි වියේදී අපවත් වූ විට රාජ්‍ය ගෞරව පිරිනමන ලදී. මහනුවර බෞද්ධ ප්‍රකාශන සංගමය පිහිටුවන ලද්දේ උන්වහන්සේ විසිනි. දොඩන්දූව ආරණ්‍ය සේනාසනය සහ මහනුවර උඩවත්තකැලේ ආරණ්‍ය සේනාසනය ද ජර්මන් භික්ෂූන්ගේ මධ්‍යස්ථාන වන අතර ඒ භික්ෂූන් පිරිස ආනන්ද මෙත්තෙය්‍ය සඟ පරපුර හෙවත් පැවිදි ශිෂ්‍ය පරම්පරාව ලෙස සලකන්නට පුළුවන.

පූජ්‍ය ඥානාතිලෝක හිමියන්ගේ ශිෂ්‍ය, පූජ්‍ය ඥානපෝනික හිමියෝ ද බුදුසසුනට ඉමහත් සේවාවක් කළ බහුශ්‍රැත හිමිනමකි. ගිහි ශිෂ්‍යයකු වන ආචාර්ය කේ. සීඩන්ස්ටියුකර් 1903 දී ජර්මනියේ, ලයිප්සිග් නුවර බෞද්ධ සමිතිය ආරම්භ කළේ ය. ආචාර්ය කේ. සීඩන්ස්ටියුකර් විසින් ප්‍රකාශයට පත් කරන ලද සඟරා වලට ඥානාතිලෝක හිමියෝ අඛණ්ඩව දායකත්වය සැපයූහ. ජර්මන් ජාතික වෛද්‍යවරයකු වූ ආචාර්ය පෝල් ඩාල්කේ ද ශ්‍රී ලංකාවට පැමිණ බුදුදහම සේ ම පාලි භාෂාව ද උගත් විදේශීය පඬිවරයෙකි. ආචාර්ය ඩාල්කේ විසින් කොළඹ ජර්මන් ධර්මදූත සංගමයත්, 1924 දී බර්ලින්හි බෞද්ධ ශිෂ්‍ය නිවාසයක් අරඹන ලදී. පූජ්‍ය ඥානාතිලෝක හිමියන් විසින් ලියන ලද The world of the Buddha  මැයින් වන කෘතිය අති මහත් ජයප්‍රසාදයක් දිනාගෙන ඇතුවා පමණක් නොව භාෂා කීපයකට පරිවර්තන ද වෙයි. පූජ්‍ය ඥානමෝලි හිමි, පූජ්‍ය ඥානපෝනික හිමි, පූජ්‍ය ඥානසත්ත හිමි, පූජ්‍ය ඥානතුසිත හිමි ආදීහු පූජ්‍ය ආනන්ද මෙත්තෙය්‍ය සඟ පරපුරේ කීර්තිමත් ශිෂ්‍යයෝ වෙති.

පූජ්‍ය ආනන්ද මෙත්තෙය්‍ය හිමියන් විසින් එංගලන්තයට මෙහෙයවන ලද බෞද්ධ ධර්මදූත පිරිස 1908 අපේ‍්‍රල් 23 වැනිදා වූ බදාදා එහි පැමිණියේ ය. එවක එංගලන්තය බුදුදහම බිජුවට රෝපණයට ඇති පදමින් පරිණතියට පත් එකක් විය. ඒ අනුව බුද්ධසාසන සමාගමේ ශාඛාවක් එංගලන්තයේ පිහිටුවන ලදී. එහි මූලස්ථානය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ආසන්නයේ බෙරී වීදියේ, අංක 14 විය. ආරම්භක රැස්වීම එහි පැවැත්විණ. 1907 නොවැ. 20 දාතමින් යුත් ආරාධනා පත්‍රයට අනුව බෞද්ධයන් සහ බුදුදහම, පාලි භාෂාව හා සංස්කෘත සාහිත්‍යය ඉගෙන ගන්නට රුචියක් දක්වන්නවුන්ගේ රැස්වීම නොවැම්බර් 26 වැනිදා වන අඟහරුවාදා මිඩ්ල්සෙක්ස් ආරෝග්‍ය ශාලාව ආසන්නයේ, මෝටිමර් වීදියේ, කැවෙන්ඩිෂ් කුටියේදී පවත්වන්නට නියමිතව තිබිණ. මූලාසනය මහාචාර්ය ටී.ඩබ්ලිව්. රීස් , ඩේවිඩ්ස් විසින් දරන්නට නියමිත විය.

මතු සම්බන්ධයි

(2010.01.29, 2010.02.05 සහ 2010.02.13 දිනයන්හි බුදුසරණ පත්‍රයේ පළ කරන ලද ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද නාහිමියන්ගේ Research on Ven.Ananda Metteyya’s Legagy  මැයෙන් වූ නිබන්ධනයේ පරිවර්තනයකි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.