Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙව්රම් වෙහෙරේ මහමායා පෙරහර

දස පෙරුම් දම් පුරා ලොවුතුරා සම්මා සම්බුදු පදවිය දැරීමට පුණ්‍යවන්ත බුදුපුත් රුවනක් මෙලොවට බිහි කළ සුදොවුන් මහරජතුමා සහ මහමායා දේවිය බෞද්ධ ශාසන ඉතිහාසයෙහි මහත් ගෞරව පෙරටුව අනුස්මරණය කළයුතු පුණ්‍යවන්ත මවුපිය දෙපළකි.


බෝධීන් වහන්සේ

බෞද්ධ ශාසන ඉතිහාසයේ එවන් පූජනීය වූ උත්තම උත්තමාවියන් සදා සිහිපත් කරමින් කළගුණ සැලකීම ජීවමාන බුදුරදුන් දවස පටන් සිදු කරගෙන එනු ලබන උදාර පුණ්‍ය ක්‍රියාවකි.

කළගුණ සැලකීමේ සත්පුරුෂ චාරිත්‍රය ගෞතම බුදුපියාණන් වහන්සේ ආදර්ශයෙන්ම ලොවට පෙන්වා දුන්හ.

නිවන් දුටු සුදොවුන් මහරජතුමා සහ මාතෘ දිව්‍ය රාජයා බොදුදන හදවත් තුළ සැමදා ගෞරවයෙන් සිහිපත් කිරීමෙන් කළගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය බොදු සමාජය තුළ තව තවත් වර්ධනය වේ.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

එම ගුණය පිළිපැදීමේ අරමුණෙන් පන්නිපිටියේ දෙපානම දෙව්රම් මහා විහාරයේ මහමායා පෙරහර මෙම 27 වනදා වීථි සංචාරය කැරේ.

සිදුහත් කුමරාගේ මවුපිය දෙපළ වෙනුවෙන් උත්තම උපහාර මහා පූජාව ලෙස එම මහමායා පෙරහර පැවැත්වෙන බව දෙව්රම් මහා විහාරයේ නිර්මාතෘ කොළොන්නාවේ සිරි සුමංගල අනුනා හිමියෝ පැවසූහ.

එම පෙරහර නිමිත්තෙන් මෙම 23 වනදා සිට 26 වන දා දක්වා මල් පෙරහරක් හා මාතෘ දිව්‍යරාජ ආශිර්වාද පූජාවක් ද පැවැත්වේ.

මහමායා පෙරහර පිළිබඳ කොළොන්නාවේ සිරිසුමංගල අනු නා හිමියන් දැක්වූ අදහස් මෙසේ ය.

සිදුහත් ගෞතම මහ බෝසත්තුමාණන්ට මනුලොව ඉපදීමට අවස්ථාව ලබා දුන්නේ මහමායා දේවිය සහ සුදොවුන් මහ රජතුමා ය.

අපේ ඇතැම් පෞරාණික විහාර බිතුසිතුවම්වල මහමායා දේවිය සහ සුදොවුන් මහ රජතුමා සිතුවමට නඟා තිබේ.


සම්බුදු මැඳුර

සිදුහත් කුමරා මෙලොවට බිහි වී සත් දිනකින් මහාමායා දේවිය කලුරිය කළාය. බුද්ධත්වයට පත් වීමෙන් පසු තව්තිසා දෙව්ලොව වැඩ සිටි මාතෘ දිව්‍යරාජයාට බුදුන් වහන්සේ අභිධර්මය තෙමසක් පුරා දේශනා කළහ.

සිදුහත් ගෞතම මහ බෝසත්තුමාට බුද්ධත්වයට සෙවණ දුන් බෝධීන් වහන්සේට ගෞරවෝපහාර දැක්වීම, එදා මෙන් අදත් සිදු කැරෙමින් පවතී. එමෙන්ම අපේ රටේ විවිධ කරුණු අරමුණු කර ගෙන වාර්ෂිකව විවිධ පෙරහර උත්සව පැවැත්වෙයි. එහෙත් මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් බෞද්ධ ජන සමාජයෙන් කළගුණ සැලකීමේ යුතුකම ප්‍රමාණවත් ලෙස ඉටු නොවන බව පෙනෙයි. අපෙන් ගිලිහී යා හැකි වගකීමක් නැවත ජන සමාජයට සිහිපත් කරදීමක් ලෙස දෙව්රම් විහාරය මගින් මෙම මහමායා පෙරහර ආරම්භ කරන ලදී.

