Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිළිපැදිය යුතු සදහම් මාවත

හැම ඉන්ද්‍රියයක්ම සංවරව තබාගැනීම බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. ‘සබ්බත්ථ සංවරො සාධු’ යනුවෙන් ඒ බව දේශිතය. රූපයට වසඟවීමෙන් ගින්නට හසු වී නැසෙන පලඟැටියා මෙන් විනාශයට පත්වන බව ධර්මයෙහි සඳහන් වේ. සෙසු ඉදුරන් පිළිබඳවද එසේම ය. සත්ත්වයා සසරෙහි රඳවා තැබීම මෙම ඉන්ද්‍රිය අසංවරයෙන් සිදුවේ.
 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සන්තුස්සකෝ ච සුභරෝච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේ සු අනනුගිද්ධෝ

සුපින්වතුනි,

කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් දෙවැනි ගාථාව ඉහත දැක්වේ. උතුම් නිර්වාණධාතුව ප්‍රත්‍යක්ෂ කරගනු ලබන පුද්ගලයා විසින් පිළිපැදිය යුතු මූලික කරුණු අටක් මෙහි අන්තර්ගතව ඇත. එනම් ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළහැකි බව, ස්වල්ප කටයුතු ඇතිබව, සැහැල්ලු පැවතුම් ඇතිබව, සන්සුන් ඉඳුරන් ඇතිබව, ප්‍රඥාව ඇතිබව, උඩගු නැති බව හා කුලයන් කෙරෙහි නො ඇලුණු බව යන මේවාය.

මෙහි සඳහන් කරුණු ශාන්ත පද සංඛ්‍යාත නිවනට පමණක් නොව, ලෞකික ජීවිතයට ද ඉතා අවශ්‍ය ය. යථාලාභ සන්තෝෂයෙන් හෙවත් ලද දෙයින් සතුටුවන පුද්ගලයා සැනසිල්ලේ ජීවත් වෙයි. ඔහුට ගොඩාක් බලාපොරොත්තු නැත.

මෙරමාගේ ධනයට ආශාවක් නැත. තමාට ලැබුණ දෙයට වඩා අනුන් ළඟ තිබෙන දෙයට වඩ වඩා ආශාකරන අත්‍රිච්ඡතාව ඔහු ළඟ නැත. කොපමණ ලැබුණත් සෑහීමට පත් නොවන මහිච්ඡාව ද ඔහු කෙරෙහි නොපවතියි. රන්රිදී මුතු මැණික්, ධන ධාන්‍ය ආදි වස්තුව ගොඩ ගසාගෙන ජීවත්වීමේ ආශාවක් ඔහුට ඇති නොවේ. මෙලොව හොඳින් ජීවත්ව පරලොව යහපත් කරගෙන නිවන ඉලක්ක කරගත් වටිනා ජීවන මාර්ගයක ඔහුට ගමන් කළ හැකිවෙයි. මෙහි දැක්වෙන සුභරතා ගුණයද ජීවිතයට අතිශයින් වැදගත් ය. සුවසේ පෝෂණය කළ හැකි බව මෙයින් අදහස් කෙරේ. භික්ෂුවගේ ජීවිතයට මෙය අනිවාර්යයෙන් බලපාන අතර, ගිහි සමාජයටද ඉතා ප්‍රයෝජනවත් ය. භික්ෂුව සරල චාම් ජීවිතයක් ගතකරන තරමට දායක කාරකාදීන්ට පහසුවෙන් පෝෂණය කළ හැකිවෙයි. අපේක්ෂා බහුලත්වය අසහනතාව ගෙනදෙයි. එයින් ඉච්ඡා භංගත්වයට පත්ව දුකට වැටෙයි. දෙමවුපියා දී වැඩිහිටි කාටත් සුභර ගුණය තිබිය යුතුය. එවිට ඔවුන් දරුවන් විසින් පහසුවෙන් පෝෂණය කැරේ. මානසික අසහන, සිත් නරක්වීම් ආදියෙන් තොරව සතුටින් ජීවත් විය හැකිය. ‘අප්පකීච්ච’ යනුවෙන් දැක්වෙන ස්වල්ප කටයුතු ඇති බවද සහනශීලි ජීවිතයකට ඉතා අවශ්‍යය.

