Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සටහන් තබා ගැනීම සහ කාලය බෙදා වැඩ කරන පුරුද්දේ වැදගත්කම

පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමානුකූල ව දවස පුරාම යම් භාවනා කීපයක් කර ගෙන ගිය අයට කලකදී සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන් වුන බව තේරෙනවා ඇත. ඊට පස්සේ අපි තව දුරටත් ඒ ක්‍රමය අනුගමනය නො කළොත්, අපේ

සාර්ථකත්වය නොලැබී යනවා. එතනින් එහාට සාර්ථකත්වය තව දුුරටත් පවත්වන්න අපිට බැරුව යනවා. ඉතින් ඒවා අපි තෝරා බේරා ගත යුතු යි.ඒකයි අපි කිව්වේ යම් දේශනාවක් ඉගෙන ගත්තහම ඒ දේශනාව අපි දිගට ම

පරිහරණය කරන්න ඕනෑ, පරිශීලනය කරන්න ඕනෑ කියා.

අපි පහුගිය දවස්වල දිගට ම කතා කළේ බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය තුළ පිහිට පිළිසරණ බලාපොරොත්තු වෙන කෙනෙක්, බණ භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නේ කොහොම ද කියන කාරණාව යි.

මූලික වශයෙන් යම් කෙනෙක් අනුගමනය කළයුතු ඒ ක්‍රම අනුගමනය කිරීම ත් සමඟම භාවනාව තව දුරටත් සාර්ථක කර ගන්න නම් මොන ආකාරයට ද අපි භාවනාව පවත්වා ගෙන යා යුත්තේ කියන දේ අපි දැන ගන්න ඕනෑ. එසේ දැන නො ගත්තොත් සාර්ථකත්වයක් ඇති කර ගන්න අපිට බැරිව යනවා.

අපිට ඉතා වටිනා දේශනාවක් මුණ ගැහෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ, ඒ දේශනාවේ නම තමයි ‘ පඨම පාපණික’ සූත්‍රය. මම හිතන්නේ මේ දේශනා අපි කවුරුත් කියවල තියෙනවා. අපි ඒ දේශනා නිතර පරිශීලනය කිරීම තමා කළ යුත්තේ. අපිට තිබෙන ගැටලුව තමයි දේශනාවක් නිතර පරිශීලනය නො කිරීම. ඒ නිසා හොඳ ම දේ තමයි යම් දේශනාවක් අපි ඉස්මතු කරලා පෙන්වනකොට ඒ දේශනාවෙ අඩු ගානේ නම හෝ සටහන් කරගන්න. එතකොට අපිට ඒක නිතර පරිශීලනය කිරීමේ අවස්ථාවක් උදා වෙනවා. ඒක අපිට පුරුදු වෙනවා. ධර්ම කාරණයක් අපි සටහන් කරලා තියා ගත්තොත්, වැඩක් නැති දේ හිත හිතා ඉදීම ආදී දේ වලින් මඟ හැරෙන්න අපිට ඒ උපකාර වෙනවා.

මොකද එතකොට අපිට කරන්න දෙයක් තියෙනවා. අපි ධර්ම කරුණු සටහන් කර ගන්නවා නම්, අපට ඒ ධර්ම කාරණය නැවත නැවත බලන්න පුළුවන්. එතකොට අපි යමක් කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනාට ඒක ගොඩාක් වටිනවා. එහෙම නැත්නම් අපි පුංචි දේකින් වුනත් නොමඟට යනවා. ඇයි ඒ වෙලාවට බලා ගන්න දෙයක් නෑ. ඒ නිසා නිතර පරිශීලනය කළ යුතු දේශනා තමයි අපි මේ සිහි කරන්නේ.

දැන් අපි යම් කිසි දේශනාවක් බලපුවාම එතනින් අපට යම් දැනුමක් එනවා. අපි බොහෝ කලක් ඒ දැනුම උපකාර කර ගත යුතු යි. ඒ නිසා අපි ‘ මේ මේ දේශනා ඉගෙන ගත්තේ’ කියල සටහන් කරලා තියා ගන්න. එතකොට යම් කලක දී ඔබට තේරෙයි ඒ දේශනා වලින් තියෙන ප්‍රයෝජනය. අද පමණක් නොවෙයි බොහෝ කලක් යනකම් ඒ දේශනා වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ.

එතකොට අංගුත්තර නිකායේ තිබෙන මේ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා, “ පින්වත් මහණනි කාරණා තුනකින් යුතු වෙළෙන්දා නො ලැබූ බෝග සම්පත් ලබන්ටවත්, ලැබූ භෝග සම්පත් වැඩි දියුණු කර ගන්ටවත් සුදුස්සෙක් වෙන්නේ නෑ.” කියලා.

