Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආර්ය උපෝසථ සීලය

අභිධ්‍යා හෙවත් විෂම ලෝභය සිත කිලිටි කරන බැවින් චිත්ත උපක් ලේශයකි. මෙය මුලෝච්ඡින්න කිරීමට මූලික ආධාරකයක් වන්නේ උපෝසථ සීලයයි. ව්‍යාපාදය හෙවත් නව විධ ආඝාත වස්තුවෙන් සිත දූෂණය වීම මහාකාරුණික මෛත්‍රී මූර්ති බුදුරජාණන් වහන්සේගේ ලොවුතුරු ගුණ සිහි කිරීමෙන් සන්තානයෙන් බැහැර වේ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කථංච විසාඛෙ අරියොපොසථො හොති
උපකකිලිට්ඨස්ස විසාඛෙ චිත්තස්ස
උපක්කමෙන පරියොදපනාහොති.

කථංච විසාඛෙ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස
උපක්කමෙන පරියොදපනාහොති.
ඉධ විසාඛෙ අරියසාවකො තථාගතං
අනුස්සරති. ඉතිපිසො භගවා අරහං සම්මා
සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ
ලෝකවිදූ අනුත්තරෝ පුරිස දම්මසාරථි සත්වා
දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
තස්ස තථාගතං අනුස්සරතො චිත්තං
පසීදති.
පාමුජ්ජං උප්පජ්ජති. යෙචිත්තස්ස උප
කකිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති
විසාඛෙ අරියසාවකො බ්‍රහ්මුපොසථං උපව
සති. බ්‍රහ්මුනා සද්ධිං සංවසති. එවංඛො
විසාඛෙ
උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන
පරියොදපනාහොති.

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපෝසථසීලය සත්වයන්ගේ අභිධ්‍යාදී උපක්කිලේශයන් ක්‍රමයෙන් නැතිකොට චිත්ත සන්තානය පිරිසුදු කිරීමට උපයෝගිවන ආකාරය විශාඛෝපෝසථ සූත්‍ර ධර්ම දේශනාවෙන් පෙන්වා වදාළ සේක.

බුද්ධ පූර්ව වෛදික යුගයේ පටන් භාරත සමාජය තුළ පැවති උපෞශථ ව්‍රත සමාදානය අග්නි දේව පූජා යාගයක් වශයෙන් බ්‍රාහ්මණ ආගම සන්තාන ගතකිරීමට මහෝපකාරී විය. චන්ද්‍ර මාසය අනුව පසළොස්වක අමාවක දිනවල යජමානයා ඉතා පවිත්‍රව නියමිත ස්ථානයේ ශුද්ධ ගිනිදල්වා ව්‍රත සමාදානයෙන් චිත්ත පාරිශුද්ධත්වය අපේක්ෂා කෙරේ. දේවත්වය නම් චිත්ත පාරිශුද්ධත්වයේ උපරිම ප්‍රතිඵලය බවත් එම දෙවියන් සමග වාසය කිරීම මනුලොවදී කරණ අග්‍රතම පුණ්‍යඵලය බවත් වෛදික මිනිසුන්ගේ විශ්වාසයයි. මේ නිසා වේද හා ජෛන ආගම් දෙකේම උපවස්ථය පිළිබඳ සිරිත් විරිත් රාශියක් පවත්නා අතර ශරීර සත්කාර හෙවත් අබ්‍රහ්ම චරියාවෙන් බැහැරව පෝෂධ ශාලාවල වේද ගීතිකා ගායනා කරමින් වසකට එක්දිනක් හෝ දෙදිනක හෝ සාධු ජීවිතය ගත කරනු ලැබේ.

