Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අවුරුද්ද යි සිරිතයි-විරිත යි

අවුරුදු චාරිත්‍ර අතර දකින්නට ලැබෙන විශේෂම සදාචාරාත්මක වටිනාකම වන්නේ බාලයන් විසින් තම වැඩිහිටියන්ට මවු පියන්හට බුලත් හුරුළු දී වැඳ කමා කරවා ගැනීමයි.බුදු සමයේ මාතෘ පිතෘ පූජාව අගය කැරෙන්නකි. මවු පිය වන්දනාව, සැලකීම මංගල කරුණක් ලෙසත් දක්වා ඇත.

සොබා දහමේ අසිරිය අසිරිමත් කරන ලද්දේ ඉරු සඳුය. ගහකොළය. ඉපැරණි මිනිසා ගහකොළ ඇළ දොල ඉරු සදු දේවත්වයෙන් සලකන ලදී. ඒ නිසාම සොබා දහම ආරක්‍ෂා වී මිනිසුන්ට කලට වෙලාවට වැසි ඵල ලබමින් අටු කොටු පුරවාගෙන සතුටින් විනෝදයෙන් දැහැමි සිතුම් පැතුම් අනුව ක්‍රියා කරන්නට ද අවස්ථාව උදා විය.

සිංහළ අලුත් අවුරුද්ද යනු තුන්සිය හැටපස් දවසක් ඉකුත් වීමෙන් ඉරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම ලෙස සලකනු ලබයි. එකී සූර්ය වන්දනාව අනාදිමත් කලක සිට මිනිසුන් පවත්වන ලදී. ඒ හා බැඳුනු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් ද පවතී.ඒ සියල්ල බෞද්ධ හින්දු ආගමික චින්තාවන් සමග ද කැටි වී ඇත.එය ජාතික සමගියට ද මග පාද යි. ආගමික සහජීවනය ට ද හේතු පාදක වේ.

කෘෂි ආර්ථික රටාවක් ඇති හෙළයේ මිනිසුන් ගොයම් කපා ගෙට ගෙන අටු කොටු පුරවාගෙන භාග්‍යවන්ත මාසයේ දී සූර්ය වන්දනාව මුල් කර ගනිමින් පවත්වනු ලබන අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර අතර අලුත් අවුරුද්ද සඳහා වැඩ අත්හැරීම, ගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ඉස තෙල් ගෑම, ස්නානය කිරීම, නව වසරේ රැකියාවන්ට යෑම ඒ අතර වේ.

ගම්බද මිනිසුන් අලුත් අවුරුදු උදා වීම නිමිත්තෙන් තම ගේ දොර ගොම මැටි ගා හුනු පිළියම් කොට වත්ත ඉඩම කඩම පිරිසුදු කොට ළිඳ ඉස පාරිසරික වශයෙන්ද අලුත් බවක් ඇති කර ගනු ලබයි. නව වසරේ චාරිත්‍ර අතර මුල්ම චාරිත්‍රය වන්නේ නානුමුර මංගල්‍යයයි. නැකතට ඉස්සෝදා ගනු ලබයි.එය අවුරුදු උදාවට දින දෙක තුනකට කලින් ම සිදුවේ. අවුරුදු සීට්ටු බෙදීම ද දින ගණනාවකට පෙර සිදු කරනු ලබයි.

පරණ අවුරුද්දේ වැඩ අත්හැරීමත් සමගම උදා වන්නේ නොනගතය හෙවත් පුණ්‍ය කාලයයි. මේ කාලය නැකත් නොමැති වෙලාව බැවින් නපුරු වෙලාවක් සේ ද සලකනු ලබයි.එම නිසාම එම කාලය තුළ වෙහෙර විහාරස්ථාන වලට ගොස් ආගමික කටයුතු වල නිරත වනු ලබයි. එමගින් තම දිවි මැදුර ලස්සන කර ගන්නට පින්සිදු කිරීමේ භාග්‍යමත් අවස්ථාව උදා වේ. මෙම අවස්ථාවේ සිදු කරනු ලබන පුණ්‍ය කටයුතු තුළින් විශේෂ ආශිර්වාදයක්ද ඇති වන බව මිනිසුන් විශ්වාස කරනු ලබයි.

