UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශෝකය දුරලන මරණ සතිය

නිවන් අවබෝධය රිසි මුත් නීවරණයෝ ඊට බාධා කරති. එනිසා පුහුදුන් තැනැත්තේ සුපුරුදු ජීවන සංග්‍රාමයෙහි ම නියැළෙයි. මෙලොව මානසික සුවයත්, පරලොව නිවන් සුවයත් අපේක්ෂා නොකරයි. ලැබූ ආත්මභාවය නිවැරැදි මගට නොගනියි. මරණානුස්සතිය වූ කලී, ජීවිතය, හැඩ ගස්වන, සුචරිතයට යොමු කරන, යථාර්ථය අවබෝධ කරවන, අදාළ යෝගාවචරයා අරමුණෙහි නිවැරැදි ව පිහිටුවන, සාර්ථක ප්‍රතිඵල සමීප කරවන භාවනාවකි.

රූපං ජරා පියතරං මලිනී කරොති සබ්බං බලං හරති අත්තනි ඝොර රොගො නානූප භොග පරිරක්ඛිත අත්තභාවං භො! මච්චු සංහරති කිං ඵල මතකභාවෙ“.

තෙල කටාහ ගාථා

නමැති පාලි පද්‍ය ග්‍රන්ථයෙහි එන මේ ගාථාව මරණානුස්සති භාවනාව සඳහා යෝග්‍ය වූ කමටහනකි. අජීව වස්තු සේ ම උපන්නා වූ අපි සැවො ම කෙදිනක හෝ මරණයට පත් වෙමු. සියලු කෙලෙස් නැසූ බුදු, පසේබුදු හා මහරහත් උතුමනට පවා මරණය සාධාරණ ය.

කැලණිතිස් නිරිඳුන්ගේ පවිටු සිත කෙතරම් බලවත් වී ද යත් රහත් තෙරණුවන්ව උණු තෙල් කටාරමක දැවෙමින් පිළිස්සෙමින් පිරිනිවන් පාන්නට සිදුවිය.

ඒ සා මහත් කායික දුක්ඛ වේදනා සම්භාරයකට මුහුණ පාමින්, තෙරණුවෝ පවිටු නිරිඳුන් සත් පුරුෂයකු කරනු වස් බණ වදාළහ. කැලණි රජමහ වෙහෙර හා බැඳි ඒ ඉතිහාසගත පුවත තේමා කරමින් පබැඳි බණ පොත තෙල කටාහ ගාථා ව යි.

පෙර කළ කම්දොස් නිසා කුරිරු වද වේදනා විඳිමින් තෙරණුවන් පිරිනිවන් පෑව ද එතුමන් එදා දුන් ධර්මෝපදේශ ගිහි පැවිදි අප කාගේත් දිවියට අබරණකි.

නිසරු සිරුර

පසිඳුරන් පිනවිය හැකි මේ සිරුර බෙහෙවින් පියකරු යැයි බහුතරයක ගේ අදහස වේ. එබඳු පියකරු සිරුර මොහොතින් මොහොත කිළිටි වෙයි. විරූපී වේ. දුර්වර්ණ වේ.

නිබඳ පිළිදැගුම් කළ යුතුය. පිරිසුදු කළ යුතු ය. එක් දිනක් සිරුර පිරිසුදු නොකළ හොත් එය තමන්ට ම පිළිකුලකි. සසර ගමනට ලැබුණු සිරුරේ ගති සොබාව එලෙස ය. කිළිටිවන සිරුර පිවිතුරු කරනු වස් ඉමහත් වෑයමක් කළ යුතු ම ය.

මහ ගොර බිරම් රෝ දුක් හටගත් කළ සිරුරේ සියලු බල බිඳෙයි. “එදාට නැත කය වලංගු - සිත වලංගු” යැයි කියන්නේ එහෙයිනි. ජරා මාරයා සේ ම ව්‍යාධි මාරයා ද අපට හානි ගෙනෙයි.

රෝහලක, ගිලන් හලක, මරුවා සමඟ පොර බදින ආතුරයකු ගැන ‍ෙමනෙහි කරනු මැනවි. බේත් හේත් සාත්තු සප්පායම් මනා උවටැන් නිසි පරිදි ලැබෙතත් එතැන ආතුරයාගේ අසරණකම පවසන්නට බසෙහි එන වදනු දු පමණ නොවේ. ‘සබ්බ බලං හරති - අත්තනි ඝොර රොගො’ යි තෙරුන් වදාළේ එහෙයිනි.

ජරා, ව්‍යාධි කොතරම් පැමිණියත් ඒවා වැළැක්වීමට බැහැර කරන්නට තමන් සන්තක ධන සම්පත්ති සෑහේ යැ’ යි අනුවණයෝ සිතති. ‘තමා වටා ඇති උපභෝග පරිභෝග සම්පත්ති, ධන ධාන්‍ය ගව මහිෂ, පුත්‍ර භාර්යා, ස්වර්ණ රත්න මුක්තාදී සම්පත්තීහු සදා රැකවරණය සලසති යැයි යමකු සිතත් ද එය අනරුත් සිතිවිල්ලකි.

කරජ කාය

ඒ සියලු සම්පත් තිබිය දී ආයු හෝ කර්මය හෝ ගෙවී යෑමේ දී නැතිනම් හදිසි අහඹු විටකදී හෝ මරුවා එතොත් අප ඊට අවනත විය යුතුම ය. සසරට බැඳුණු මේ කරජ කාය - පංචස්කන්ධ සංඛ්‍යාත ශරීරය - හැම විටම පංචනීවරණයන්ට හසුවෙයි.