බුදුරජාණන්වහන්සේ භාරතීය ජනසමාජය විසින් සාධු සම්මත චාරිත්‍ර බෞද්ධ පරමාර්ථයට යෝග්‍ය පරිදි අනුදැන වදාළ සේක. මනුලොව බෝසත් උතුමෙකුª පහලවනවිට වෙනත් කාලවලට වඩා උතුම් චාරිත්‍ර පිළිබඳව දර්ශන පිළිබඳව අවබෝධයක් සුචරිතයට නම්‍යතාවයක් පූර්ව බුද්ධි ප්‍රබෝධයක් විමුක්තිය පිළිබඳව අපේක්ෂාවක් ජන සන්තානය තුළ ඇතිවීම ස්වාභාවිකය. උපෝසථ සීලයත් දිව්‍ය සම්පත් ප්‍රතිලාභයත් නිර්වානගාමී ප්‍රතිපදාවත් එකිනෙකට සංකලනය කොට මෙම උපෝසථ සීලයේ උදාරබව බුදුරදුන් විසින් සූත්‍ර රාශියකම විස්තරව දක්වා ඇත.

කාමභෝගීව ගතකරන ගෘහස්ථයන්ට අෂ්ටාංග සීලයත් භික්ෂූන්ට ප්‍රාතිමෝක්‍ෂ උදෙසීමත් දක්වා ඇත්තේ නිර්වාන මාර්ගයට අනුගත වීමක් වශයෙනි. මාසයේ චාතුද්දසී, පණ්ණරසී, අට්ඨමී යන දිනවල උපෝෂථ සීලය සමාදන්ව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීමෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වන්නේය.

චිත්ත විශෝධනය කරණ කර්මස්ථානයක් වශයෙන් ආර්ය උපෝසථය අභිජ්ඣාදී උපක්කිලේශ ධර්මයන් ක්‍රමයෙන් පරිශෝධනය කරන්නට හැකි වන්නේය.

ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ලොව්තුරු ගුණ මහිමයන් මෙනෙහි කරන්නේය. එම වචනයක් පාසා මුවින් පිටවන විට චිත්තක්ෂණයන් තුළ ප්‍රසාදය, ප්‍රමෝදය, ශ්‍රද්ධාව ඇතිවන විට ක්‍රමයෙන් උපක්කිලේශයන් තදංග වශයෙන්, වික්ඛම්භන වශයෙන් පහවී යන්නේය. මෙය බ්‍රහ්ම උපෝසථය හෙවත් බුදුන් සමග වාසය කිරීම නම් වූ උත්තමතම වාසයයි.

අභිධ්‍යා හෙවත් විෂම ලෝභය සිත කිලිටි කරණ බැවින් චිත්ත උපක් ලේශයකි. මෙය මුලෝච්ඡින්න කිරීමට මූලික ආධාරකයක් වන්නේ උපෝසථ සීලයයි. ව්‍යාපාදය හෙවත් නව විධ ආඝාත වස්තුවෙන් සිත දූෂණය වීම මහාකාරුණික මෛත්‍රී මූර්ති බුදුරජාණන් වහන්සේගේ ලොවුතුරු ගුණ සිහි කිරීමෙන් සන්තානයෙන් බැහැර වේ. එමෙන්ම එම දශ ආඝාත වස්තුවෙන් සිතේ චණ්ඩබව ලක්ෂණ ඇති ක්‍රෝධයද එය කාලාන්තරයක් පැවතීමෙන් බද්ධ වෛරයද හෙවත් උපනාහයද, ගුණමකුකම තමා හා අනුන් සමකොට සිතීමේ පළාසය, ඊර්ෂියාව, මසුරුකම, මායාව, කපටිකම සිතේ තදබව සාරම්භය හෙවත් තරගකාරී ක්‍රියාව, මාන්නය, මදය, ප්‍රමාදය යන සොළොස් චිත්ත උපක්කිලේශ ධර්මයන් බුදුගුණයෙන් පරිශෝධනය වන්නේ ය.

බෝධිසත්ත්වයන් වහන්සේ සසරදී බෝසත් ජීවිත ගත කරද්දී මෙම උපෝසථ සීලය ආරක්ෂා කොට පුරුදු කරන ලද ත්‍රිවිධ ශික්ෂාවෙන් ලොව්තුරා බුදුබව ලබාගත්තා සේම අපමණ සත්ත්වයන්ට එය ලබා ගැනීම සඳහා විවිධ උපමා නිදර්ශන ගෙනහැර දක්වමින් විස්තර කර වදාරණ සේක.

