Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය සමග සමබරව භාවනාව පවත්වා ගැනීම

අපි මේ ධර්මයේ හැසිරෙන්නේ කුමක් පිණිසද?.සැනසීම උදා කර ගැනීම පිණිසයි. අපි ධර්මයේ හැසිරීම පිණිස කාලයක් ගත කරලත්, අපිට සිතූ සැනසීම ලැබෙන්නේ නැත්නම්, අපි කළ කටයුතු ක්‍රමානුකූල සිදු වෙලා නෑ. ඒ නිසා තමයි ඒ සැනසීම නො ලැබෙන්නේ . ඒ නිසා ඔබලාත් උදේ, දහවල්, හවස මේ කාලය තුළ ක්‍රමානුකූල ව ධර්මයේ හැසිරීමට පුරුදු වන්න.

අපි කථා කරමින් සිටියේ පඨම පාපණික සූත්‍රයේ අඩංගු විශේෂ දහම් කරුණු පිළිබඳ ව යි. ඒ සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කියා දෙනවා. “ පින්වත් මහණනි, කාරණා තුනකින් යුතු වෙළෙන්දා නො ලැබූ භෝග සම්පත් ලබන්ට ත් ලැබූ භෝග සම්පත් වැඩි දියුණු කර ගන්ටත් සුදුස්සෙක් වෙනවා. ඒ කවර කාරණා තුනක් ද? පින්වත් මහණනි, මෙහි වෙළෙන්දා පෙරවරු කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙනවා. ඒ වගේම මධ්‍යහ්න කාලයේත් ක්‍රමානුකූල ව තමන්ගේ කර්මාන්ත කටයුතුවල යෙදෙනවා. සවස් කාලයේත් ක්‍රමානුකූල ව තමන්ගේ කර්මාන්ත කටයුතු වල යෙදෙනවා. පින්වත් මහණනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු වෙළෙන්දා නො ලැබූ භෝග සම්පත් ලබන්ට ත් ලැබූ භෝග සම්පත් වැඩි දියුණු කර ගන්ටත් සුදුස්සෙක් වෙනවා. “

භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. “අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණනි. කාරණා තුනකින් යුතු භික්ෂුවක් නො ලැබූ කුසල් දහම් ලබන්නටත්, ලැබූ කුසල් දහම් වැඩි දියුණු කරගන්ටත් සුදුස්සෙක් වෙනවා.

කවර කාරණා තුනකින් ද? පින්වත් මහණනි, මෙහි භික්ෂුව පෙරවරු කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ සමාධි නිමිත්තෙහි යෙදෙනවා. මධ්‍යාහ්න කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ සමාධි නිමිත්තෙහි යෙදෙනවා. සවස් කාලයේ ක්‍රමානුකූල ව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු භික්ෂුව නො ලැබු කුසල් දහම් ලබන්ට ත්, ලැබූ කුසල් දහම් වැඩි දියුණු කරගන්ටත් සුදුස්සෙක් වෙනවා.

එතකොට බලන්න මේ ධර්මයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම්, ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න නම්, ක්‍රමානුකූලව අපි අපේ ජීවිතය ධර්මයේ හැසිරීම පිණිස භාවිතා කළ යුතුයි. පාවිච්චි කළ යුතුයි. එහෙම නැත්නම් අපි ජීවිතය වැඩක් නැති දේට යොදා ගන්නවා. එතකොට අපි යමක් කළත් ඒ කළ දෙයින් අපි අපේක්‍ෂා කළ සැනසීම ලැබෙන්නේ නෑ.

අපි මේ ධර්මයේ හැසිරෙන්නේ කුමක් පිණිසද?. සැනසීම උදා කර ගැනීම පිණිසයි. අපි ධර්මයේ හැසිරීම පිණිස කාලයක් ගත කරලත්, අපිට සිතූ සැනසීම ලැබෙන්නේ නැත්නම්, අපි කළ කටයුතු ක්‍රමානුකූල සිදු වෙලා නෑ. ඒ නිසා තමයි ඒ සැනසීම නො ලැබෙන්නේ . ඒ නිසා ඔබලාත් උදේ දහවල් හවස මේ කාලය තුළ ක්‍රමානුකූල ව ධර්මයේ හැසිරීමට පුරුදු වෙන්න. එතකොට තමාට ම තමාගේ ජීවිතයේ පාලනයක් තියෙනවා. කලක් යද්දී ස්වයං පාලනයක් තුළට තමන් එනවා.

