UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකාය

විද්‍යෝදය පරිවේණාස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාවේ සද්ධර්මාචරිය උපාධි ප්‍රාරම්භ කොටසට අංගුත්තර නිකාය නියමිතය. ප්‍රාචීන, ප්‍රාරම්භ විභාගයටද එහි කොටසක් නියමිත වේ. දහම් දැනුම වර්ධනයටද අංගුත්තර නිකායේ ධර්ම කරුණු උපකාරී වේ. අංගුත්තර නිකායේ මුල සිට එන දහම් කරුණු සාරාංශ කර මෙසේ දැක්වෙන අතර අද පළ කැරෙනුයේ එම ලිපි මාලාවේ පළමුවන ලිපියයි.

ශ්‍රී සම්බුද්ධ වචනය නිකාය වශයෙන් පස් වැදෑරුම් වන බව පවසන බුද්ධඝෝෂ මාහිමියෝ “කථං නිකාය වසෙන පඤ්චවිධං? සබ්බ මෙව චෙතං දීඝනිකායො මජ්ඣිම නිකායො සංයුත්ත නිකායො අංගුත්තර නිකායො, ඛුද්දක නිකායොති පඤ්චප්පභෙදං හොති” යනුවෙන් එම නිකාය පස නම්, දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, හා ඛුද්ධක නිකාය නම් වන බව පවසති. ඒ අනුව පංච මහා නිකායන්ගෙන් සතරවන ග්‍රන්ථය වන අංගුත්තර නිකාය පිළිබඳව මෙහිදී අපගේ අවධානය යොමු කෙරේ. අංගුත්තර නිකාය, අංගුත්තරාගම, අ‍ෙධකාත්තරාගම, අංගුත්තර සගිය යනාදී සංඥානාම මෙම නිකාය ග්‍රන්ථයට යෙදේ. එය සූත්‍ර පිටකයේ සිවුවන ග්‍රන්ථයයි.

“නව සුත්ත සහස්සානි – පඤ්ච සුත්ත සතානි ච
සත්ත පඤ්ඤාස සුත්තානි - සධඛා අංගුත්තරෙ අයං”

එක් එක් අංගය වැඩිවීම් වශයෙන් සිටියා වූ චිත්තපරියාදාන සූත්‍රය මුල්කරගත් සූත්‍ර 9557 කින් අංගුත්තර නිකාය සමන්විතය. ඒක, දුක, තික ආදී නිපාත නාම වශයෙන් නිපාත 11 කි. බණවර 120 කි බුද්ධජයන්ති ත්‍රිපිටක මාලාවෙහි මෙම නිපාත එකොළොසම ග්‍රන්ථ 6 කින් සංග්‍රහ වන සේ මුද්‍රණය කර ඇත. ව්‍යවහාරයෙහි දක්‍ෂ වූ තථාගතයන් වහන්සේගේ සංඛ්‍යාත්මක දේශනා අංගුත්තර නිකායෙහි සංග්‍රහ කර ඇත. වෝහාර දේශනාවට ද යථානුලෝම ශාසනයට (අනේක අධිමුක්ති ඇති සත්ත්වයන්ට චාරිතානුකූලව උපදෙස්, මඟ පෙන්වීම් කරන හෙයින්) ද දෙසැටක් මිසදිටු බිඳින බැවින් දිට්ඨි විනිවෙඨන කථාවට ද අංගුත්තර නිකාය අයත් කෙරේ.

මෙහි අන්තර්ගතය ද විසිතුරු ය. සෑම සූත්‍රයකම ඇති පොදු ලක්‍ෂණය නම් සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් තිබීමයි. උදාහරණ – දුක නිපාතයේ සූත්‍රයක් මෙසේ ඇරැඹේ. “ද්වින්නාහං භික්ඛවෙ මිච්ඡාපටිපත්තිං න වණ්ණෙමි, ගිහිස්ස වා පබ්බජිතස්සවා” (මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත වර්ණනා නොකරමි) තික නිපාතයේ සූත්‍ර තීහි ධම්මෙහි සමන්තාගතො බාලො වෙදිතබෙබා (කරුණු තුනකින් සමන්විත බාලයා දැනගත යුතුයි) යනුවෙන් ඇරඹෙනු දක්නට හැකි ය. ඇතැම් සූත්‍ර මෙම ක්‍රමයෙන් පරිබාහිරවූවත් ඒ සෑම සූත්‍රයකම සංඛ්‍යාත්මක ප්‍රකාශයක් අන්තර්ගතය. අංගුත්තර නිකායේ ඇතුළත් විෂය මාතෘකා ද විචිත්‍ර ය. චාරිත්‍ර වාරිත්‍ර ආදී ශීලකථා, පිණ්ඩපාතිකංග ආදී ධුතංග ධර්ම, කසීණාදී කර්මස්ථාන, රාගා දී චරිත ලක්‍ෂණ, රූප, අරූප ධ්‍යාන විවරණ, ෂඩ් අභිඥා, ස්කන්ධ, ධාතු, ආයතන ඉන්ද්‍රිය, බල හා බොජ්ඣංග ධර්ම, චතුරාර්ය සත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය, සමථ විදර්ශනාදී භාවනා, අග්‍රස්ථාන ලැබූවන්, විවිධ පුද්ගල විවරණ, සදුපදේශ, රාජ ධර්ම, ජානපදික ධර්ම, නිග්‍රහස්ථාන, බුද්ධකාලීන ශාසනික පුවත් ආදී දැනුම් කරුණු රැසක්ම අංගුත්තර නිකායේ අන්තර්ගත වේ.