යම් සේ රන්කරුවා විවිධ ලෝහ වර්ගවලින් කිලිටි වූ රත්තරන් උණුකිරීම සේදීම, පිරිමැදීම, පෙරීමාදියෙන් පවිත්‍ර කර කාර්යට යෝග්‍ය කර ගන්නා සේ නිර්වානගාමී ප්‍රතිපදාවට පිළිපන් යෝගාවචරයා බුද්ධ, ධම්ම, සංඝ සීල ත්‍යාග සිහිපත් කොට චිත්ත සන්තානයේ දීර්ඝ කාලයක සිට පවත්නා අභිධ්‍යාදී උපක්කිලේශ ධර්මයන්ගෙන් දූෂණය වන ඒ නිසාම නිවන් මගට අකර්මන්‍යවන සිත පවිත්‍ර කර ගන්නේය.

සෙය්‍යථාපි විසාඛෙ උපකිලිට්ඨස්ස වත්‍ථස්ස උපක්කමෙන පරියොදපනාහොති. උසුමංච පටිච්ච ඛාරංචපටිච්ච ගොයමංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච.

කිලිටි වස්ත්‍රයක් පවිත්‍ර කිරීමට සබන් ආදී ද්‍රව ඇපිල්ලීම සේදීමාදී ව්‍යායාමයක් අවශ්‍ය වන අතර එයින් වස්ත්‍රයෙන් අපවිත්‍ර ක්‍රමයෙන් ඉවත්ව පවිත්‍රවන්නා සේම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම යයි කියන ලද බුදුරදුන්ගේ ගුණ සිහිකිරීම් නමැති බුද්ධානුස්සති කර්මස්ථානය, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති කර්මස්ථාන වලින් චින්ත සන්තානය පවිත්‍ර කර ගන්නේය.

පභස්සරමිදං චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපකකිලිට්ඨෙහි උපකකිලිටඨං ‘ යනුවෙන් දක්වා ඇති බුදුවදන් අනුව සිත ප්‍රකෘතියෙන් පවිත්‍රවුවද ආගන්තුකව පැමිණෙන උපක්කිලේශයන්ගෙන් සිත දූෂණ වේ. ආර්ය ගුණයට පැමිණීම සඳහා පූර්ව ප්‍රතිපදාව සපුරන්නා සපරියාප්තික නවලෝකෝත්තර සද්ධර්මය සිහි කරයි. ‘තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති පාමුජ්ජං උප්පජ්ජති යෙ චිත්තස්ස උපකකිලෙසා තෙ පහීයන්ති’. ආදී වශයෙන් දේශිත පරිදි එම ධර්ම උපෝසථය නිසා සිත උපක්කිලේශයවන්ගෙන් පරිශුද්ධ වී ආර්ය ප්‍රතිපදාව සම්පූර්ණ වන්නේය. මෙසේ තමන් එක් දිනක ආරක්ෂා කරණ උපෝසථ අෂ්ටාංග සීලයේ ආනිශංස ඉමහත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

දිවි ඇතිතෙක් ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගෙන් වෙන්ව උපෝසථ අෂ්ටාංග සීලය ආරක්ෂා කොට චිත්ත සන්තානය උපක්කිලේශයන්ගෙන් පිරිසුදු කිරීමෙහිලා නිරතව අප්‍රමාද වන්නේ නම් එයින් ලබන මහානිශංසය සත්රුවණ සපිරි අංග මගධාදී සොළොස් මහා ජනපද අධිපතිකමට වඩා, සක්විති රජ සම්පතටත් වඩා සිය දහස් ලක්ෂ ගුණයෙන් වටනේය. එමෙන්ම සක්විති රජකමට තබා දෙව්සම්පතවත් එයින් ලබන ආනිශංස ඵලයට අංශු මාත්‍රයකිනිදු සමාන කළ නොහැක්කේ ම ය. මෙතරම් අසිරිමත් මහානිශංසදායක උපෝසථ සීලය ආරක්ෂා කොට ලබාගත් මනුකයෙන් අර්ථ සිද්ධියක් සිදුකර ගැනීමට උත්සාහ ගත යුතුය.

කිකීව අණ්ඩ චමරීව වාලධිං
පියං ව පුත්තං නයවංව රක්කං
තථෙව සීලං අනුරක්ඛ මානකා
සුපෙසලා හොථ සදාසගාරවා

තෙරුවන් සරණයි !


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.