එතකොට තමන්ට කරන්න දෙයක් තියෙනවා. ඒ නිසා ම තමන් උදේ අවදි වෙන්න ඕනෑ. ඇයි තමන්ට කරන්න දෙයක් තියෙනවා නේ. තමන්ට කරන්න දෙයක් නැත්නම් උදේ අවදි වෙන්න හිතෙන්නේ නෑ. කම්මැලි වෙනවා. දවල්ට කරන්න දෙයක් තමන්ට නැත්නම් ඒ දවල් කාලේ කතා කර කර ඉන්නවා. හවස් කාලයේ කරන්න දෙයක් නැත්නම් සවස් කාලෙත් කතා කර කර ඉන්නවා.

අන්තිමට මුකුත් නෑ. ඒ නිසා අපිට කරන්න දෙයක් තියෙනව නම්, අපි ඒ කටයුත්ත වෙනුවෙන් අපේ ජීවිතය කැප කරනවා. ඒ නිසා ම හිතේ පිරිහීම ඇති කරවන්නා වූ අනවශ්‍ය දේවල් වලට හිත යෙදවෙන්නෙ නෑ. ඒ නිසා උදේ කාලයේ දහවල් කාලයේ සන්ධ්‍යා කාලයේ මේ දවස පුරාම, ඒ කාලයෙන් ප්‍රයෝජනය ගන්න අපි පුරුදු වෙන්න ඕනෑ. දැන් ම අපි මේ දේවල් පුරුදු නොවුණොත් අපිට පස්සේ බෑ. පස්සේ බැරි ඇයි අපි නුසුදුසු රටාවකට හුරු වුණොත් ඒ රටාව වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා අපි දැන්ම ම සුදුසු රටාවකට අනුව ක්‍රමානුකූල ව අපේ ජීවිතය හැඩ ගසා ගන්න ඕනෑ. ඒ නිසා අපි යම් භාවනාවක් කරනවා නම්, උදේත් කරන්න, දවල් කාලයේ දි ත් කරන්න බලන්න. සවස් කාලයේ දීත් කරන්න. මුල ඉදන්ම ඒ දේ පුරුදු වෙන්න ඕනෑ. එතකොට ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා.

දැන් සමහර වෙලාවල් වල දී අපිට කරන්න බෑ වගේ තේරෙයි. එතකොට මොකද අපි කරන්නේ? බොහෝ දෙනෙකුට මේ වෙලාවේ බෑ, පස්සේ කරන්නම්, කියලා හිතෙනවා නේ ද? අන්න ඒ වගේ දේකට තමයි අපේ හිත නැමෙන්නේ. නමුත් එහෙම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. ඒ වෙලාවේ දී අපි යම් විදිහයකින් උත්සාහයක් ගන්න ඕනෑ. එතකොට යම් ප්‍රමාණයකින් අපේ හිත ඉස්සරහට යනවා.

ඒක මේ වගේ දෙයක්. හිතන්න අපි දුෂ්කර ගමනක් යනවා කියලා. ඉතාම දුෂ්කර මාර්ගයක ගමනක් යනවා. එතකොට අපිට සමහර වෙලාවල දී පල්ලම් බැහැලා යන්න අවස්ථා එනවා නේද? එතකොට අපි වේගයෙන් යනවා. සමහර වෙලාවල දී තැනිතලාවේ යනවා. අන්න ඒ විදියට ගමනක දී පල්ලම් අහුවෙන්න පුළුවන්, තැනිතලාව අහුවෙන්න පුළුවන්, කඳු අහුවෙන්න පුළුවන්. එතකොට තැනිතලාවක දී ඒ කෙනා ඉතා සුව පහසුවෙන් යනවා. වට පිට බල බලා යන්න පුළුවන්. දැන් පල්ලමක් අහුවෙනවා. අපිට අර කලින් තැනිතලාවේ ගිය විදියට පුළුවන් ද යන්න? දැන් වට පිට බල බලා යන්න පුළුවන්ද? බෑ . ඇයි ඒ? අවදානමක් තියෙනවා. එහෙනම් එතන දී අපි ඉතා ම සීරු මාරුවෙන් ඒ ගමන යන්න ඕනෑ.

