Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

සිංහල ලිතට අනුව අපගේ මාස දොළහ හඳුන්වන්නේ දුරුතු (ජනවාරි), නවම් (පෙබරවාරි), මැදින් (මාර්තු), බක් (අප්‍රේල්), වෙසක් (මැයි), පොසොන් (ජූනි), ඇසළ (ජූලි), නිකිණි (අගොස්තු), බිනර (සැප්තැම්බර්), වප් (ඔක්තෝබර්), ඉල් (නොවැම්බර්), උඳුවප් (දෙසැම්බර්) යන නම් වලින් ය. සිංහලයාගේ ජන ජීවිතයට බුදු දහම කොතරම් සමීප ඇත්දැයි පැහැදිලි වන්නේ මාසවල නම් සමග අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතය හා බැඳෙන වැදගත් සිද්ධිදාමය අන්තර්ගතව පැවතීමයි.

මෙවර, බක්පුර පසළොස්වක උදාවන්නේ 2010 මාර්තු 29 වන සෙනසුරාදා. එහෙත්, වෙනත් වසර වලදී බක් පොහොය උදාවන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පවත්වන අප්‍රේල් මාසයේදීය. බක් මාසය සැණකෙළි මාසය ලෙස හැඳින්වේ. ගස්, වැල්, තුරු ලිය මලින් පිරී ඉතිරී ගොස් ය. කොවුල් නාදයෙන් මුළු පරිසරයම වෙලී පවතී. අප්‍රේල් මාසය උදාවන්නට ඇත්තේ තව දින දෙකක් පමණකි.

අප තථාගත බුදුපියාණන් වහන්සේ, ලෝක සත්වයාට සාමයේ පණිවිඩය පසක් කර දුන් වැදගත් අවස්ථාවක් හා ආදර්ශයෙන් ඔප්පු කළ ඉතා වැදගත් පොහොය දිනයකි, බක් පුර පසළොස්වක පොහෝ දිනය. බුදු රදුන් ලොවට බෙදා දුන් බෞද්ධ දර්ශනයේ පදනම හා මූලික හරය සාමය වටා ගෙතී ඇත. සතා සිව්පාවුනට පවා මෙත් පැතීම, පරපණ නැසීමෙන් වැළකී සිටිමින් අපගේ සිත් සතන් මෛත්‍රීය කරුණාව, ආදී ගුණයන්ගෙන් පෝෂණය කරන්නා වූ වැදගත් මාසයක් ලෙස බෞද්ධ ශාසන ඉතිහාසයේ බක් මාසය කැපී පෙනේ.

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණ සමුදාය පිළිබඳ වැදගත් අවස්ථාවක් ලෙස තථාගත බුදුපියාණන්ගේ ලංකා ගමන හැඳින්විය හැකි ය.

එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසමින් සිටි ගෞතම බුදුන් වහන්සේට, ශ්‍රී ලංකාවේ ඇතිවන්නට යන මහා ලේ වැගිරවීමක්, ව්‍යසනයක් පෙණුනි. චූලෝදර - මහෝදර දෙදෙනා නා රජුන් ය. ගොඩබිම හා මුහුදේ බලය මේ දෙපිරිස අතර බෙදී පැවතිණ. ගැටුම ඇතිවන්නට ආසන්නම හේතුව වූයේ මේ දෙපිරස අතර මිණිපළඟක් බෙදා ගන්නට ගොස් ඇතිවුණු පරස්පර විරෝධතාවයි. දෙපිරිසම මිණිපලගට ලොබ බැදගත්හ. අවසානයේ දෙපිලට අවි අමෝරා සටන් බිමට වන්හ.

නාග ගෝත්‍රිකයන්ට සිදුවන්නට යන මෙම විනාශය දුටු බුදුන් වහන්සේ බක් පුර පසළොස්වක පොහෝ දින, ශ්‍රී ලංකාවට වැඩම කොට වදාළ සේක. එම නිසා, ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයේ පූජනීය වැදගත් දිනයක් බවට මෙම බක් පොහොය දිනය වාර්තා විය. අද දින මාර්තු 29 වන සඳුදා බක් පොහොය සමරන්නට අප සැදැවතුන් බෞද්ධ පිරිස් දස දහස් ගණනින් වෙහෙර විහාරවල්වලට ගොස් තෙරුවන්ට ගෞරව කරති.

