Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිවට ගිය වන්දනා ගමනක්

සැදැහැවත් කුල පුත්‍රයන් තම ජීවිත කාලය තුළ සියැසින් දැක ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන සතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ආනන්ද හිමියන්ට වදාළහ. තථාගතයන් වහන්සේ උත්පත්තිය ලද ලුම්බිණිය, තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලද අසිරිමත් බුද්ධගයාව, උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බරණැස ඉසිපතනය තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරාව එම සතර ස්ථාන වේ. මෙම සතර ස්ථාන වන්දනා කිරීම මූලික කොට දඹදිව වන්දනාවේ යෙදෙන කපිල වස්තු පූජනීය ස්ථාන වන්දනා කිරීමට අමතක නොකරති.

කපිලවස්තු පුරය කිඹුල්වත්පුර ලෙසින්ද හඳුන්වනු ලබන අතර සුද්ධෝදන රජතුමාගේ ශාක්‍ය රාජධානියේ අගනුවර ද විය. සිද්ධාර්ථ කුමාරයාගේ ළදරු කාලය ළමා කාලය තරුණ කාලය ඇතුළු ගිහියෙකු ලෙස විසූ විසි නව වසරක කාලයක් ගත කළේද මේ අසිරිමත් කපිලවස්තු පුරයේය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පසුවද සම්බුදු පහස ලැබූ උතුම් පුද බිමක් වන කපිල වස්තු පුරය කරුණු කීපයක් නිසා වඩාත් වැදගත්වේ.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී කිඹුල්වත් පුරයට වැඩම කළ මොහොතේදී ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරු කිරීම් වස් ධ්‍යානයට සමවැදී යමාමහ පෙළහර පෑමත් සිදුහත් කුමරු ළමා කාලයේදී වප් මඟුල් උත්සවයේදී ආනාපාන සති භාවනාව වඩා ප්‍රථම ධ්‍යානය ලබාගත්තේද මෙම ප්‍රදේශයේය. සිදුහත් කුමරු සක්විති රජ කරවීමට සාර්වමිත්‍ර බ්‍රාහ්මණයා වෙතින් ශිල්ප ඉගැන්වූයේද මෙම පුරවරයේය. මාලිගා උයනේ තුවාල වී සිටි හංසයාට වෙදකම් කර සත්ව කරුණාව දැක්වූයේත් මෙම පුරවරයේය. සිදුහත් කුමරු යසෝදරා දේවිය හා විවාහ වූයේත් මහමායා දේවියගේ අභාවය සිදුවූයේත්, මෙම ප්‍රදේශයේය.

යශෝදරා දේවියට රාහුල පුත් කුමරු උපන්නේ මෙහි රජ මාළිගයේදී ය. සිදුහත් කුමරු සියලු ඥාති මිත්‍රයන් හැරදමා ඇසළ පොහෝදා මහ බිනික්මන සඳහා පිටත්ව ගියේත් මෙම ප්‍රදේශයෙන්ය. සම්බුද්ධත්වයට පත්වී නැවැත කිඹුල්වත් පුරයට පැමිණ යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කළේද කිඹුල්වත් පුරයේදීය. නන්ද කුමරු පැවිදි කරනු ලැබුවේත් රාහුල කුමාරයා පැවිදි කරනු ලැබුවේත් මෙම පුරවරයේදීය. මව්පියන්ගේ අනුමැතියෙන් තොරව දරුවන් පැවිදි නොකළ යුතු යැයි නීතියක් පැනවූයේද සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත්වී පිරිනිවන් පෑවේද මෙම පුරවරයේදීය. ශාක්‍ය කෝලිය යුද්ධය නවතනු ලැබුවේත්, ලොව භික්ෂුණී ශාසනය ආරම්භයට මුල පුරනු ලැබුවේත් මෙම කපිල වස්තු පුරයේදීය.

දහනවවන සියවසේ මුල්භාගය වන විට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ භාරතයේ සියලු ස්ථාන සොයා ගැනුණු අතර කපිල වස්තු පුරය 1895 දී ආචාර්ය විලියම් පියුරර් විසින් සොයාගනු ලැබිණි. 1896 දී පිප්රුවා ස්ථූපය කැණීමේදී බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් ලේඛනයක් සහිත මැටි කරඬුවක් හමු විය. එහි “ඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං

සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”
ශාක්‍ය වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන්

සමඟ එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය යන්න සඳහන් විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු තථාගතයන් වහන්සේගේ සිරුර ආදාහනය කිරීමෙන් අනතුරුව ඉතිරිවූ සර්වඥ ධාතු ද්‍රෝණ බමුණා කොටස් අටකට වෙන්කර සාධාරණ ලෙස බෙදා දුන් බව බෞද්ධ පොතපතෙහි සඳහන් වේ. ඒ අනුව මගධ අජාසත් රජු කපිලවස්තු - ශාක්‍ය, රාමගාම - කෝලිය

පාවානුවර – දබ්බ මල්ලව, වේශාලි - ලිච්ඡවි රජු
අල්ලකප්ප – බුලියො, මෙමදීප බ්‍රහ්මණයෝ
කුසිනාරා - මල්ලව සර්වඥධාතු බෙදා දෙනු ලැබීය.

කපිල වස්තු පුරයේ ඇති ඉතාමත්ම වැදගත් ගොඩනැගිල්ල වනුයේ ශාක්‍යවරුන් තැනූ මෙම ගොඩනැගිල්ලයි. 1971 වර්ෂයේ කරන ලද කැණීම් වලින් මෙම ස්ථූපය ක්‍රි.පූ. පස්වන සියවසේ ප්‍රථමයෙන් ගොඩනගන ලද බවත් පසු අවස්ථා දෙකකදී විශාලකර සාදා ඇති බවත් හෙලිවී ඇත. තථාගත පරිනිර්වාණයෙන් පසු ශාක්‍යයන්ට ලැබුණු ධාතුන් වහන්සේ මෙම චෛත්‍යයේ තැන්පත් කර තිබූ බවත් සඳහන්වේ.

ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතු නිදන් කොට තැනූ මෙම ස්ථූපය යටට කැණීමේදී එකිනෙකට සම්බන්ධ ගඩොලින් තැනූ කුටි දෙකක් විය. එහි උතුරු කුටියේ තිබී අලංකාර ලෙස ලියවා කරන ලද සෙන්ටිමීටර් දොළහක් උස කරඬුවක් හා තැටි දෙකක් හමු විය. දකුණු කුටියේ එවැනි ඊට වඩා විශාල සෙන්ටිමීටර් දහසයක් උස කරඬුවක් හා තැටි දෙකක් හමුවිය.

මෙම කරඬු දෙක විවෘත කළ විට දෙකෙහිම අඩංගු වූයේ ගින්නෙන් දැවී අගුරු වූ මනුෂ්‍ය ඇටකටුය. දිනවකවානු පිහිටි ස්ථානය හා කරඬුවේ අඩංගු දේ තුළින් මේවා ශාක්‍ය වරුන්ට බාරදී ඇති දැවී අගුරු වූ බුදු රදුන්ගේ ශ්‍රී දේහයේ ඉතිරි වී ඇති ධාතුන් වහන්සේ බව ස්ථිර ලෙසින් තහවුරු කරගන්නා ලදී. මෙහිදී හමුවූ සර්වඥ ධාතූ®න් වහන්සේලා ගණන විසි දෙකකි. 1978 දී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට වැඳ පුදා ගැනීමේ භාග්‍යය උදාවූ අතර 1990 දී පටන් එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

එදා සිට අද දක්වා නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂිත ආරක්ෂාව මධ්‍යයේ වෙඩි නොවදින වීදුරු කුටියක තැන්පත් කර ඇති සර්වඥ ධාතූ®න් වහන්සේලා කෞතුකාගාරය නැරඹීමට යන ඕනෑම අයකුට තම පියවි ඇසින් නැරඹිය හැකිය. රත්‍රං ග්‍රෑම් 109 ක් උපයෝගී කරගෙන වටිනා දියමන්ති උපයෝගී කරගෙන අලංකාර ලෙස නිර්මාණය කරන ලද විශේෂිත කුටියක තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූ®න් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කර බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන්ටද අවකාශ උදා වී ඇත. තායිලන්ත රජයේ පූර්ණ දායකත්වය මත රනින් නිම කළ මෙම විශේෂිත කුටිය 1997 දී ඉන්දීය රජයට තායිලන්ත රජය විසින් පරිත්‍යාග කොට ඇත. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන් නවදිල්ලි නගරයට පැමිණීමට අමතක නොකරති.

බොහෝ බැතිමතුන් නවදිල්ලියේදී ඇඳුම් පැළඳුම් බඩු භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බැවින් මෙම වටිනා අවස්ථාව ඔවුන් නොදැනුවත් කමින් මගහැරී යාමට ඉඩ ඇත. ශ්‍රී ලංකා මහාබෝධි සමාගම මගින් පාලනය කෙරෙන ශ්‍රී ලංකා විහාරය වන්දනා මාන කර එහි නේවාසිකව රැයක් ගතකිරීමට පැමිණෙන දඹදිව වන්දනා කරුවන්ට ඉතා පහසුවෙන් නවදිල්ලි ජාතික කෞතුකාගාරයට පැමිණිය හැකිවේ. සඳුදා දිනයේ පමණක් වසා ඇති දිල්ලි ජාතික කෞතුකාගාරය අනෙක් සෑම දිනම පෙරවරු දහය සිට පස්වරු පහ දක්වා විවෘතව පවතී. ඉන්දීය ජාතියෙකුගෙන් කෞතුකාගාරය නැරඹීම සඳහා ඉන්දීය රුපියල් දහයක් අය කරන අතර පාසල් දරුවන් ගෙන් ඉන්දීය රුපියලක් අය කෙරේ. විදේශිකයකුගෙන් ඒ සඳහා ඉන්දීය රුපියල් එකසිය පණහක් පමණ අයකරන අතර කැමරාවක් පරිහරණය කිරීම සඳහා ඉන්දීය රුපියල් තුන්සියයක මුදලක් අයකෙරේ. ඉන්දියානු ජාතිකයකුට කැමරාවක් පරිහරණය කිරීම සඳහා ඉන්දීය රුපියල් විස්සක මුදලක් අය කෙරේ.

නියමිත මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ගැනීමෙන් හා ඡායාරූප ගැනීමට ප්‍රවේශ පත්‍රයක් ගැනීමෙන් අනතුරුව කෞතුකාගාරය නැරඹීම ඇරඹිය හැකි අතර අවශ්‍යම නම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින විශේෂිත ස්ථානය පමණක් නරඹා සර්වඥ ධාතූ®න් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කොට අවශ්‍යම නම් එහි ඡායාරූප ද රැගෙන පැමිණිය හැකිය. සතර ස්ථාන වන්දනාමාන කරගැනීම මුලික කොට දඹදිව සංචාරයේ නියැලෙන බෞද්ධ බැතිමතුන් බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාක්‍ය වංශිකයන් වෙත ලැබුණ සර්වඥ ධාතූන් වහන්සේලා ද නරඹා වැඳුම් පිදුම් කළ යුතුවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.