Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි මහ නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාව මගින් පින්කම් රැසක්

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අසූ එක් වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට දිගාසිරි පතා දඹුල්ල, දෙහිප්පාව රාජමහා විහාරයේදී සමාජ සත්කාරයන් රැසක් සිදු කැරිණි. මාසිකව ආර්ථික දුෂ්කරතා ඇති ගම්මාන පාසල් හා විහාරස්ථාන මුල්කරගෙන දිළිඳු ජනතාවට පාසල් දරුවන්ට ආබාධිත රෝගීන්ට සහන සැලසීමේ අටියෙන් දියත්කර ඇති මෙම සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම මගින් සිදුකරනු ලබයි.


අස්ගිරි මහ නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා  කිහිළිකරු බෙදා දුන් අවස්ථාව.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන දායක සභාවේ පූර්ණ දායකත්වයෙන් සෑම මසකම එම සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පසුගියදා එම වැඩසටහන දඹුල්ල පාලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිප්පාව රාජමහා විහාරයේදි සිදුකෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනමේ සභාපති අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමිපාණන් වහන්සේ සහභාගි වූහ. මෙහිදී ඇවිදීමට වාරුනැති ඔත්පලව සිටින රෝගීන් දහදෙනෙකු හට නවීන පහසුකම් වලින් යුත් රෝදපුටු හා කිහිලිකරු රැසක් මහානාහිමියන් අතින් ප්‍රදානය කෙරුණු අතර තෝරාගත් අඩු ආදායම් ලාභී ගොවිපවුල් විසිනමයක් සඳහා මරණයට කැපවූ ගවයින් ගව ඝාතකාගාර වලින් බේරා කිරි එළදෙනුන් 29 දෙනෙකු ගොවිපවුල් අතර බෙදාදීමද අස්ගිරි මහානාහිමියන් අතින් සිදු කැරිණි. දඹුල්ල හල්මිල්ල විද්‍යාලයේ දී දූදරුවන් එකසිය පනස් දෙනෙකුට පාසල් නිල ඇඳුම්, පාසල් බෑග් හා පාසල් උපකරණ මෙහිදී බෙදා දුන්හ. දෙහිප්පාව රාජමහා විහාරයේ දහම් පාසල් දරුවන්ට හා එම විහාරයේ මූලික පිරිවෙනේ සාමණේර හිමිවරුන් උදෙසා පොත්පත් බෙදාදීමද මහානාහිමියන් අතින් සිදුකෙරුණි. එමෙන්ම පාසල් , දහම් පාසල්, ගුරුවරුන් සදහා වතුර පෙරෙන උපකරණ බෙදාදීමද සිදුවිය. එදින පෙරවරු කාලයේ සිට දඹුල්ල දෙහිප්පාව හල්මිල්ල වැව ගම්වාසීන් උදෙසා වෛද්‍ය රංජිත් බුලත්සිංහල මහතා හා එම මහත්මිය විසින් රෝගීන් පරික්‍ෂාකර බෙහෙත් ලබාදීමේ වෛද්‍ය කඳවුරක්ද පවත්වන ලදී.

මෙහිදී විශේෂ අනුශාසනාවක් කල අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියෝ ආර්ථික දුෂ්කරතා ඇති මෙබඳු ගම්මාන හා විහාරස්ථාන වෙත පැමිණ උපකාර කිරීම උදාරතර පිංකමක් බවත් තමන්ට පුළුවන්කම, හැකියාව, ශක්තිය තිබුණත් ඒ හැම දෙනාටම අනුන්ට උපකාර කිරීමට සිත නොහැගෙන බවත් දුක කාටත් සාධාරණ දෙයක් වුවත් දුක් විදින ජනයාට උපකාර කිරීමට යම් ධනවතෙකුට සිත් පහල වන්නේ නම් එය බෝධි සත්ව අදහසක් බවත් කොළඹ සම්බෝධී විහාරයේ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් ප්‍රධාන දායක පින්වතුන් මේ සිදුකළ සත්කාරය තමන්වහන්සේ අතිශයින් අගය කරණ බවත් මේ සඳහා සහය දැක්වු සෑම දෙනාටම පින්පෙත් පුදන අතර ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාදය සැළසේවායි ප්‍රාර්ථනා කරන බවත් පැවසූහ.

එම අවස්ථාවට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විද්‍යාලාධිපති අස්ගිරි මහා විහාරකාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල නාහිමියෝ මෙසේ පැවසූහ.

මිහිඳු මාහිමියන් වහන්සේගෙන් පැවතගෙන එන මහාවිහාර සඝ පරපුර අනුරාධපුරයෙන්, පොළොන්නරුවට, දඹදෙණියට, මහනුවරට , රාජධානි මාරුවීමත් සමග පැමිණි අස්ගිරි සංඝ පරම්පරාව ඉපැරණිම සඟ පරපුර බවත් මුල් යුගයේ ආරණ්‍යවාසිව කටයුතු කළ උන්වහන්සේලා වසර දහස් ගණනක් ශාසනයේත් ජාතියේත් යහපත උදෙසා උදාර සේවයක් සිදුකර ඇති බවත් වර්තමාන අස්ගරි පාර්ශ්වයේ මහානායක පදවිය හොබවන අති පූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ මහා විහාරයටත් අස්ගිරි පාර්ශ්වයටත් මහත් ගෞරවයක් කීර්තියක් ලබා දී ඇති අතර මෙරට පමණක් නොව ජාත්‍යන්තරවද විශාල ගෞරවයකට උන්වහන්සේ පත්ව ඇති බවත් පැවසූහ. උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් මහානාහිමියන්ගේ ශිෂ්‍යයෙක් වන කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් සිදු කරණු ලබන මෙම සත්කාරය අස්ගිරි මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අති මහත්සේ අගය කරන බවත් දරණාගම කුසලධම්ම හාමුදුරුවන් වහන්සේ කොළඹ සම්බෝධි විහාරය තුළින් විශේෂයෙන් බෞද්ධයා රූපවාහිනි නාලිකාව තුළින් මෙරට පමණක් නොව පිටරට රටවල් හතළිස් ගණනකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරළීම සඳහා කරණු ලබන උදාර ශාසනික මෙහෙය අතිශයින් අගය කළ යුතු ප්‍රශංසා කළ යුතු දෙයක් බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අනුශාසනයක් කල අස්ගිරි මහා විහාර පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ පරිත්තං පටිපජ්ජන යන බුද්ධ වචනය අර්ථවත් කරමින් අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කිරීම සත් පුරුෂයින්ගේ ලක්ෂණයක් බවත් තරුණ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් දරණාගම කුසලධම්ම හාමුදුරුවන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහ නා හිමියන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන කරණු ලබන මෙම සමාජ සත්කාර වැඩ සටහන් සියල්ලක්ම ඉතා උදාරතර මහා පිංකමක් බවත් පැවසූහ.

මෙහිදි දඹුල්ල පාලාගල ප්‍රාදේශීය ලේකම් සුසන්ත ජයතිලක මහතා ස්තුති කථාව සිදුකළ අතර දෙහිප්පාව රාජමහා විහාරාධිපති කඳානේ සද්ධානන්ද හිමියන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කළ අතර මේ අවස්ථාවට පළාත් වාසි මහා සංඝරත්නය හා කොළඹ සිට පැමිණි සම්බෝධි විහාරයේ දායක පිරිස අතර මහනුවර සිටි සෙන්ටර් අධිපති තුසිත් විජේරත්න , ජෙනරාල් නීල් ඩයස් , වෛද්‍ය රංජිත් බුලත්සිංහල යන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.