Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්තෝ ජටා බහි ජටා

එක්තරා ලොල් ස්වභාවය ඇති සත්ත්වයෙක් භවත්නි මේ කුමක් විය යුතු දැයි ඒ රස පොළොව මදක් ඇඟිල්ලෙන් ගෙන දිව ගෑවේය. ඔහුට එය පී‍්‍රති විය. එහි තණ්භාව සිත් තුළ බැස ගත අන් සත්ත්වයෝ ද ඔහු අනුව යමින් රස පොළොව ලෙව කෑහ. ඔවුන් සිත් හි ද තෘෂ්ණාව බැස ගති. එකල්හි ඔවුහු ඒ පෘථිවි රසය පිඩුකොට වළඳන්නට වන්හ. එයින් ඔවුන්ගේ ස්වයං ප්‍රභාව අතුරුදන් විය. සඳ හිරු නැකැත් තරු ප්‍රකට

අද අප ජීවත්වන්නේ විසි එක්වෙනි සියවසේ මුල් කාර්තුව තුළයි. වත්මන් ලෝකය ආර්ථික, දේශපාලනමය, සමාජණයීය හා සන්නිවේදනය අතින් ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. මහා සාගර පත්ලට කිමිදීමට අභ්‍යවකාශය තරණය කිරීමට මිනිසා සමත්ව සිටී. ලොව කොතැනක හෝ සිදුවන දෙයක් එසැණින් ලොව පුරා සියලු දෙනාට දැක ගැනීමට හා දැන ගැනීමට සැලැස්විය හැකි තරමට තොරතුරු සන්නිවේදනය දියුණු කරගෙන තිබේ. එහෙත් වත්මන් ලෝකය තවත් පැත්තකින් විවිධ හේතූන් නිසා සමාජ, ආර්ථික, දේශපාලනික හා සදාචාරමය ගැටලු වලින් වෙලාගත් බවක් පෙනෙයි.

අසහනය, අතෘප්තිකර බව අවිනිශ්චිත බව රජයමින් තිබේ. තමන් ජීවත්වන සමාජ පරිසරය තුළ සිදුවන මෙම බිඳ වැටීම දෙස බලා සුසුම් හෙළමින් දුක් වෙමින් දුර්මුඛව පීඩා විඳීන පිරිස වර්ධනය වෙමින් පවතී. මේ දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් පෙනෙන මායිමකවත් නැත. සාමය, සමගිය එකමුතු බව යුක්තිය සාධාරණත්වය දයාව, කරුණාව වැනි මානව සමාජ සංස්ථාවන් පවත්වා ගෙන යාමට වුවමනා සියලු සාධක අතිශය භයානක ආකාරයට බිඳ වැටෙමින් පවතී. මෙය සමාජයකට මෙන්ම රටකට හිතකර තත්ත්වයක් නොවේ.

විවිධ දාර්ශනිකයින් ආගමික නායකයන් හා චින්තකයින් යථෝක්ත ගැටලු සම්බන්ධයෙන් වසර සිය දහස් ගණනක සිට න්‍යාය හා චින්තනයන් ඉදිරිපත් කර ඇතත් එයින් ද සතුටුදායක ප්‍රතිඵල ලැබී ඇති බවක් නොපෙනේ. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ බුදුදහම ඉදිරිපත් කර ඇති විසැඳුම් කීපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමයි.

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දෙවියෙක් ඇතුළතත් ගැටලු පිටතත් ගැටලු, ගැටලු වලින් වෙලී පැටලී තිබේ. මේ ගැටලු ලිහා ගැනීමට සමත්වන්නේ කවරෙක්දැයි විමසා සිටියේය. ඊට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මෙසේය.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු - සො ඉමං විජටයෙ පටං

සීලයක පිහිටි ප්‍රඥාවන්තකම ඇති දියුණු කරන ලද සිත හා ප්‍රඥාවෙන් යුතු කටයුත්තෙහි දක්ෂ තැනැත්තා අභ්‍යන්තර හා බාහිර ගැටලු ජය ගන්නා බවයි. නිවන් අවබෝධයට බාධා පමුණුවන ගැටලු ඛ්ඳුනාගෙන සසර ගමන ජයගන්නා මඟ මේ තුළින් පෙන්වා දී ඇතත් වර්තමාන ජීවන ගැටලු වලටද එතුළින් විසඳුමක් ලබා ගත හැක.