“ පින්වත් මහණනි, මෙහි ඒ වෙළෙන්දා පෙරවරු කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ ඒ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නේ නෑ. මධ්‍යාහ්න කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නේ නෑ. සවස් කාලයේ ක්‍රමානුකූ®ල ව තමන් ගේ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නේ නෑ. පින්වත් මහණනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු වෙළෙන්දා නො ලැබූ බෝග සම්පත් ලබන්ටවත් ලැබූ බෝග සම්පත් වැඩි දියුණු කර ගන්ටවත් සුදුස්සෙක් වෙන්නේ නෑ.”

ඒ කියන්නේ ඒ ව්‍යාපාරිකයා උදේ කාලය, දවල් කාලය, හවස් කාලය කියන ඒ දවසේ කාල තුළ ක්‍රමානුකූ®ල ව තමන් ගේ කටයුතු කරන්නේ නෑ. සමහරවිට උදේට පොඩ්ඩක් කටයුතු කරනවා. දවල්ට මොකුත් කරන්නේ නෑ. පාඩුවේ ඉන්නවා.

ආයේ හවස පොඩ්ඩක් කරනවා. ඒ වගේ එයා දවස පුරාම තමන් ගේ ව්‍යාපාර කටයුතු ක්‍රමානුකූල ව කරන්නේ නෑ. ඉතින් ඒ නිසා එයාට යම් නො ලබපු, තමන් උපයා ගත්තේ නැති ධනයක් තියෙනව නම්, එය උපයා ගන්න බෑ. ඒ වගේම තමයි තමන් උපයා ගත්තාවූ යම් වත්කමක් තියෙනව නම්, ඒවා දියුණු කර ගන්න එයාට බැරිව යනවා. පිරිහිලා යනවා. ඒක තේරෙනවා නේද?

අපි දැකල ත් තියෙනවා දැන් සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒගොල්ලෝ උදේට මොනව හරි කටයුතු ටිකක් කරනවා. දවල් කාලේ නිකම් ඉන්නවා. හවසටත් නිකම් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා උදේට කම්මැලිකමේ ඉන්නවා. බොහෝ දවල් වෙලා තමයි ඒ කටයුතු පටන් ගන්නේ. එතකොට අනිත් කට්ටිය ඒක කරලා ඉවරයි.එයාට ඒ අපේක්‍ෂා කරන දියුණුවක් කරා යන්න බෑ. යම් දියුණුවක් තියෙනව නම් ඒකත් පිරිහිලා යනවා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා, “අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු භික්ෂුවක් නොලැබූ කුසල් දහම් ලබන්නවත්, ලැබූ කුසල් දහම් වැඩි දියුණු කරන්නවත් සුදුස්සෙක් වෙන්නේ නෑ. කවර කාරණා තුනකින් ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව පෙරවරු කාලයේ ක්‍රමානුකූල ව තමන් ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ.

මධ්‍යාහ්න කාලයේ ක්‍රමානුකූ®ල ව තමන් ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ.සවස් කාලයේ ක්‍රමානුකූල ව තමන්ගේ සමාධි නිමිත්තෙහි යෙදෙන්නේ නෑ. පින්වත් මහණනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු භික්ෂුව නො ලැබූ කුසල් දහම් ලබන්නවත් ලැබූ කුසල් දහම් වැඩි දියුණු කරන්ටවත් සුදුස්සෙක් වෙන්නේ නෑ.”

ඒකට හේතුව තමයි එයා ඒ දවසේ කාලය පුරා සුදුසු විදියට ඒ භාවනාව පිළිවෙළකට නොකිරීම. එක්කෝ එයා උදේට පොඩ්ඩක් බණ භාවනා කරනවා. දහවල් කාලේ නිකන් ඉන්නවා. වෙන මොනව හරි කරනවා. ආයේ හවස් කාලේ පොඩ්ඩක් කරනවා. ක්‍රමානුකූලව දවසේ සම්පූර්ණ කාලය බෙදිලා යන විදියට එයා ඒ කටයුතු කරන්නේ නෑ. ඒ නිසා එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ නො ලැබූ කුසල් දහම් ඇති කර ගන්න. ඉපදුණා වූ කුසල් දහම් දියුණු කර ගන්නත් එයාට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඇයි ඒ එයා දවසේ සම්පූර්ණ කාලය සමබර කරලා පුරුදු කරන්නේ නෑ.