නිවන් අවබෝධය රිසි මුත් නීවරණයෝ ඊට බාධා කරති. එනිසා පුහුදුන් තැනැත්තේ සුපුරුදු ජීවන සංග්‍රාමයෙහි ම නියැළෙයි. මෙලොව මානසික සුවයත්, පරලොව නිවන් සුවයත් අපේක්ෂා නොකරයි. ලැබූ ආත්මභාවය නිවැරැදි මගට නොගනියි.

මරණානුස්සතිය වූ කලී, ජීවිතය, හැඩ ගස්වන, සුචරිතයට යොමු කරන, යථාර්ථය අවබෝධ කරවන, අදාළ යෝගාවචරයා අරමුණෙහි නිවැරැදි ව පිහිටුවන, සාර්ථක ප්‍රතිඵල සමීප කරවන භාවනාවකි. දෘශ්‍යාධාර සහිත අධ්‍යයන කාර්යය, වඩාත් සාර්ථක වන්නේය. භාවනාවට ද එය ගැළපෙයි.

මරණානුස්සතියෙහි දෘශ්‍යාධාරය මෘත දේහය යි. අවමඟුලක් යනු උත්සවයක්, උළෙලක් නම් නොවෙයි. ඇතැමුනට එය පී‍්‍රති උත්සවයකි. නිවසක පන්සලක පාංශුකූල අවස්ථාවලදී මෘත දේහයට අවධානය යොමු කරමින්’ ධුවං මරණං - අද්ධුවං ජීවිතං’ මරණය නියතයි, ඒකාන්තයි, ජීවිතය අනියතයි - අස්ථිරයි කියා සිතිය යුතුය.

ජීවත් වැ සිටිය හැකි කාලය අල්ප ය. එම කාලය ද ආබාධ පීඩා පරිපූර්ණ ය. නුවණින් දිවි පැවැත්විය යුතු ය. කුසලයට සිත නතු කළ යුතු ය. උපන් තැනැත්තා අනිවාර්යයෙන් ම මිය යන්නේ යැ’ යි සිතිය යුතු ය.

පවාතදීප තුල්‍යාය යන මරණානුස්සති ගාථා පන්තිය මෙනෙහි කළ යුතු වන්නේ අරුත වටහා ගනිමිනි. පිරුවානා පොත් වහන්සේගේ උප ග්‍රන්ථයේ සඳහන් වන මෙම ගාථා, අපේ ආරාමවල සැඳෑ වත පිරිතට යොදා ඇත්තේ අප දිවි පෙවෙතට නව අවබෝධයක් එක් කිරීමේ අදහසිනි.

මහ සුළඟ හමන තැන තැබූ පහන වහා නිවෙයි. ආයු සන්තතිය ද වහා බිඳෙයි. උපත හා අත්වැල් බැඳගත් මරණය අවකාශය ලත්විට වහා ඉදිරිපත් වෙයි. උදය හිරු අවරගිරට යන ලෙසක් පෙනෙයි. උපතේ සිට විපතටත් එබඳු ගමනෙක් වෙයි.

විදුලි රේඛාව, දිය බුබුල, පිනි බිඳ හා දියෙහි ඇඳි ඉර අල්පායුෂ්ක වස්තූහු වෙති. හටගත් සැණින් නැසෙති. වැනැසෙති. මරුවා සතුරෙකි. අහසේ මුහුදේ සිටියද මරු වළකනු උගහට ය. මහ පිනැතියෝ ද මරු වසඟයට යති. මගපල නොලද අප ගැන කියනු කිම?

මියගියවුන් උදෙසා බෞද්ධ චාරිත්‍රානුකූල ව පංශුකූල වස්ත්‍ර පිරිනැමීම උතුම් කටයුත්තකි. විවිධ ආගම් අනුව සිදු කැරෙන සිරිත් ද ඉතා උතුම් ය. ඇතැම් තැනෙක බැනරවලින් ශෝකය සේ ම සංවේගය ද පළ කෙරේ. ආයතනීය නාම ප්‍රදර්ශනයට වඩා මරණානුස්සතියට ම මුල් තැන දීමට යත්න දැරේ නම් වඩාත් අගනේ ය. එබඳු ලිපි පුවරු මගින් ද භාවනාවට අවශ්‍ය පදනමක් ගොඩනගා ගත හැකි ය.

හද කම්පා කරවන විලාප, අදෝනා, දුක්ඛ දෝමනස්ස, ශෝකී ස්වර නින්නාදය අවමඟුල් පලක සාමාන්‍ය ලක්ෂණයකි. එබඳු පුහුදුන් සොබාව යටපත් කළ හැකි වන්නේ ද ධාර්මික මරණානුස්සති චින්තාවලියකිනි. මතක වස්ත්‍ර පූජාවක් අර්ථවත් ව සිදු කළ යුතු වන්නේ ද සියලු යහපත් අරමුණු සපුරා ගැනීමට ය. එබැවින් මරණානුස්සති භාවනාවට ලැදි යෝගාවචරයකු වීමට උනන්දු වීම ඔබ අප කවුරුත් විසිනුත් ඇතිකරගත යුතු උතුම් දැහැමි සිතිවිල්ලක් බව පවසනු රිසියෙමි.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]