වංශකතාවල අනුව බක් පොහෝ දිනයේ දී චූලෝදර - මහෝදර මෙම ද්වන්ධ ගැටුම මැඩ පැවැත්වීම උදෙසා, ශ්‍රී ලංකාවේ උතුරු කරයේ යාපනය නගරය ආශි‍්‍රත නාගදීපයට බුදුරදුන් වැඩි බව පැවසේ. යාපනය ප්‍රදේශයේ නාගදීපය මේ නිසා බක් පෝය දින සිදු වූ මේ වැදගත් සිදුවීමෙන් වන්දනමානයට ලක්වන්නා වූ පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත.

අනුබුදු හිමි මහින්ද හිමිපාණන් පොසොන් දා, සිරිලකට වඩින්නට පෙර, ඇතැම් විට සිරිලක බුදුදහම තරමක් දුරට හෝ දක්නට ලැබෙන්නට ඇතැයි අපට සිතිය හැකි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී ලංකා ගමන් සිහිපත් කරන විට ය.

චූලෝදර - මහෝදර කතාව අපූරු කෙටි කතාවක් වැන්න. මහෝදරගේ බලය සාගරය දක්වා පැතිරී තිබිණි. කන්වඩමන් මහා පර්වතයේ නා රජුනට, මහෝදරගේ සොහොයුරිය විවාහ කර දෙයි. මොවුන් දෙදෙනාගේ පුත්‍ර රත්නය චූලෝදර නම් විය. චූලෝදරගේ සීයා සතුව වටිනා මැණික් පුටුවක් තිබිණි. චූලෝදරගේ සීයා මියයන්නට පෙර, ඔහුට අයත් මෙම අනර්ඝ මැණික් ඔබ්බවා නිම කරන ලද මෙකී වටිනා මැණික් පුටුව, මහෝදරගේ පුතුට නොදී, චූලෝදරගේ මෑණියන් වූ දියණියට පරිත්‍යාග කළේ ය. චූලෝදර - මහෝදර සටනට මෙය ප්‍රධාන හේතුවක් විය.

මෙම ගැටුම සමථයකට පත්කොට, සාමය උදාකිරීමේ අරමුණින් බක් පුර පසළොස්වක පොහොය දිනය බුදුන් වහන්සේ සමග මෙම ‘සාමදාන ගමනට’ දෙව්රම් වෙහෙරේ කිරිපලු රුක අරක්ගෙන, බාරව සිටිය සමිද්ධි සුමන දෙවියෝ ද සිරිලකට වැඩියහ.

ඔදවත්, තෙදවත්, ප්‍රතාපවත් අප බුදුරජාණන් වහන්සේ, බක් අව පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දරින් නාගදීපයට වැඩමකොට සටන් වැදි සිටි නාගයන් ඉදිරියේ ප්‍රථමයෙන්ම මහා අඳුරක් වවාලූහ. ඉන් මඳ වේලාවකින් පසුව, මහා ආලෝකයක් මවා පාමින්, අප තථාගත බුදුපියාණන් වහන්සේ නාග පිරිස් මැද තේජාන්විතව පෙනී සිටියහ. බුදුන් වහන්සේ දකින්නට සිත් සතන් පහන් කරගත් සටන්කාමීන් වූ චූලෝදර - මහෝදර නා පිරිස්, බුදු සිරිපා සිඹ ගනිමින් බුදු රදුන් සරණ ගියහ.

ඇතිවන්නට තිබුණු මහා යුද්ධයක් නතර විය. සිරිලකට සාමය උදා විය. බුදුදහම වැළඳගත් නා පිරිස අමතා පන්සිය පනස් ජාතකයේ කාකොලුක ජාතකය (269), එන්දන ජාතකය (467) ලටුකික ජාතකය (352) හා වට්ටක ජාතකය (388) ඇසුරෙන් සාමයේ අගය නාග ගෝත්‍රිකයන්ට පහදා දුන්නේ ය. මෙම දේශනාවලින් අපූරුවට පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ තැනට සුදුසු අන්දමට, ඉතා කාලෝචිත අයුරින් දහම් පණිවිඩය බෙදා දුන් වගයි.

