Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක විනාශය සිදු වේ ද?

මිනිස් සිත්වල අධික ලෝභකම නිසා වස්තු තණ්හාවෙන් කාම තණ්හාවෙන් පීඩිත වෙලා අධර්ම වාදීව, අසීලා චාරව, කරුණා මුදිතාදී ගුණ ධර්ම අල්ප මාත්‍රයක් වත් නැතිව යනව. මේ කාලයේ වසංගත රෝග සෑදී ලක්‍ෂ ගණන් මිනිසුන් මැරෙනව. මෙය රෝගාන්ත කල්පය යි. ඉතිරි අය ගුණ ධර්ම දියුණු කර ගෙන ආයුෂ දියුණු කර ගෙන අධික සුව පහසුව නිසා ජරා මරණ ගණන් නොගෙන ද්වේශයෙන් මත්ව විනාශ වනවා.

ලෝකයේ ජීවත්වන බොහෝ දෙනෙකුට එහි පවත්නා ස්වභාවය වටහා ගැනීමට නොහැකි ව මුළාවට පත් වී ඇත. එයම මුල් කරගෙන නොයෙක් මත දරා කටයුතු කරන මිත්‍යා දෘෂ්ටි ගන්නෝද වෙති. මේ පිළිබඳව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වසර දෙදහස් පන්සියයකට පෙර දේශනා කරන ලද සූත්‍ර ධර්මයක සඳහන් වන්නේ මෙසේය. එය පැහැදිලි කරන්නට මත්තෙන්. මේ මෑත කාලීනව නිර්මාණය කරන ලද රූප තැටියක් නරඹා බොහෝ දෙනෙකුට ලෝකය විනාශය සිදුවන ආකාරය ගැටලුවක් ව පවතී. ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට නොපැමිණි පිරිස බොහෝය.

මේ ලිපිය ඒ හැම දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වෙනවාය යන සිතිවිල්ලෙන් මෙය රචනා කරමි. සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ එන සත්ත සූරියුග්ගමන සූත්‍රය මගිනි.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි කියන වනයේ වැඩසිටින දවසක භික්‍ෂූන් වහන්සේ අමතා දේශනා කරන ලද්දකි. මෙය ඉතා වැදගත් ධර්ම කොටසකි. සංස්කාරයෝ අනිත්‍යය හා අද්ධුව යි. ස්ථිර නැහැ ආශ්වාද රහිතයි. මහණෙනි, සියලු සංස්කාරවල කලකිරීමට මෙයම ප්‍රමාණවත් එහි නොඇලීමට එයින් මිදීමට මෙයම ප්‍රමාණවත් වෙනවා.

කුමක්ද ප්‍රමාණවත් වන්නේ, මහණෙනි, සිනෙරු නම් පර්වතයක් ඇත. එය පළලින් උසින් යොදුන් අසූහාර දහසක් වෙනවා. කෙමෙන් කාලයාගේ ඇවෑමෙන් වසර සියයකින් හෝ දහසකින් සිය දහසකින් වැසි නොලැබී යනවා .ඒ කාලයේදි සියලු ගස්වැල් ආදි දේ නොවැඩී විනාසයට යනවා. එහි වැඩීමක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා සංස්කාරයන්ගේ අනිත්‍ය බව වටහා ගැනීමට මෙයම ප්‍රමාණ වන්නේද? මෙසේ කාලයක් ගතවීමෙන් දෙවන සූර්යයත් පහළවනවා. කුඩා ඇළදොළ වියළී දිය කදුළක්වත් සොයා ගැනීමට නොලැබෙනවා.

මහණෙනි, තවත් කාලයක් ගත වන විට තුන්වැනි ඉරක් පායනව. අවරදිගේ එකක් බැසයන විට ඉරක් මුදුන්වෙලා පෙරදිගින් එකක් පායාගෙන එනවා.ගංඟා යමුනා සරස්වතී, අචිරවතී සරභූ මහී කියන මේ සියලු ගංඟාවන් සිදී වේලිලා යනවා.

