UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන යතිවරයාණෝ

සිය පිය පාර්ශ්වයෙන් උරුම වු තෙලිතුඩෙන් සිතුවම් මැවීමට කුඩා කල සිට මේ කුමරුවා ආභාෂය ලැබීය. පසුව උතුම් චීවරයට දිවිය පූජා කරමින් සසර ගමනේ පෙරුම් පුරන්නට මේ කුමරුවාට අදහස් පහළ විය. ඒ අනුව පරකඩුව මෙනේරිපිටිය ශ්‍රී සුදර්ශනාරාමයේදි පැවිදි බිමට පත් විය. ඒ, ඉඹුලපිටියේ මේධානන්ද යන නාමයෙනි

යම් භාෂාවකින් කැරෙන සන්නවේදනය එම බස දත් ජනයාට මෙන්ම බස උගත් පිරිසට පමණක් සීමා වෙයි. එහෙත් තෙලිතුඩෙන් මැවෙන උසස්, සිතුවම හා දෑතින් ඇඹෙනා ප්‍රතිමාව භාෂා සීමා ඉක්මවන විශ්ව සන්නිවේදන මාධ්‍යයක් වී ලොව අමතනු නොඅනුමානය.


දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

එසේ තමන් වහන්සේගේ කාලය ශ්‍රමය ඇප කැප කරමින් තෙලිතුඩෙන් අගනා සිතුවම් මෙන්ම දර්ශනීය ප්‍රතිමා නිර්මාණය කරන යතිවරයන් වහන්සේ නමක් පසුගියදා හමුවිය.

උන් වහන්සේ නමින් ඉඹුලපිටියේ මේධානන්ද හිමියන්ය.


කළුබෝවිල හත්බෝධි රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඉඹුලපිටිය යනු සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කුරුවිට බටතොට පිහිටි සුන්දර ගම්මානයකි. ඉඹුලපිටියේ විසු ඩබ්ලිව්. ඇසිලින්නෝනා සහ ඩබ්ලිව්. ඒ ගුණවර්ධන දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස පින්වත් කුමරකු උපත ලැබීය. ඒ සොයුරු සොයුරියන් පස් දෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවා ලෙසය. ඒ 1972 දීය.

එම දරුවා ආදරණීය මවුපියන්ගේ් සෙනෙහස ලබමින් ඇති දැඩි වෙමින් බටතොට මහවත්ත කන්ද කනිටු විදුහලෙන් අකුරු කරවීය. කෙමෙන් කාලය ගත විය. දිවි ගමනේ අට වන වියේදි තම ආදරණීය මවු මෙලොවින් සමු ගත්තාය.

සිය පිය පාර්ශ්වයෙන් උරුම වු තෙලිතුඩෙන් සිතුවම් මැවීමට කුඩා කල සිට මේ කුමරුවා ආභාෂය ලැබීය. පසුව උතුම් චීවරයට දිවිය පූජා කරමින් සසර ගමනේ පෙරුම් පුරන්නට මේ කුමරුවාට අදහස් පහළ විය. ඒ අනුව පරකඩුව මෙනේරිපිටිය ශ්‍රී සුදර්ශනාරාමයේදි පැවිදි බිමට පත් විය. ඒ ඉඹුලපිටියේ මේධානන්ද යන නාමයෙනි.ඒ වයසින් දොළොස් වන වියේ දී ය.


ඇමරිකාවේ නිව්ජර්සි බෞද්ධ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

පුස්සැල්ල චේතියගිරි පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ මේධානන්ද හිමියෝ ඇහැළියගොඩ ශ්‍රී සුමන පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.

ඒ අතරතුර උන් වහන්සේගේ පියාද මෙලොව අතහැර ගියේය.

මේධානන්ද හිමියන් 1997 දී ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත් වුයේ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමටය. එහිදී උන්වහන්සේ පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරූහ.