කටයුතු බහුල කර ගැනීමෙන් එකකදු හරියට කළ නොහැකිය. ඔහු කිච්චබහුකරණීය භාවය දියුණුවට වඩා පරිහානියට හේතුවකි. විශේෂයෙන් භාවනා කටයුතුවල යෙදී සිටින යෝගාවචරයන්ට මෙය බෙහෙවින්ම අන්තරායකරය. බාධාකරය. ගාථාවෙහි සඳහන් සිව්වැනි කාරණය වූ ‘සල්ලහුකවුත්ති’ ගුණයද භව ගමන කෙළවර කර ගැනීමට බෙහෙවින් උපකාර වේ. අපමණ බලාපොරොත්තු ඇතිව විසිතුරු දිවියකට ඉවහල් වන නොයෙක් භෞතික වස්තු රැස්කර ගැනීම ආශාව වැඩිවීමට හේතුවකි. මනසට ද කිසිදු විවේකයක් නැත. ගමන බිමන ඉදුම් හිටුම් ආදී හැම ඉරියව්වක්ම අවස්ථාවක්ම සැහැල්ලුවෙන් ගතකරගැනීම දෙලොව යහපතටම ඉදුරා ඉවහල් වේවි. විශේෂයෙන් සන්සුන් මනසක් ඇතිව සීල, සමාධි ප්‍රඥා යන ත්‍රිශිෂාවන් වඩා සසර ගමන කෙළවර කිරීමට මෙම ගුණ වෙසෙසින් උපකාර වේ’

සන්තින්ද්‍රියතාවය ද ඉතා අගනා ගුණයකි. ගාථාවෙහි දැක්වෙන පස්වැනි කාරණය එයයි. තථාගත බුදුපියාණන් වහන්සේ මෙහි අගය බෙහෙවින් වර්ණනා කොට ඇත. සන්සුන් ඉඳුරන් ඇති බව හැම ගුණධර්මයකටම තිබිය යුතු ප්‍රධාන සාධකයකි. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය මන යන ෂඩේද්‍රියක් අප කාටත් ඇත. ඒවාට අරමුණුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් ආරම්මණ සයක් පවතී. එම අරමුණුවලට ඛක්ෂුරාදි ඉන්ද්‍රියන් ගැටෙන විට සිත අසංවර භාවයට පත්වේ. සති, සම්පඡඤ්ඤය අනුව ක්‍රියා නොකිරීමෙන් මුලාවට පත්වේ. හැම ඉන්ද්‍රියක්ම සංවරව තබාගැනීම බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. ‘සබ්බත්ථ සංවරො සාධු යනුවෙන් ඒ බව දේශිතය. රූපයට වසඟවීමෙන් ගින්නට හසු වී නැසෙන පලඟැටියා මෙන් විනාශයට පත්වන බව ධර්මයෙහි සඳහන් වේ. සෙසු ඉදුරන් පිළිබඳවද එසේම ය. සත්ත්වයා සසරෙහි රඳවා තැබීම මෙම ඉන්ද්‍රිය අසංවරයෙන් සිදුවේ.

නිපක යනුවෙන් දැක්වෙන නුවණ ද සසර දිනීමට මෙන්ම මෙලොව දිනීමටත් අත්‍යවශ්‍ය කරුණකි සසරින් එතෙරවීම සඳහා විදර්ශනා ප්‍රඥාව අනිවාර්ය ය. පඤ්චස්කන්ධ සංඛ්‍යාත, නාම -රූප ධර්මයන්හි යථා ස්වභාවය, ඇති තතු දත හැක්කේ මේ විදසුන් නුවණින් සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම පැවතීම හා නැතිවීම, උප්පාද, ඨිති, භංග යන අවස්ථාවන් විනිවිද දැකීමට මෙම නුවණ තිබිය යුතුමය. සබ්බෙ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති’ යනාදි ගාථායෙහි ‘පඤ්ඤ යනුවෙන් ද චිත්තං පඤ්ඤ තාවයට යන තැන්හි පඤ්ඤී යනුවෙන් ද දැක්වෙන මෙකී විදර්ශනා ප්‍රඥාවම යි.

