Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැප ගෙන දෙන මෙත් සිත

මෛත්‍රී සිතක් පහළ කර ගැනීම කෙනෙකුට කළ හැකි නම් එහි ආනිශංස රැසක් තියනවා. මෙත්තානිසංස සූත්‍රයේ ඒ බැව් දක්වා තිබෙනවා. එදිනෙදා ජීවිතයේ කටයුතු පවා හොඳීන් කර ගෙන යෑමට , ශරීරයේ පැහැපත් බව වැඩිවීමට මෙත් වැඩීම උපකාරී වෙනවා. අනුන් රැවටීමෙන් හෝ මුළා කිරීම වැනි කපටි සිතිවිලි ඇතිව මෛත්‍රිය තිබෙන මෙන් ඇඟ වීමෙන් වන හානිය විශාලයි. ඒ නිසා හැම කෙනෙක්ම හැකි පමණින් මෙත් සිතිවිලි උපදවා ගෙන කටයුතු කළොත්, දෙලොවම යහපත් කර ගැනීමට හැකි වෙනවා.

නමෝ තස්ස භගවතො අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි. එවං ඛො භික්ඛවෙ න මෙ තේසු භික්ඛුසු අනුසාසනී කරණීයා අහොසි. සතුප්පාද කරණීය මෙව චෙ භික්ඛවෙ තෙසු භික්ඛුසු අහොසි.තස්මාතීහ භික්ඛවෙ තූම්හෙපි අකුසලං පජහථ කුසලේසු ධම්මෙසු අයොගං කරෙථ.එවං හි තුම්හෙපි ඉමස්මිං ධම්මි විනයෙ වුද්ධිං විරූල්හිං ආපප්ජිස්සථ.”

පින්වත්නි

අද ධර්ම දේශනාවට මාතෘකා කළේ මඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයට ඇතුළත් පළමු සූත්‍රය වන කකචූපම සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවාසය කළ අවස්ථාවකදී මෝලිය එග්ගුණ භික්‍ෂුන් වහන්සේ උදෙසායි මේ සූත්‍රය දේශනා කළේ. බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී නොයෙක් විදියේ ක්‍රම අනුගමනය කරල තියෙනවා. ධර්ම දේශනාව සඳහා ඉලක්ක කර ගත් තැනැත්තාගේ ස්වභාවයට අනුව මේ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා.

ධර්ම දේශනාවේදී උපමා යොදා ගැනීම බුදුරජාණන් වහන්සේගේ එක් දේශනා විලාශයක්. එවැනි උපමා යොදාගත් සූත්‍ර දේශනාවන් දහයක් එකතුකොට “ඕපම්ම වග්ගය “ සකස් කර තියෙනවා. මේ සූත්‍රයට නම යොදා තියෙන්නේ එහි ඇතුළත් වන උපමාව ඇසුරු කර ගෙනයි. කකච කියල කියන්නෙ කියතටය. මේ සූත්‍රයෙන් කියත උපමාවට අරගෙන ධර්ම කරුණු පැහැදිලි කරනවා.

මනා ලෙස සකස් කරන ලද මාර්ගයක, හතරමං හන්දියක, අජානීය අශ්වයින් යෙදූ, කෙවිටක්ද ඇතිව රථයක් නවත්වා තිබෙනවා. අසුන් හික්මවීමෙහි දක්‍ෂ තැනැත්තෙකු පැමිණ මේ අශ්ව රථය ඉදිරියටත් පිටුපසටත්, තමන් කැමති ආකාරයේ රැගෙන ගොස් තමන්ට වුවමනා තැනට ළගා වේ. මහණෙනි! එමෙන් ඒ භික්‍ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවීය. සිහි ඉපදීම පමණක්ම ප්‍රමාණවත් විය. එබැවින් ඔබලාත් අකුසලය දුරු කරවු, කුසල ධර්මයන්හි යෙදෙව්. එසේ වු විට ඔබලා මේ ශාසනයේ අභිවෘද්ධියට, විපුල බවට පත්වේ, යනුවෙන් උන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට වදාළහ.

තවත් උපමාවක් ගෙනහැර දක්වන බුදු හාමුදුරුවෝ, නියම් ගමක මහා සල් උයනක් තිබෙනවා. සමහර ගස්වල පිලිල බෝ වෙලා. මෙය දුටු එක් පුරුෂයෙක් පිළිල ඉවත් කොට ගස් ආරක්‍ෂා කර ගතයුතු යැයි සිතා, ආයුධයක් ගෙන පිළිල ඉවත් කරනවා. ඒ නිසා ඒ සල් ගස් මනාලෙස පෝෂණය වෙනවා. මේ උපමාව දක්වා එපරිද්දෙන් අකුසලය දුරු කළ යුතු බවත්, කුසලය වැඩිය යුතු බවත් දේශනා කරනවා.

පින්වත්නි,! ඉන් පසුව තමන් වහන්සේ පෙර ඇසූ කථාවක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට සිහිපත් කරනවා. පෙර වේදේහිකානම් ගෘහපතිනියක් සිටියා. ඇය ඉවසිලිවන්තයි.

සන්සුන් සිතක් ඇතැයි, නිරහන් කාරයැයි ප්‍රසිද්ධියකට පත්ව සිටියා. මේ නිවසේ එක් සේවිකාවක් තම ස්වාමි දියණිය පරීක්‍ෂා කළ යුතුයැයි සිතා, එක් දිනක් හිතා මතාම තරමක් ප්‍රමාද වී අවදි වෙනවා. ගෘහපතිනිය කේන්ති ගෙන, අර දාසියට දොස් කියනවා. දාසිය හිතනවා “ මගේ ස්වාමි දියණිය තමන් තුළ තිබෙන කෝපය මුදාහළ බව “ යළිත් දවසක ඊට වඩාත් තරමක් පමා වී අවදි විය යුතු යැයි ඇය සිතනවා.