සර්ව සමාජ ගතව, සර්වකාලීනව මතුවන අසහනකාරි දුක් ගැහැට සියල්ල බුදුසමය දෙකොටසකට වර්ග කරයි. එනම් සන්තාන ගත ගැටලු හා බාහිර හෙවත් සමාජගත ගැටලු වශයෙනි. මෙම ගැටලු මතු කරවන සන්තානගත හා සමාජගත හේතු සාධක ද ඇති බව බුදු සමය පෙන්වා දෙයි. යම් සේ උණු කිරි මත්තෙහි යොදයක් වේද එසේම රස පොළොවේ ද ඒ දිය මතුයෙහි සිසාරා පැතිරුනේ විය. මනාව නිපැයු ගිතෙලක් හෝ වෙඬරුත් යම් බඳුවේද ඒ රස පොළොව එබඳු රත් පැහැ ඇත්තේ ද විය පෘථිවි රසය පිරිසුදු දඩුවෙල් බෑ මීවදක් මෙන් විය.

එක්තරා ලොල් ස්වභාවය ඇති සත්ත්වයෙක් භවත්නි මේ කුමක් විය යුතු දැයි ඒ රස පොළොව මදක් ඇඟිල්ලෙන් ගෙන දිව ගෑවේය. ඔහුට එය පී‍්‍රති විය.

එහි තණ්භාව සිත් තුළ බැස ගත අන් සත්ත්වයෝ ද ඔහු අනුව යමින් රස පොළොව ලෙව කෑහ. ඔවුන් සිත් හි ද තෘෂ්ණාව බැස ගති. එකල්හි ඔවුහු ඒ පෘථිවි රසය පිඩුකොට වළඳන්නට වන්හ. එයින් ඔවුන්ගේ ස්වයං ප්‍රභාව අතුරුදන් විය. සඳ හිරු නැකැත් තරු ප්‍රකට විය. අග්ගඤ්ඤ සූත්‍රයෙන් හෙළි කෙරෙන මානවයාගේ ආරම්භය පිළිබඳ මේ තොරතුරු වලට අනුව ආදී මානවයා ප්‍රසන්නය, පැහැපත්ය, සතුටින් ජීවත්වූහ. ගැටුමට නොගැටුණි. එහෙත් තෘෂ්ණා සහගත සිතිවිලි ඇතිවීමත් සමඟම ඒ සියල්ල අතුරුදන් විය.

මානව ක්‍රෝධය හට ගැනුණි. අසමඟිය හා අසහනය ඇතිවිය. ගැටුම්, ආරවුල් හට ගැනුණි. එයින් පැහැදිලි වන්නේ සමාජ ගැටලු හටගැනීමෙහිලා තණ්හාව ප්‍රමුඛ සාධකයක් වූ බවයි. ඉඳුරන් හා අරමුණු අතර ගැටීම තුළින් වින්දනයක් හටගනී. වින්දනය නිසා ඒ පිළිබඳ තණ්හාව උපදී. තණ්හාව නිසා ඒ පිළිබඳව සොයා බලයි. සෙවීම නිසා ලැබෙයි. ලැබීම නිසා අගයයි.

ඇගයීමට ලක් කිරීම නිසා ඒ කෙරෙහි දැඩි කැමැත්තක් උපදී. එහි ඵලය වන්නේ මගේය යන අදහසට ගැනීමයි. මගේ යැයි සිතෙන නිසා එය තමා සතුකර ගැනීමට සිතයි. එහි ඵලය වන්නේ මසුරුකම හට ගැනීමයි. මසුරුකම නිසා එය රැක ගැනීමට දරන උත්සාහයේ ඵලය වන්නේ් ආයුධ දැරීමට සිදුවීමයි. ඒ තුළින් කළකෝලහළ හට ගනී. ලාමක වූ අකසල ධර්ම පහව යන්නේ එබැවිණි.