දෙව්රම් වෙහෙර මගින් මහමායා පෙරහර ආරම්භ කර මෙවර පවත්වනුයේ තෙවන වරට ය. එහෙත් මහමායා පූජාව ආරම්භ කර දැනට වසර පහක් පමණ වෙයි. එය ආරම්භ කිරීමට නිමිත්ත වූයේ 2004 ඇති වූ සුනාමි උවදුරය.

මහමායා කුමරිය උපන් දඹදිව දෙව්දහ නුවරින් වැඩම වන ලද ශෛලමය මහමායා මාතෘ දිව්‍ය රාජ ප්‍රතිමාවක් දෙව්රම් විහාරයේ තැන්පත් කර තිබේ. එම ප්‍රතිමා වහන්සේ වෙත දිනපතා උදෑසන 8ට සහ රාත්‍රී 8ට පුද පූජා ද පැවැත්වේ. ප්‍රතිපත්ති පූජාවෙන් මාතෘ දිව්‍ය රාජයාට උපහාර කිරීමට සීල භාවනා වැඩ සටහන් ද සිදු කැරේ.

මහමායා පෙරහර නමින් පෙරහර ව්‍යවහාර වුවද සුදොවුන් මහ රජතුමා සහ මහමායා දේවිය සිහිපත් කරමින් එම පෙරහර පැවැත්වෙන බැවින් ‘බුදු පුත් මාපිය පූජා උපහාර පෙරහර’ නමින් එම පෙරහර පැවැත්වෙයි.


සීමා මාලකය

මෙලොව බිහි වූ කාන්තාවන් අතර අග්‍ර උත්තම කාන්තාව මහමායා කුමරිය යි. මහමායා දේවියගේ ගුණ ගැයෙන දේව ශාන්ති කර්මය ද සිදු කැරේ. මහමායා පෙරහරේදී බුදුරජාණන් වහන්සේට ගෞරව උපහාර ලෙස බුදු පෙරහර පළමුව සධාතුක කරඬුව පෙරටුව වැඩම කැරේ. එම කරඬුව භාරව සියක් නමක් පමණ මහ සඟරුවන ද වැඩම කරති.

සුදොවුන් පෙරහර අනතුරුව ගමන් කැරේ.

එමෙන්ම මහමායා පෙරහරේ කිරි අම්මාවරු 79 දෙනෙක් ගමන් කරති. මහමායා දේවිය සත් දිනකින් කලුරිය කිරීමෙන් පසු සිදුහත් කුමරා ඇතිදැඩි කරන ලද්දේ මහා ප්‍රජාපතී ගෝතමිය යි. පෙරහරෙන් අනතුරුව පසුවදා අලුයම එම කිරි අම්මාවරු සඳහා දානය පිරිනැමෙයි.

අලි ඇත්තු හතළිහක් පමණ ද මෙවර මහමායා පෙරහරට සම්බන්ධ වෙති. උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම් පනහක් පමණ මෙවර පෙරහරට සහභාගි වීමට නියමිත ය.

මෙම පෙරහර ‘මහමායා පෙරහර’ නමින් රට පුරා බොදු හදවත් තුළ මතකයේ රැඳවීම මෙහි ප්‍රධාන අරමුණකි. සිදුහත් කුමරා මෙලොවට බිහි කළ මෑණියන් වෙනුවෙන් මෙරට අනෙකුත් ගම් නියම්ගම්වලද මහමායා පෙරහර අනෙකුත් පෙරහර මෙන් ආරම්භ වුවහොත් ඒ මෙරට කෘතවේදී ජනතාව දක්වන උතුම්පූජෝපහාරයක් ලෙස සැලකිය හැකි ය.

ඡායාරූප - ජනක වෙත්තසිංහ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.