දැන් ඉතින් පල්ලම කියලා නිකන් ඉඳලා හරි යනව ද? එහෙම බෑ. සීරුමාරුවෙන් අපි ගමන යන්න ඕනෑ. දැන් ඔහොම යනකොට කන්ද හම්බවෙනවා. දැන් අර තැන්නේ ගිය විදියට පුළුවන් ද කන්දේ යන්න? බෑ නේ ද දැන් ඉතින් කන්ද වැඩියි, මට බෑ ... කියලා අපි ඉඳගෙන හිටියොත් මොකද වෙන්නේ ? ගමන එතනින් ඉවරයි.

අන්න ඒකයි මේ කියන්නේ...මේ හිත උදේ වරුවට වෙනස්. දහවල් කාලයේ ඊට වැඩිය වෙනස්. රාත්‍රී කාලයේ ඊට වැඩිය වෙනස්. එහෙනම් ඒ උදේ දහවල් රාත්‍රි ඒ හැම වෙලාවක දීම අපි මේ හිත යම් සමාධි නිමිත්තක් සඳහා පුරුදු කළ යුතුයි. එහෙම නැත්නම් අපිට ඒක බලවත් කර ගන්න බැරිව යනවා.

භාවනාවෙන් අපි කරන්නේ මේ හිත සකස් කරන එක. දැන් යම් කෙනෙක් දහවල් කාලයේ භාවනා කරනවා. උදේට කරන්නෙ නෑ. එතකොට අපිට නො ලැබු කුසල් දහම් ලබා ගන්න බැරිව යනවා. ලැබුණු කුසල් දහම් පිරිහිලා යනවා. දියුණු කරන්න බැරිව යනවා.

ඒ නිසා අපි පොඩි වෙලාවක් හරි කමක් නෑ. උදේ දහවල් හවස රාත්‍රිය කියන ඒ කාලවල දී භාවනාව හුරු කරන්න. ගොඩක් වෙලාවට සමහරු උදේට කම්මැලි වනවා. භාවනා කරන්න හිතෙන්නෙ නෑ. දැන් අමාරු යි කියලා හිතෙනවා. නමුත් අපි වෑයම් කරන්න ඕනෑ.

ගමනක් යනකොට කන්දක් මුණ ගැහුණොත් අපි දහඩිය දා, හිමින් හිමින් හැරමිටියක් ගහ ගහ හරි යනවා. එතකොට යම් වෙලාවක අපට පුළුවන්කම ලැබෙනවා ඒ කන්ද ගෙවලා දාන්න නේ ද? හැබැයි ඒක වෙහෙස යි අතිශයින් ම අමාරුයි.

සමහරුන්ට රාත්‍රියට භාවනාව කෙරෙන්නේ නෑ. ඉතින් කෙරෙන්නේ නෑ කියලා එකපාරට ඒක අත්හැරලා දාන්න එපා. උත්සාහයක් ගන්න. ඒ වෙලාවේදී ඩිංග ඩිංග හරි කරගෙන යන්න.

දැන් අපි කෙරෙන්නේ නෑ කියලා හිතන්නේ ඒ වෙලාව සමාධිය වැඩෙන්නෙ නැති නිසයි. අපි හිතමු සමහර අයට දවල් කාලයෙ දී සමාධිය වැඩෙනවා. උදේට වැඩෙන්න නෑ. සමහර අයට රාත්‍රියට වැඩෙන්නේ නෑ. ඉතින් වැඩෙන්නෙ නෑ කියලා අතහරින්න එපා. ඒ වෙලාවේදී ක්‍රමානුකූලව ටික ටික හරි පුරුදු කළොත් හැම වෙලාවේදීම සමාධි නිමිත්ත පවත්තන්න පුළුවන් කලක් එනවා.

අර රියදුරන් කෙලින් පාරේ විතරක් ගියොත් මොකද වෙන්නේ. එයාට වංගු සහිත පාරේ යන්න බැරිව යනවා. එයාට කවදාවත් හොඳ රියදුරෙක් වෙන්න බැරිව යනවා. දවල් විතරක් ඉගෙන ගන්නවා. එතකොට රාත්‍රියට එලවන්න බැරිව යනවා. නමුත් හැම කාලකෙදීම ඒ කටයුත්ත ඒ ගොල්ලො පුරුදු කළොත්, එයා දක්ෂයෙක්, නිපුණ කෙනෙක් බවට පත්වෙනවා.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.