දීර්ඝ නිකාය මහා නිධාන සූත්‍රයේ ඇතුළත් යථෝක්ත පැහැදිලි කිරීමට අනුව මානව සමාජයේ සියලු ගැටලු වලට මුල් කාරණය තණ්හාවය. හේතු හා ප්‍රත්‍ය වශයෙන් සිතේ උපදින සිතිවිලි එකිනෙකට ප්‍රතික්‍රියා කිරීම තුළින් අවසන් ඵලය හැටියට ගැටුම්කාරි තත්ත්වයක් මතුවන අයුරු මනාව පැහැදිලි කරයි. තණ්හා අධික බව හා පුද්ගලයා තණ්හාවට දාසයෙකු වීමේ ඵලය මෙයයි. මේ ඉගැන්වීම එදා සමාජයට මෙන්ම එකසේ සාධාරණ වූවක් බව පෙනෙයි.

මිනිස්සු එකිනෙකාට පි‍්‍රයශීලිව ආදරයෙන් සිටීමට කැමැති වෙති. සාමුහිකව සහෝදරත්වයෙන් බැඳී සිටීමට රුචියක් දක්වති. එහෙත් ඔවුනට එසේ සිටීමට නොහැකි වෙති. එකිනෙකාට එරෙහිව වෛරයෙන් බලති. කථා කරති.

දඬු මුගුරු ගෙන කෝළහල කරති. මිනිසා එසේ හැසිරීමට හේතු හැටියට තණ්හාව මුල් වෙන බව හා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ එන උක්ත පාඨයෙන්ද පැහැදිලි වෙයි. ගැටලු ඇතිකරවමින් පුද්ගලයා අපරාධවලට යොමු කරවන මේ හේතු සාධක ඉවත් කරලීම පිළිබඳව ද බුදු සමයේ කරුණු දක්වා තිබේ. සන්තානගතව උපදින මෙවැනි දුර්වල සිතිවිලි වලින් පුද්ගලයාට වැළකිය හැක්කේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමෙනි. ආගමික සංවිධාන වලට, රජයට හා සමාජ ශෝධකයින්ට මේ සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ.

භාරතයේ අශෝක රජතුමා ජනතාව එක්රොක්වන තැන්වල හා වැඩිපුර ගැවසෙන ස්ථානවල විවිධ උපදෙස් ඇතුළත් සෙල් ලිපි පිහිටුවීමෙන් හා විවිධ නිලධාරීන් සංචාරයේ යොදවමින් තමන් ද වන්දනාවේ යෙදෙමින් ඉටුකළේ රටේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමෙහිලා පාලකයෙකුගේ කාර්යය යි.

තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය ඉතා දියුණු අවදියකට පත්ව ඇති වර්තමානයේ සමාජයේ පුද්ගල ආකල්ප හැඩගැස්වීමෙහිලා විශාල වැඩ කොටසක් ඉටුකළ හැකිව තිබේ. අනුශාසනා ලද පමණින් හෝ දැනුවත් වූ තරමින් සියලු අපරාධ නවත්වාලිය නොහැක. මිනිසුන් සම්පූර්ණයෙන්ම අපරාධ කිරීමෙන් වැළකී සිටින්නේ ද නැත. එහෙත් යම් තරමකට වළකා ගැනීමට පුලුවන. අපට අවශ්‍ය තරම් නීති තිබේ. නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩුකම් නිසා අපරාධ කිරීමට ඇතැමුන් තුළ ඇති බිය පහව ගොස් තිබේ. පවත්නා නීතිය කෙරෙහි ජනතාවගේ් විශ්වාසය බිඳ වැටීම සමාජයක පැවැත්මට හිතකර නොවේ. වරදට යොමුවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. වරදට යොමුවීමේ හැකියාව මෙන්ම වරදින් වැළකීමේ ශක්තිය ද මිනිසා සතුවේ.