බුද්ධඝොෂාචාරීහු “අංගුත්තර නිකාය” සඳහා මනෝරථපුරණී නම් පාලි අට්ඨකථාව රචනා කරමින් එහි ඇති සුවිශේෂත්වය මෙසේ වර්ණනා කර ඇත.

“එකක දුකාදිපති මණ්ඩිතස්ස අංගුත්තරාගමවරස්ස
ධම්මකථික ප්‍රංගවානං විචිත්ත පටිභානජනනස්ස”

ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වහයෙන් අලංකාර වූ අංගුත්තරාගමයේ ධර්ම කථික උතුම් පුද්ගලයන්ට විසිතුරු ප්‍රතිභාන ජනනය කරන්නේ ය. හේතු උපමාදියෙන් සැරසුණු නානාවිධ දේශනා ඇතුළත් හෙයින් විචිත්‍ර ප්‍රතිභාන ජනනය අංගුත්තර නිකායෙන් මිස වෙනත් නිකාය ග්‍රන්ථයකින් සිදු නොවේ.

1. දීඝනිකාය කියවීමෙන් ශ්‍රද්ධාව වැඩිවේ.
2. මජ්ඣිම නිකාය කියවීමෙන් පරවාදමථනයෙහි දක්‍ෂකම ඇතිවේ.
3. සංයුත්ත නිකාය කියවීමෙන් විශේෂ ඥාන ප්‍රභේද ජනනය සිදුවේ.
4. අංගුත්තර නිකාය කියවීමෙන් විචිත්‍ර ප්‍රතිභා ජනනය වේ.

එකක නිපාතය

පළමු නිපාතයේ පළමු වර්ගය චිත්තපරියාදාන නම් වේ. සැවැත්නුවර ජේතවනාරාමයේ දී දෙසූ මෙම සූත්‍ර දහයම ස්ත්‍රී, පුරුෂ ඇල්ම පිළිබඳව කියවෙන්නකි.

1. මහණෙනි, රූප ගරුක පිරිමියේ සිත කුසලින් බැහැර කරවා සිටින මේ ස්ත්‍රී පුරුෂ බඳු අන් එකලු රූපයක් මම නොදකිමි. “ඉත්ථි රූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති”

2. ශබ්දගරුක පුරුෂයාගේ කුසල් සිත ස්ත්‍රී ශබ්දයෙන් පැහැර ගනියි.
3. ගන්ධ ගරුක පුරුෂයාගේ කුසල් සිත ස්ත්‍රී ගන්ධයෙන් පැහැර ගනියි.
4. රස ගරුක පුරුෂයාගේ කුසල් සිත ස්ත්‍රී රසයෙන් පැහැර ගනියි.
5. ස්පර්ශ ගරුක පුරුෂයාගේ කුසල් සිත ස්ත්‍රී ස්පර්ශයෙන් පැහැර ගනියි.

මෙලෙසින් ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගරු කරන ඒවායෙහි ඇලෙන (පසිඳුරන් පිනවන) ස්ත්‍රියගේ කුසල් සිත ද පුරුෂයාගේ රූපයට ශබ්දයට, ගන්ධයට, රසයට හා ස්පර්ශයට ඇලී සිටින බව ඊළඟ සූත්‍ර පහ මඟින් කියවේ. දෙවන නීවරණ ප්‍රහාණ වර්ගයේ දී පංච නීවරණයන් වැඩිදියුණු වීමට, පුන පුනා වැඩීමට, විපුලත්වයට පත්වීමට හේතුවන කරුණු මොනවාදැයිදැක්වේ.