නිපක යනුවෙන් මෙලෙසින් අදහස් කෙරෙනුයේ ‘පාරිහාරිය’ නුවණයි. එය ලෞකික හැම කටයුත්තකදීම අප කාටත් තිබිය යුතු ප්‍රධාන සාධකයකි. එදිනෙදා සිදුකරනු ලබන කාර්යයන් සාර්ථක කර ගැනීම විශේෂයෙන් මෙම නුවණ තිබිය යුතුමය. එසේ නොමැති වූවොත් කිසිදු කටයුත්තක් සඵල කරගත නොහැකි ය. පුද්ගල භේදයකින් තොරව හැම ක්‍ෂේත්‍රයකම නියැලී සිටින සැමටම මෙය වැදගත් වේ. විද්‍යාඥයන්ට විශේෂයෙන් මෙම නුවණ යොදා ඉතා සාර්ථක නිර්මාණයන්, ගවේෂණයන් කළ හැකිවෙයි. එමගින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකිවෙයි.

‘හිත, කය, වචනය යන තිදොරින් සිදුවන ප්‍රශල්භගතිය හෙවත් අහංකාර ගතිය බුද්ධාදි ආර්යන් වහන්සේලා විසින් ප්‍රතික්ෂිපත වූවක්. උන්වහන්සේලා අගයනුයේ ‘අප්පගබ්භ’ භාවයයි. ඉහත සඳහන් ගාථාවේ සත්වැනි ගුණය වශයෙන් මෙය දැක්වේ. හැඩිදැඩි අසංවර ගතිය නොමැතිව ශාන්ත නිරහංකාර නම්‍ය ස්වරූපී භාවය සෑමදෙනා විසින්ම පි‍්‍රය කරනු ලබන්නකි. එක් අතකින් පුගල්භ තාවය මානය වැඩීමට හේතුවක් වෙයි. එය නිවනට ඉදුරා බාධාවකි. ලෞකික කටයුතු වලදී ද මෙය හානිකර වෙයි. කුලය, ධනය, බලය, උගත්කම ආදිය ගැන සිතා ඇතැම්හු මෙකී දුර්ගුණය තම ජීවිතයට ළංකර ගනිති. එය බොහෝ දෙනාගේ අපහාසයට විනා ඔවුන්ට යහපතකට හේතු නොවේ. කුලේසු අනනුගිද්ධෝ යනඅටවැනි ගුණයද නිවන්මගට පිළිපන් අය විසින් අත්හළ යුතුය. එනම් කුලයන් කෙරෙහි ඇලී ගැලී වාසය කිරීමය.

විශේෂයෙන් මෙය භික්ෂූන් වහන්සේ විසින් තදින් පිළිපැදිය යුතු කරුණකි. විනය ශික්ෂාපද නොසලකා හැර කුලයන් කෙරෙහි අනවශ්‍ය ලෙස සම්බන්ධතා ඇති කරගෙන ලාභ කීර්ති ප්‍රශංසා ලබමින් වාසය කිරීම ආදීනවයක් විනා ආනිශංසයයක් නොවේ. ඒ ඒ පුද්ගලයන් කෙරෙහි මෙන්ම කුලයන් කෙරෙහි අනවශ්‍ය පරිදි සම්බන්ධතා පැවැත්වීමෙන්, ඒ පිළිබඳව නිතර ඇලී ගැලී වාසය කිරීමෙන්, ගිහි සමාජයට වුවද සිදුවිය හැක්කේ අර්ථයට වඩා අනර්ථයක්මය.

මෙම කරුණු පිළිබඳව යෝනිසො මානසිකාරයෙන් යුතුව කටයුතුª සිදුකොට උතුම් අමා නිවන් සුව පසක්කරගන්නා ලෙස කරුණාධ්‍යාශයෙන් අනුශාසනා කරමි.

සියලු සත්ත්වයෝ

නිදුක් වෙත්වා!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.