බුදුදහම මෙය පිළිගනියි. එබැවින් වරදක් කළ අයෙකු සදාකාලිකව දඬුවම් විඳීය යුතු නැත. දඬුවමකට ලක් කිරීමෙන් අපේක්ෂා කළ යුත්තේ තමා වරදක් කළ බව පිළිගැනීමට සැලැස්වීම හා යළි වැරැදි නොකරන ලෙසට ආයති සංවරයෙහි පිහිටුවීමයි. බුදු දහමේ දඬුවම නිර්දේශ කිරීමේ අරමුණු ද එයයි. බටහිරින් ලබාගත් නීති පද්ධතියක් පවතින ලංකාව වැනි රටක බෞද්ධ පිළිවෙත වටහා නොගත් බැවින් ඇතැම්විට වැරැදි නොකළ උදවිය දඬුවම් විඳීති. වැරැදිකරුවෝ නිදහසේ ජීවත්වෙති. සමහරු වරදේ ප්‍රමාණයට වඩා වැඩි දඬුවමකට ලක්ව සිටිති. මේ අතර බරපතළ අපරාධ වලට වරද කරුවන් වූ අය සුළු කලක් දඬුවම් විඳ නිදහස් වන අවස්ථාද නැතුවා නොවේ. දඬුවමට ලක් වූ ඇතැමුන් සමාජගතවීමෙන් පසු පෙරට වඩා අපරාධ වලට නැඹුරුවන අවස්ථා ද නැතුවා නොවේ. මේ තත්ත්වය ද සමාජය තුළ ගැටලු උත්සන්න වීම කෙරෙහි බලපා තිබේ.

යම් ක්‍රියාවක් සිදුවන්නේ කිසියම් හේතුවක හෝ හේතු කීපයක බලපෑම නිසයි. ක්‍රියාව නැවැත්විය හැක්කේ ඊට බලපෑ හේතු නැති කිරීමෙනි. සමාජයීය අපචාර හෝ අපරාධ විෂයෙහිද මෙම න්‍යාය එලෙසින්ම වලංගු වේ. රටක අපරාධ සිදුවන්නේ නම් ඊට හේතු සොයා බලා විසඳුම් සැපයීම රජය සතු කාර්ය භාරයයි. සමාජයීය ගැටලු, රාශියකට මුල සාධකයක් වන්නේ දරිද්‍රතාවයයි. රටේ පොදු ධනය ව්‍යාප්තියේ අසාධාරණකම් හා අසමානතා නිසා ජනතාවගෙන් පිරිසක් දිළින්දෝ බවට පත්වෙති. ඔවුනට ධනය උපයා ගැනීමට රැකියා අවස්ථා නැතිව යාම නිසාම තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් හැකියාවක් නැතිව යයි. මේ නිසාම ජීවත්වීම උදෙසා හොරකම මංකොල්ල කෑම, පැහැර ගැනීම වංචනික ලෙස කටයුතු කිරීම ආදියට යොමු වෙයි. මහණෙනි, දිළින්දන්ට ධනය නූපදනා කල්හි දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වර්ධනය වූ කල්හි හොරකම වර්ධනය වූයේය. හොරකම බහුලවත්ම මිනි මැරුම් බහුල විය. මේ ආදී වශයෙන් දස අකුසලයම වර්ධනය වන බව දක්වයි. දීඝ නිකාය චක්කවත්ති සිහනාද සූත්‍රාගත යථෝක්ත අදහස තුළින් සමස්ත මානව සමාජය තුළ නිරතුරුව පවත්නා ක්‍රියා සන්නතිය කියාපායි.

දරිද්‍රතාවය සෑම අපරාධයකටම මූලික හේතුව බව එයින් අදහස් නොවේ. හොරකම දිළිඳුකම නිසා පමණක් සිදුවන්නේ නම් සොරකම් කළ යුත්තේ දිළින්දන් පමණි. ධන කුවේරයෝද හොරකම් කරති. අල්ලස් ගනිති. වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන මේ තත්ත්වයම බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි කර දෙයි. ධනවතුන් අපරාධවලට පොළඹවන ප්‍රධාන හේතුවකි අධික තෘෂ්ණාව. තමන් සතු දේ රැක ගනිමින් අන්සතු දේ පැහැර ගැනීමට මුලදී කෙනෙකු ක්‍රියාකළේ අධික තෘෂ්ණාව නිසයි. වර්තමානය වන විට මේ තත්ත්වය ධනවත් රටවල් විසින් දිළිදු රටවල් කොල්ලකෑම දක්වා පැතිර තිබේ. රජයක එක් වගකීමක් වන්නේ දිළිඳුකම අවම කරගත හැකි පරිදි පොදු ධන සම්පත් ව්‍යාප්ත කිරීමයි. සැලසුම් සහගත ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඒ සඳහා යි. නිර්ධනයින්ට ධනය දීමෙන් රටේ දිළිඳුකම පිටු දැකිය හැකි යැයි සමහරු සිතති. ඒ සඳහා වැඩ සටහන්ද ක්‍රියාත්මක කරති. මෙහි නිසරු බව කියාපාන සිදුවීමක් අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා තිබේ.