සිටු දියණිය පෙරදාට වඩා නපුරු ලෙස දාසියට එදා බැණ වැදුනා. තවත් දවසක එලෙසින්ම පමා වී අවදි වීම නිසා, දාසියට දොර පොල්ලක් ගෙන පහරදීමට පටන් ගත්තා. ඒ වෙලාවේදී දාසිය, සිටු දියණියගේ අගුණ කිය කියා කෑගැසුවා. මේ කථාව දක්වන බුදු හාමුදුරුවෝ භික්‍ෂූන් වහන්සේ තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට ඉතා හොඳ මගක් කියා දෙනවා.

යම් භික්‍ෂුවකට හිත නොරිදෙන, කේන්ති ගැනීමට තරම් නොවෙන වචන ඇසෙන තුරු උන් වහන්සේ සිල්වත් කෙනෙකැයි, ගුණවත් කෙනෙකැයි අනෙක් අය සිතන්නට පුළුවන. එහෙත් හිත රිදෙන, වේදනා ගෙනදෙන වචන ඇසෙනවිට ඉන් කලබල වී, කෝප නොගෙන යම් භික්‍ෂූවකට සිටිය හැකිනම්, ඒ භික්‍ෂුව සැබවින්ම ශාන්ත වූ කෙනෙකි. සුවච කෙනෙකි. තමා වෙත හිත නොරිදෙන වචන අසන්නට නොලැබෙන විට, සංවර බවක් පෙන්වා දෙන භික්‍ෂුව සැබැවින්ම ගුණ යහපත් ඇත්තෙකැයි මම නොකියමි. තවත් උපමා කීපයක් යොදාගෙන බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට උපදෙස් දෙනවා.

උදැල්ලක් හා කූඩයක් ගත් මිනිසෙක්, “ මේ පොළොව නොපොළොවක් කරමියි “ පොළොව කොටා පස් ගොඩ කරන්නේ නම්, ඔහුට එය කළ හැකිදැයි උන් වහන්සේ ප්‍රශ්න කළා. භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දෙනවා ඔහුට එය කළ නොහැකි බව ඊට හේතුව මහ පොළොව විශාලයි. ගැඹුරුයි. මහණෙනි! යම් යම් උදවිය ඔබලාට කාලයෙහි හෝ අකාලයෙහි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් ආදි වශයෙන් නොයෙක් විදියෙන් කතා කරයි. ඒ වෙලාවන් වලදී මොන විදියේ කතා කිව්වත්, මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැයි” කියන වීර්යයෙන් කටයුතු කළ යුතුයැයි වදාළා.

හරියට මහපොළොව වගේ නොසැලී සිටිය යුතු බව දේශනා කළා. විවිධ පාට ඇති සායම් බාල්දි කීපයක් ගත් කෙනෙකු, අහසේ විසිතුරු සිතුවම් අඳීන්නේ යැයි සිතා කටයුතු කරයි. එමෙන්ම තවත් කෙනෙක් තණ හුලක් දල්වාගෙන මේ තණ හුලෙන් ගංගානම් ගඟ උණු කරන්නෙමියි කියා තණ හුල දල්වයි. ඔහුට එය කළ හැකිදැයි ප්‍රශ්න කරයි. මේ කිසිවක් කළ නොහැකි යැයි භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දුන්නා. අහස වගේ, ගංගානම් ගඟවගේ භික්‍ෂූන් වහන්සේ ද මොන විදියේ බාධක ආවත් නොසැලී සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා.

අවසානයට දැක්වෙන්නේ කකචූපමාවයි මිනිසුන් දෙදෙනෙක්, දෙපස දඩු ඇති කියතක් ගෙන, තම ශරීර අවයව කපයි නම්, ඒ වෙලාවෙදිත් සිත වෙනසකට පත් නොකරගෙන මෛත්‍රී සිතෙන්ම කෙනෙකුට සිටිය හැකි නම්, ඔබලාට එය හිත පිණිස, සැප පිණිස හේතු වන බව වදාළා.

මේ සූත්‍රයේ එන කරුණු වලට අනුව මෛත්‍රි කළයුතු ආකාරය පැහැදිලි කර දෙන අතර, මෙත් වැඩීම කෙතරම් අමාරු කාර්යක්ද යන්නත් පෙන්නුම් කරනවා. පින්වත්නි! මෛත්‍රී සිතක් පහළ කර ගැනීම කෙනෙකුට කළ හැකි නම් එහි ආනිශංස රැසක් තියනවා. මෙත්තානිසංස සූත්‍රයේ ඒ බැව් දක්වා තිබෙනවා.

එදිනෙදා ජීවිතයේ කටයුතු පවා හොඳීන් කර ගෙන යෑමට , ශරීරයේ පැහැපත් බව වැඩිවීමට මෙත් වැඩීම උපකාරී වෙනවා. අනුන් රැවටීමෙන් හෝ මුළා කිරීම වැනි කපටි සිතිවිලි ඇතිව මෛත්‍රිය තිබෙන මෙන් ඇඟ වීමෙන් වන හානිය විශාලයි. ඒ නිසා හැම කෙනෙක්ම හැකි පමණින් මෙත් සිතිවිලි උපදවා ගෙන කටයුතු කළොත්, දෙලොවම යහපත් කර ගැනීමට හැකි වෙනවා. මේ ධර්ම දේශනාවේ ඇතුළත් කරුණු යළි මෙනෙහි කොට තමන්ටත් අනුන්ටත් හැකි හැම විටකම මෙත් සිත පතුරුවා ජීවත් වීමට අදිටන් කර ගනිමු.

ඔබට දළදා හිමි සරණයි!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.