ධම්මපද සැහැල්ල - 10 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
41 අචිරං වතයං කායො පඨවිං අධිසෙස්සති,
ඡුද්ධො අපෙත විඤ්ඤාණො නිරත්ථං ව කලිංගරං![](z_p09-dhamma.jpg)
මේ සිරුර මෙලොව තුළ - පවත්නේ සුළු කලකි. විඤ්ඤාණයෙන් සිරුර – ඉවත් වූ
තැනේ සිට / මේ සිරුර වැඩක් නැති – පණක් නැති දර කඩකි. දිරා යන මේ සිරුර
පසට එක් වන්නේය.
හිතවතුනි, අප මෙලොව වසන්නේ සුළු කලකි. එම නිසා නුවණැතිව විසිය යුතු
වන්නේය. ඔබ මිය ඇදුනු පසුව ලොව හඬා වැටෙන සේ ලොවට වැඩ ඇති පරිදි - දිවි
ගෙවිය යුත්තේය.
42 දිසෝ දිසං යං තං කයිරා වේරි වා පන වේරිනං
මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ
හොර හිතක් හෝ වෛර සිතක් ඇති තැනැත්තා නිරතුරුව ලෝකයට විපත් සලසන්නේය.
වැරදි මිසදිටු දහම් අනුව යන තැනැත්තේ පව්කම් කරන්නේ ය. අපාගත වන්නේය.
හිතවතුනි, වැරැදි ලෙස ජීවිතය ගෙවන්නා ලෝකයට දුක් දෙවන අති දරුණු
ශාපයකි. වැරැදි මිසදිටු දහම් අනුව යන තැනැත්තා නියම පව්කාරයෙකි. තමාට ම
ශාපයකි.
43 නතං මාතා පිතා කයිරා අඤ්ඤේපි ච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ’ ති
මව, පියා හෝ වෙනත් නෑ කෙනෙක් අපේ හිත නිසි දහම් පිළිවෙතේ පිහිටුවා
ලන්නේ නෑ. නිසි දහම් පිළිවෙතින් සැනසුමක් ලැබෙනවා අපම එය අපේ සිත තුළ
වගා කළ යුතුය. හිතවතුනි, ගුණ දහම් වැඩෙන්නේ සිත තුළයි. ගුණ දහම් නැති
හිතට සැනසීම එන්නේ නෑ. පාපයෙන් දුරස් වී ගුණ දහම් වැඩෙන විට අපේ දිවියට
උසස් බව ළඟා වන්නේ ය.
|