අවුරුදු සංක්‍රාන්තිය උදා වෙත්ම රතිඤ්ඤා හඬ ඝණ්ඨා නාදය තුලින් අලුත් අවුරුද්ද උදා වූ බව කියයි. නැකතට ලිප මොළවා කිරිබත් පිස ආහාර ගැනීමේ නැකත උදා වූ විට ගෙදර සියල්ලෝම එක්වී අනුභවය හා ගනු දෙනු කරනු ලබයි. මෙම අවස්ථාව විශේෂ අවස්ථාවක්ද වන්නේ ගෙදර සියල්ලෝම හා විශේෂ ආරාධිතයෙකුද සහභාගි වීමයි. වැඩ අල්ලන අවස්ථාවේදී වැඩිහිටියන් වටිනා පැළ සිටුවන අතර කුඩා දරුවන් පොත පත කියවීම ලිවීම සිදු කරනු ලබයි.

අවුරුදු චාරිත්‍ර අතර දකින්නට ලැබෙන විශේෂම සදාචාරාත්මක වටිනාකම වන්නේ බාලයන් විසින් තම වැඩිහිටියන්ට මවු පියන්හට බුලත් හුරුළු දී වැද කමා කරවා ගැනීමයි.බුදු සමයේ මාතෘ පිතෘ පූජාව අගය කැරෙන්නකි. මවුපිය වන්දනාව, සැලකීම මංගල කරුණක් ලෙසත් දක්වා ඇත. එමනිසාම අපේ මව්පියන් ද දරුවන්ද පැමිණ තුන්සිය හැට පස් දවසක් නිකුත් වන දවසේ බුලත් හුරුල්ලක් තමාට දී කමා කරවා ගනීවි යැයි සිතන්නේ ය. එය දරුවන් පැහැර හැරියහොත් මවුපියෝ අතිශය දුකට වේදනාවට පත් වීම නොවැලැක්විය හැකිය.අපේ මහාබෝසතාණන් වහන්සේ මාතුපෝෂක ජාතකය සාම ජාතකය ආදී ජාතක කථා මගින්ද මවු පිය වන්දනාව අගය කර ඇත. එය දියුණුවට හේතුවන අතර ගුණවතුන්ට වැඩිහිටියන්ට වන්දනා මාන කිරීම ආයු වර්ණ සැප බල වර්ධනයටද හේතු වේ. ලෝකයේ කිසිදු රටක මවු පියන්ට ගාථා දෙකක් කියා වන්දනා කරන්නේ නැත. එය මේ සිංහල රටේ සිංහළ දරුවන් විසින්ම ඉටු කරන්නකි.මේ සිරිත් විරිත් සමාජ යහ පැවැත්ම සඳහා මහෝපකාරී වන බැවින් අනාදිමත් කලක සිට පවත්වාගෙන ඒ තුළින් එහි ඇති සජීවී බව සුරක්‍ෂිතව ඇත. මේවා අද වෙනදාට වඩා ආරක්‍ෂා කරගත යුතු වේ.

අවුරුදු කාලය උදා වෙත්ම අපට ම ආවේණික වූ ක්‍රීඩා රාශියක්ද දකින්නට අවස්ථාව උදා වේ. ඒ මගින් පාලුව කාන්සිය පහව යන අතර නැවුන් බවක් අලුත් බවක් සමගින් සමගිය සතුට එකමුතු බව සහයෝගය එක් කරවනු ලබයි.

අවුරුදු චාරිත්‍ර අතර හිස තෙල් ගෑමද සෞඛ්‍ය හා බැඳුනු ක්‍රියාවකි. එය නිරෝගී බව සහතික කරනු ලබයි.නියමිත නැකතට වැඩට යෑම ද මේ චාරිත්‍ර අතර දකින්නට ලැබේ. මේ අනුව මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම එකට එක්ව උද්යෝගිමත්ව සාමකාමීව සතුටින් ගුණගරුකව ක්‍රියා කිරීමෙන් ගෙදර තුලත් ගම තුලත් රට තුලත් මහත් වූ දියුණුවක් ලැබිය හැකි බව පසක් කරනු ලබයි. එබැවින් මෙම චාරිත්‍ර වාරිත්‍ර අනුව කටයුතු කරන්නට මේ බක් මහා උළෙලේදී ක්‍රියා කරන්නට අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

සුබ අලුත් අවුරුද්දක් වේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.