ඒ සරසවි අධ්‍යාපනය ලබන අතරතුර මේධානන්ද හිමි ‘පාරමී’ නමින් ඒක පුද්ගල චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක්ද පැවැත්වීය. උන් වහන්සේ 1997 දී අධිසිල් ලැබූහ. චිත්‍ර විෂයක් ලෙස හැදෑරූ මේධානන්ද හිමි පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේදි පවා තොරණ කීපයක බුදුසිරිත ඇසුරෙන් සිතුවම් නිර්මාණය කළේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කීප දෙනකුගෙන්ද නිතර උපදෙස් ලබමින් සිතුවම් කලාවට දැක් වූ උනන්දුව තව තවත් වර්ධනය කර ගත්හ. කැලණි විශ්වවිද්‍යාලයානු බද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද හැදෑරූහ.

මෙරට විහාරාරාම කීපයක සම්බුද්ධ මන්දිර කීපයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමටත්, ඇතැම් සම්බුද්ධ මන්දිර තුළ අගනා සිතුවම් නිර්මාණය කිරිමටත් මේධානන්ද හිමියන්ට හැකි වූ බව උන්වහන්සේ පවසති.


ඉඹුලපිටියේ මේධානන්ද හිමි

ගල් කුඩු, හුණු, වැලි බදාමයෙන් නෙත් සිත් පහන් කරවන අතීත හෙළ කලා කරුවාගේ අගනා කලා නිර්මාණවලට උරුමකම් පාමින් එසේ නෙලු බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳ මේධානන්ද හිමියන් දැක්වූ අදහස් මෙසේය.

පුත්තලම මුරුක්වටවන රජමහා විහාරයේ අඩි 14 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ පදනම ඇතුළත සමාධි ප්‍රතිමා වහන්සේ කිරුළපන බුද්ධ ප්‍රතිමා වහන්සේ, මාතර මෙත්තා පදනමේ අඩි 7 ක් උසැති කැටයම් සහිත සාරානාත් අනුරුව, පිළියන්දල ශාන්ති විහාරයේ අඩි 34 ක් උසැති හිටි ප්‍රතිමා වහන්සේ, දෙහිවල පුණ්‍යවර්ධනාරාමයේ අඩි 14 ක් උසැති ප්‍රතිමා වහන්සේ දෙහිවල හත්බෝධි විහාරයේ අඩි 18 ක් උසැති ප්‍රතිමා වහන්සේ සහ ඇමරිකාවේ නිව්ජර්සි බෞද්ධ විහාරයේ අඩි 29 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට හැකිවුනා.

ඒ ඒ ප්‍රතිමා නිර්මාණයන් හිදී හෝ විහාර කර්මාන්තයන් හි සිතුවම් නිර්මාණයේදී ඒ ඒ ප්‍රදේශවල වෙසෙන ආගමික ලැදියා ඇති තරුණයන් දෙතුන් දෙනකුගේද අත් උදව් ලබා ගන්නවා. ඒ වැලි බදාම අනාගැනීම් ආදියටයි. කලා නිර්මාණ සඳහා අධික මිල මුදල් වැය වුනද ඉතා සහනදායි මුදලකට අදාළ නිර්මාණ ඉදිකැරදීමට ඉදිරිපත් වුනා.

තෙලිතුඩෙන් මවන සිතුවම් මෙන්ම පිළිම නිර්මාණ කලාව පිළිබඳව අනාගත පරපුරටද කියාදීම උන් වහන්සේගේ අපේක්ෂාවයි. ඒ වෙසෙසින්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන හිමිවරුන් වෙතය. කලා කටයුතුවල නියැලීමට භූමියක් නැති අපහසුව ගැන ද උන් වහන්සේ පවසති.

ගල් කුඩු, වැලි හුණු බදාමයේ එකතුවෙන් මෙත්, කුළුණු ගුණ ඔප් නැංවෙන ප්‍රතිමා වහන්සේ නිර්මාණය කැරෙන ඉඹුලපිටියේ මේධානන්ද හිමියන්ගේ කුසලතා දෙස් විදෙස්හි එළිදැක්වීමට තවත් ශක්තිය ලැබේවා.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]