එය වත්මන් සැලැසුම් කරුවනට කදිම පාඩමකි. දළ්හනේම් රජු ඉදිරියට පමුණුවන ලද සොරෙකු ප්‍රකාශ කළේ තමා නැති බැරිකම නිසා සොරකම් කළ බවයි. ඊට පිළියම් වශයෙන් රජු ඔහුට ධනය දීමට තීරණය කරයි. ගැටලු එතෙකින් අවසානයයි රජු සිතීය. සොරකම් කර හසුවන්නන්ට රජු ධනය දෙන බවට රටේ පැතිර ගිය ආරංචිව නිසා හොරු වැඩිවිය. හොරකම මැඩලීම පිණිස හොරුන් මරා දැමීමට රජු පියවර ගත්ත ද හොරකම තුරන් කිරීමට රජුට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ආයුධ ගත් පිරිස් රජුට එරෙහිව නැගී සිටීමයි. එය වත්මන් සමාජයේ පාතාල කල්ලි නීතිය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිවීමට සමාජයක පාලකයා සමාජ ගැටලු විසඳීමේදී නිවැරැදි තීරණයක් නොගත හොත් එයින් සිදුවන හානිය විශාල එකකි. පොදු සම්පත් ජනතාව අතර බෙදාහැරීම පුළුල් ආර්ථියක් දනවන රාජ්‍ය ප්‍රතිපත්තියක් බැව් පුරෝහිතතුමා පැහැදිලි කර දෙයි. රට ව්‍යසනයකට පත්ව ඇති විටෙක ජනතාවගෙන් අධික ලෙස බදු අය නොකළ යුතුය. ගොවිතැන, ගව පාලනය වැනි රටේ නිෂ්පාදනයට උර දෙන්නන්ට වුවමනා ධාන්‍ය බීජ හා ආහාරාදිය නිසි කලදී පහසුවට සපයාදීම ද වෙළෙඳාමට උනන්දුවන අයට ආයෝජනය සඳහා මුල්‍ය පහසුකම් සලසාදීමත් කළ යුතුය.

රාජ්‍ය සේවයේ යෙදෙන්නන් සුදුසුකමට සරිලන වෘත්තියක පිහිටුවීම, සේවයට සරිලන වැටුපක් ලබාදීම නිසි කලදී සුදුසුකම් සපුරා ඇති අයට උසස්වීම් ලබාදීමත් සැලැසුම් සහගතව පාලනය ගෙනයන පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලෙස පෙන්වා දී තිබේ. රටක සියලු ජනතාවට රැකියා ලබාදීමට රජය බැඳී නැත. එහෙත් ජනතාව ජීවත් කරවීමට හා ආරක්ෂාව සලසා දීම රජයේ වගකීමකි. රට තුළ රජයේ හෝ පෞද්ගලික හෝ රැකියා අවස්ථා සලසාදීම රජයේ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමෙන් බොහෝ සමාජ ගැටලු අවම කරගත හැක. ජන සමාජය මොහොතින් මොහොත පරිණාමය කරා ගමන් කරන සංවිධානයකි. එබැවින් සමාජ අවශ්‍යතා මෙන්ම සමාජ ගැටලු ද අලුත් වෙමින් පවතී. එහෙයින් කිසිවෙකුටත් සියලු සමාජ ගැටලු වලට විසඳුම් ලබාදීමට නුපුලුවන, ගැටලු අවම වූ සමාජයක් බිහි කිරීමට රජය හා ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් රට ඉදිරියට ගෙනයා හැක. බෞද්ධ දර්ශනයේ ආලෝකයෙන් ඒ ගමන් මග ආලෝකමත් කරමු.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.