දැන් බලන්න අපේ ජීවිතයේ අපි කොහොම ද බණ භාවනා කළොත් කරන්නෙ කියල. සමහර විට උදේ කරන්නේ නෑ. සමහරවිට දවල් කාලෙ කරන්නේ නෑ. සවස කරන්නෙත් නෑ. සමහර කෙනෙක් ටික දවසක් උදේට කරනවා, ආයේ කලක දී නැහැ. බලන්න කල්පනා කරලා විධිමත්ව කරන ක්‍රමයක් අපේ තියෙනව ද කියලා. විධිමත් ක්‍රමයක් නැත්නම් අපි කොහොමද නො ලැබූ කුසල් දහම් ඇති කර ගන්නේ..?

පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමානුකූල ව දවස පුරාම යම් භාවනා කීපයක් කර ගෙන ගිය අයට කලකදී සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන් වුන බව තේරෙනවා ඇත. ඊට පස්සේ අපි තව දුරටත් ඒ ක්‍රමය අනුගමනය නො කළොත්, අපේ සාර්ථකත්වය නොලැබී යනවා. එතනින් එහාට සාර්ථකත්වය තව දුුරටත් පවත්වන්න අපිට බැරුව යනවා. ඉතින් ඒවා අපි තෝරා බේරා ගත යුතු යි.

ඒකයි අපි කිව්වේ යම් දේශනාවක් ඉගෙන ගත්තහම ඒ දේශනාව අපි දිගට ම පරිහරණය කරන්න ඕනෑ, පරිශීලනය කරන්න ඕනෑ. එතකොට බලන්න අපි මේ ධර්මය ඉගෙන නො ගෙන හිටිය නම්, ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නෑ. ඇයි අපි දන්නේ නෑ මේ වගේ කාරණාවක් ධර්මයේ තියෙනවා කියල.

ඉතින් ඉගෙන ගත්තා වූ ධර්මය අපි දිගට පාවිච්චි නොකළොත් අපිට ඒ ප්‍රතිලාභ ලබා ගගන්න බැරිව යනවා. ඒකයි මම ප්‍රකාශ කළේ දේශනාවක් ඉගෙන ගත්තම ඒ දේශනාව මතක තියා ගන්න.

අපිට මුළු දේශනාවම මතක තබා ගන්න බැරිවෙයි.

නමුත් ඒ දේශනාවේ නම හරි සටහන් කර ගෙන, මෙන්න මේ වගේ කාරණා එතන තියෙනවා කියලා අපට දල මතකයක් තියෙනවා නම් ඒක ඉතාම ප්‍රයෝජනවත්. ඒ සඳහා අපි ඒ ඉගෙන ගන්න දේශනාව ගැන, ‘මෙන්න මේ වගේ දේශනාවක් තියෙනවා, ඒ දේශනාවේ මේ වගේ කාරණා තියෙනවා’ කියලා කෙටි සටහනක් තියා ගන්න. එතකොට අපිට ඒක අත්පොතක් වගේ තියෙනවා. ඒකේ තියෙනවා අපිට වුවමනා දේශනා.

එතකොට බලන්න ඒ වගේ ක්‍රමයකට අපි ආවොත් තනි තනියෙන් අපිට කරන්න වැඩ තියෙනවා නේ ද?... අපිට සටහන් තබා ගන්න තියෙනවා, ඒ තබාගත් සටහන් පොත බලන්න තියෙනවා, එතකොට අපිට ප්‍රශ්නයක් තිබුනොත් ඒ ප්‍රශ්නෙට විසඳුම එතන තියෙනවා. ඒකයි ධර්මය පුරුදු කරන විධිය. එහෙම නැත්තම් අපි කම්මැලිකමට වැටෙනවා. අපිට ගැටලුවක් ආවොත් ඒ ගැටලුවට විසඳුම ලැබෙන්නෙත් නෑ.

ඇයි ඉගෙන ගත්ත ධර්මය මතකයට එන විදිහේ වැඩ පිළිවෙළකට අපි සකස් වෙලා නෑනේ. මතකයේ නැති වුණත්, සටහන් පොතක තිබ්බොත්, හැමදාම හෝ ගැටලුවක් ආපු වෙලාවක හෝ ඒක පෙරලලා බලන්න අපිට පුළුවන්. අපිට බලවත් ගැටලු එන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඒ සටහන් පොතේ උත්තරය තියෙයි. උත්තරය හෝ උත්තරයට ඉඟියක් හෝ ඒකෙන් ලැබෙයි. ඊට පස්සේ අපිට ඒ ඉඟිය මුල් කරගෙන, උත්තරය හොයා ගන්න පුළුවන්කම ලැබෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.