සතර වෙනි ඉරත් පායනව සතරවෙනි හිරු පායනවත් සමග මහා ගංගා හටගන්නට අනෝතත්ත සීහ්‍යුපාන රථකාර, කණ්හ, මුණ්ඩ, ජදාන්ත, මන්දාකිනි, මහා විල් සිදී වියළී යනවා. තවත් කලකට පසු පස් වන හිරුත් පායනව මහා සාගරයත් සිදී ගිහින්. ඇගිලි පුරුකක් තෙමෙන තරම්වත් ජලය නොමැතිව යනව. සය වන හිරුත් පායනව. එවිට යොදුන් අසු හාර දහසක් උස පළල මහාමේරුව දුම් දමන්න පටන් ගන්නව. කාලයක් ගත වන විට සත්වන හිරුත් පායනව. එවිට මුළු ලෝකයම මහා ගිනි ජාලයක් බවට පත්වෙනවා. ගිනි දළු බඹලොව දක්වා පැතිරී ගොස් ගිතෙල් කපුරු දැවී ගියාසේ අළු පමණවත් ඉතිරි නොවී විනාශ වෙනවා.

මහණෙනි, සංස්කාරයන්ගේ කලකිරීමට මෙයම ප්‍රමාණවත් නොවේද? සෝතාපන්න පුද්ගලයාගෙන් පහළ කවරෙකු පිළිගනීද කියා සැක සහිතය.

දීඝ නිකායේ අඤ්ඤ සූත්‍රය මගින්ද කරුණු සවිස්තරව විකාශනය කරයි. ලොව විනාශ වන ආකාර තුනක් තිබෙනව.

1.ගින්නෙන් 2.ජලයෙන් 3.වාතයෙන්

ක්‍රම තුනේම විනාශ වෙනවා. ගින්නෙන් විනාසවන විට ආභස්සර බ්‍රහ්ම ලේකය දක්වාද ජලයෙන් විනාශ වන විට සුභතිණ්ණක බ්‍රහ්ම ලෝකය දක්වාද වාතයෙන් විනාශ වන විට පඨවි කම්පනාදි සිදුවන දස දහසක් සක්වලින් රතන සූත්‍රාදි අනුභාවය පතුරුවාලූ ප්‍රදේශය වන කොටි ලක්‍ෂයන් සක්වළින් බුදුන් වහන්සේගේ ඥාන විෂයට අන්තර්ගත අනන්ත අප්‍රමාණ සක්වළ වන විෂය ක්‍ෂේත්‍රය මේ තුනින් ජාති හා අඥා යන ක්‍ෂේත්‍රය දෙකම මෙහිදී විනාශ වෙනවා. මෙහි මුලින් සදහන් කරන පිළිවෙළට සූර්ය සත පායා විනාශ වෙනව ජලයෙන් විනාශ වීමේදී කුඩා වැහි බිදුවලින් පටන්ගෙන ක්‍රමයෙන් මහා තල් කඳන් මෙන් විසාල වැසි වැටී සුභ කින්තක බ්‍රහ්ම ලෝකය තෙක් විනාශ වී යනව. වාතය හමන්න පටන්ගෙන මහා මේරු ආදි කොට ඇති විශාල පර්වත පවා සුළඟට ගසා ගෙන විත් අළුදූලි බවට පත් වී යනවා. කල්පය නැසීම යැයිද සඳහන් වෙනවා.

මිනිස් සිත්වල අධික ලෝභකම නිසා වස්තු තණ්හාවෙන් කාම තණ්හාවෙන් පීඩිත වෙලා අධර්ම වාදීව, අසීලා චාරව , කරුණා මුදිතාදී ගුණ ධර්ම අල්ප මාත්‍රයක් වත් නැතිව යනව. මේ කාලයේ වසංගත රෝග සෑදී ලක්‍ෂ ගණන් මිනිසුන් මැරෙනව. මෙය (රෝගාන්ත ) කල්පය යි. ඉතිරි අය ගුණ ධර්ම දියුණු කර ගෙන ආයුෂ දියුණු කර ගෙන අධික සුව පහසුව නිසා ජරා මරණ ගණන් නොගෙන ද්වේශයෙන් මත්ව විනාශ වනවා. මෙය (සත්ව ඝාතන ශාස්ත්‍රාන්ත) කල්පය නමින් හැඳින්වෙනව. ඉන් පසු මිනිසුන් ආහාරාදියෙන් පීඩා විදින කාලයක් එනව. එය දුර්භීක්‍ෂාන්තර කල්පය නමින් හැඳින්වෙනව.

මේ ආකාරයෙන් සත්ත සුරියුග්ගමන සූත්‍රය මගින් පෙන්වාදෙන ලෝක විනාශය නොයෙක් ක්‍රම වලින් සිදුවන ආකාරය මනාව අවබෝධ කර ගත හැකිය. සැමට ධර්ම ඥානය පහළ වේවා!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.