ඔබ බොහෝ දෙනා මණිඅක්ඛිත නා රජු ගැන අසා ඇත. හේ, මහෝදර නා රජුගේ මයිලණුවන් ය. ඔහු ද කැලණියේ සිට මහෝදරට ආධාර පිණිස පැමිණ සිටියහ. බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවලට සවන්දීමෙන් බලවත් සතුටට පත්වුණු මනිඅක්ඛිත නා රජු, තමාගේ අණසක පවතින කැලණිපුර වරයට වඩින ලෙස බුදුපියාණන්ට ගෞරවයෙන් ආරාධනා කළේ ය.

බුදුන් වහන්සේගේ විචිත්‍ර ධර්ම දේශනාව අසා යුද්ධය ඉතා නිසරු මිනිස් ජීවිත නසන, ව්‍යසනයක් බව නාග ගෝත්‍රිකයෝ වටහා ගත්හ. සාමයේ අරුණළු පැතිරිණි. බුදුපියාණන් වහන්සේ පිළිබඳ කෙතරම් පැහැදීමකට පත් වූයේ ද යත්, නා පිරිස් සාමූහිකව කතිකා කරගෙන “මිණි පළඟ” බුදුපියාණන්ට පූජා කළහ. වංශකතාවල අනුව, අසූ කෝටියක් නාග සමූහය, තිසරණ පන්සිල්හි පිහිටුවාලීමෙන් පසුව, පාරිභෝගික චෛත්‍යයක් ලෙස වන්දනා කරන්නට කිරිපලු රුක හා මිණි පලඟ නාගයන්ට පරිත්‍යාග කරමින් සැවැත්නුවර දෙව්රම් වෙහෙරට යළි වැඩම කළ සේක.

වෛර බැඳ ගන්නේ නැතිව සමගියෙන් ජීවත්වීමේ වැදගත්කම බුදුපියාණන් වහන්සේ එදා අපට දුන් පණිවිඩයයි. මෙය අදට ද අප අනුගමනය කළ යුතු ය. වසර 30 ක කාලයක් දරුණු ත්‍රස්තවාදී ව්‍යයසනයේ අද රට මුදාගෙන ඇත. අද අපි සැවොම එකට අත්වැල් බැඳගෙන එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සතුටින් පිරි ලොවක් අපගේ අනාගත පරපුරට ලබා දෙමු. එදා බුදුරදුන් වදාළ සාමයේ පණිවිඩය මුළු සිරිලක පුරා පතුරුවා හරිමු. අද බක් පොහොය දිනය, එයට ඉතා යෝග්‍ය දිනයකි. තිලොවට තිලක වූ අපගේ අසම සම තථාගත බුදුපියාණන් වහන්සේගේ ගුණ සමුදාය අද වැනි බක්පෝය දිනයකදී සිහිපත් කිරීම ඉතා කාලෝචිත ය. අද දිනය මුළු සිරිලක පුරා සිල් සුවඳ විහිදෙයි. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, දහම්, සිතුවිලි, දිනය පුරාම විකාශනය කෙරේ. අදවන් බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී අපි බුදුගුණ සිහිපත් කරමු. බුදුරදුන්ගේ ධර්මයට අනුව අපගේ සිතුම් පැතුම් ද වර්ධනය කරගනිමු. ලොව බිහිවුණු අති විශිෂ්ට ජනනායකයෙක් වූ ඉන්දියාවේ ප්‍රථම අග්‍ර‍්‍රමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු දැක් වූ අදහස් කීපයකින් මෙම ලිපිය මම අවසන් කරමි.

වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය රජයන ලොවකට, බුදුන් වහන්සේ දුන් පණිවිඩය ඉතා වැදගත් ය. එය හිරුමෙන් ප්‍රභාෂ්වර ය.

බුදුරදුන්ගේ දේශනා අද ලොවට ඉතා වටිනා පණිවිඩයක් ගෙන දෙයි. යුද වැදී සිටින රටවල්වල ගිනි දැල් නිවාලන්නට බුදුරදුන්ගේ ධර්මය අමා වැස්සකි. වසර දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ දෙසා වදාළ සාමයේ පණිවිඩය අදට ද ගැළපෙයි. බුදුන් වහන්සේ දේශනා කළ ලොව සුවපත් කිරීමේ පණිවිඩය තුළින් ලෝක සාමය අපි උදා කරමු.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.