1.සුබ නිමිත්ත – කාමච්ඡන්දය උපදවයි. ඉපදුණු කාමච්ඡන්දය වැඩිදියුණු කරයි.
2. පටිඝනිමිත්ත – ව්‍යාපාදය උපදවයි. උපන් ව්‍යාපාදය දියුණුකරයි.
3. අරති (දුරසෙනසුන්හි නොඇලීම හෝ අධිකුශල දහම්හි නොඇලීම) තන්දි (අලස බව) විජම්භිකා (ඇඟමැලි කැඩීම) භත්ත සම්මදො (බත් මත) චෙතසො ච ලීනත්තං (සිතේ හැකිළුණු බව) යන කරුණු ථීනමිද්ධය උපදවයි. වැඩිදියුණු කරවයි.
4. සිතේ නොසන්සුන් බව (චෙතසො අවුපසමො) උද්ධච්ච කුක්කුච්චය උපදවයි, වැඩිදියුණු කරවයි.
5. නුනුවණින් මෙනෙහි කිරීමෙන් (අයොනිසො මනසිකාරො) විචිකිච්ඡාව උපදවයි, වැඩිදියුණු කරවයි.

1. අසුබ නිමිත්ත – කාමච්ඡන්දය නූපදවයි. උපන් කාමච්ඡන්දය ප්‍රහීණ කරයි.
2. මෛත්‍රී සිත (මෙත්තා චෙතො විමුත්ති) ව්‍යාපාදය නූපදවයි. උපන් ව්‍යාපාදය ප්‍රහීණ කරයි.
3. අරඹන වීර්ය වූ ආරම්භ ධාතුව, කුසීත භාවයෙන් නික්මුණු නික්කම ධාතුවෙන් ද බාධක මැඩ තම කාර්යයෙහි ඉදිරියට යවන පරක්කම ධාතුවෙන් ථීනමිද්ධ නූපදියි. උපන් ථීනමිද්ධ ප්‍රහීණ වේ.
4. සන්සුන් සිත – උද්ච්ච කුක්කුච්ච නීවරණය නූපදවයි. උපන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහීණ වේ.
5. නුවණින් මෙනෙහි කිරීමෙන් – විචිකිච්ඡාව නූපදියි.

උපන් විචිකිච්ඡාව ප්‍රහීණ වේ.

කාමච්ඡන්දාදී නීවරණ ප්‍රහාණය කිරීම සිල්වතාගේ ලක්‍ෂණයක් බව තික නිපාතයේ දී වච්ඡගොත්ත පිරිවැජියාට බුදු හිමියෝ දේශනා කළහ. සිල්වතා ‘පංචංග විප්පහීණෙ පංචංග සමන්නාගතො’ අංග පසක් ප්‍රහීණ වූයේ අංග පසකින් යුක්ත වූයේ වේ. ප්‍රහීණ වූ අංග පහනම් ඉහතකී නීවරණ පහයි. අශෛක්‍ෂ වූ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඤාණ දර්ශන යන ස්කන්ධ පහෙන් යුක්ත වූයේ ද වේ.

තෙවැනි අකම්මනීය වර්ගය වැඩූ සිත (භාවිතං චිත්තං) සහ නොවැඩූ සිත (අභාවිතං චිත්තං) පිළිබඳව කියැවෙන සූත්‍ර 10 කින් යුක්තය. භාවනා කිරීම් ආදී වශයෙන් වැඩූ සිත කර්මණ්‍ය වේ. මහත් අර්ථය පිණිස පවතී. වඩන ලද විදර්ශනාදිය අරමුණු කර පහළ වූ සිත මහත් අර්ථය පිණිස පවතී. බහුල කොට වැඩූ සිත මහත් අර්ථය පිණිස පවතියි. බහුල කොට වැඩූ සිත සැප පිණිස පවතියි. නොවැඩූ සිත අකර්මණ්‍ය වේ. මහත් අනර්ථය පිණිස පවතියි. එමෙන්ම නොවැඩූ සිත දුක් ගෙන දෙයි. (අභාවිතං චිත්තං අබහුලීකතං දුක්ඛාවහං හොති)

සතර වන අතත්ත වග්ගය ද සිත පිළිබඳව කියැවෙන්නකි.

1. අදත්ත (නොදැමුණු සිත) – මහත් අනර්ථයට හේතු වේ.
2. අගුත්ත (සති සංවරයෙන් ගෝපනය නොකළ) සිත – මහත් අර්ථනයට හේතු වේ.
3. අරක්ඛිත (නොරැකි) සිත – මහත් අනර්ථය පිණිස පවතී.
4. අසංවුත (සංවර නොකළ) සිත – මහත් අනර්ථය පිණිස පවතී.

දාන්ත, ගත්ත, රක්‍ෂිත,සංවර වූ සිත මහත් වූ අර්ථය යහපත පිණිස ම පවතින බව එහිදී කියැවේ.

පස්වන සූක වග්ගය උපමා සහිතව සිතේ ස්වභාවය පෙන්වාදෙන ධර්ම කරුණුවලින් යුක්ත වූවකි.

මතු සම්බන්ධයි


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]