Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙලොව දිවිය සුවපත් කරන දැහැමි මඟ

මිනිසාගේ ලෞකික ජීවිතයේ පරමාර්ථ රාශියක් තිබේ. අධ්‍යාත්මික හා බාහිර පරමාර්ථ ඒ අතර ඇත. ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සැම පුද්ගලයාගේම අරමුණයි. ඒ සඳහා නිරවුල් ජීවන දර්ශනයක් අවශ්‍ය ය. ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය. ගුණ ධර්ම පිළිබඳ සැලකිල්ලක් තිබිය යුතු ය. එවැනි පුද්ගලයෙක්

1. තිදොර සංවරකම
2. උත්සාහය
3. දැහැමිව සම්පත් ඉපැයීම
4. එම සම්පත් නිසි ලෙස පරිහරණය කිරීම ආදිය පිළිබඳ අවධානයක් ඇති කර ගනියි. ලෞකික ජීවිතයේ සාර්ථකත්වය එයයි. එම සාර්ථකත්වය තුළින් ලබන සැපය දිට්ඨ ධම්ම (මෙලොවදීම ලබන ) සුඛයකි. මෙලොවදීම එම සැපය විඳිය හැකි ය. බුදු දහම ඒ සදහා මඟ පෙන්වයි.

උට්ඨානවතො සතිමතො
සූචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති

දැහැමි ලෞකික සුව ළඟා කර ගැනීමට මෙම ගාථාව කදිම අදහසක් දෙයි.යම් යහපත් කටයුත්තක් අරමුණු කරගෙන එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත ගාථාවේ සඳහන් කරුණු උපකාර කර ගනී නම් එය සාර්ථක වෙයි. එම ගාථාවේ සඳහන් වන්නේ යසස වර්ධනය කර ගන්නා අන්දමයි.

එනම් උත්සාහය, සිහි නුවණින් වැඩ කිරීම, පිරිසුදු ක්‍රියාව, විමසා බලා වැඩ කිරීම, හික්මීම, දැහැමි දිවි පෙවෙතින් අප්‍රමාදීව කටයුතු කිරීම ආදිය නිසා පුද්ගලයාගේ යසස වර්ධනය වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ යසස වර්ධනය කර ගත හැකි ක්‍රියාවලිය යි. එහෙත් පුද්ගලයාගේ් අරමුණ විය යුතු වන්නේ, එයම නොවෙයි. ඔහුට තව බොහොමයක් අරමුණු මුදුන් පත් කර ගැනීමට තිබේ.

අධ්‍යාපනය , විවාහය නීරෝගීකම ඒ අරමුණු අතර වැදගත් වේ. මේ අංශවල අභිවෘද්ධිය සඳහාද ඉහත ගාථාවේ සඳහන් පිළිවෙත් අනුගමනය කළ යුතුය. එයින් ලබන ජය, දිට්ඨ ධම්ම සුඛයට හේතු වෙයි.

පඤ්ඤානුයාතං වීරියං වදන්ති
සබ්බත්‍ථ සිද්ධිග්ගහනග්ග හත්‍ථං

පඤ්ඤාවෙන් පිරුණූ වීර්ය, සියලු අභිමතාර්ථ සිද්ධ කරදෙයි. ප්‍රඥාව වීර්ය නිසා පුද්ගලයාගේ බලාපොරොත්තු සඵල වෙයි. එය, ජීවිතය සාර්ථක කර ගැනීමකි. දිට්ඨ ධම්ම සුඛයට හේතුවකි.

බුදු දහම පෙන්වා දෙන්නේ ධාර්මිකව වස්තුව සම්පාදනය කරගත යුතු බවයි. එය සාධාරණ සම්පාදනයකි. එම වස්තුව පරිභෝජනයෙන් අවංක තෘප්තියක් ලබා ගත හැකිය. ඒ බව

උට්ඨාන වීරියාධිගතෙහි
බාහාබල පරිචිතෙහි
සේදාවක් ඛිත්තේහි
ධම්මිකෙහි ධම්ම ලද්දේහි භෝගේහි

යන ගාථාවෙන් පැහැදිලි වෙයි. උත්සාහයෙන් කය වෙහෙසවා දහඩිය වගුරුවා, දැහැමිව, වස්තුව ඉපැයිය යුතු බව එම ගාථාවේ සඳහන් වෙයි. ඒ ආකාරයෙන් රැස් කර ගන්නා වස්තුව පරිභෝජනයෙන් ධාර්මික සුවයක් සැපයක් උදාවෙයි.

පුද්ගලයකුගේ ජීවිතයේ සාර්ථකත්වයට වීර්යයද ප්‍රබල සාධකයකි. එය දිට්ඨ ධම්ම සුඛයට හේතුවෙයි. ව්‍යාපාරික දියුණුවට, අධ්‍යාපනයට , ගොවිතැන් ආදි කටයුතු වලට වීර්ය අවශ්‍ය වේ. මෙවැනි කටයුත්තක් ආරම්භයේදී ඇති කර ගන්නා වීර්ය ආරම්භ ධාතු නම් වෙයි. යම් හෙයකින් වීර්ය නැති වූවා නම් එම කාර්ය ආරම්භ කළ නොහැකි ය. එය අසාර්ථක වෙයි.

ආරම්භ කළ කටයුත්ත ඉදිරියට පවත්වා ගැනීමට ද වීර්ය අවශ්‍ය ය. ක්‍රියාත්මක කිරීම නික්ඛම ධාතු වෙයි. ආරම්භ කළ කාර්ය කරගෙන යෑමේදී බාධක ඇතිවිමට පුළුවන. ඒවා මැඩ පවත්වා ගත යුතුය.

අභිමතාර්ථ සිද්ධ වන තුරු උත්සාහවන්ත විය යුතුය. එය පරක්කම ධාතු නම් වේ. මේ ත්‍රිවිධ වීර්ය සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට උපකාර වෙයි. ඒ සාර්ථකත්වයෙන් ලබන සැපය දිට්ඨ ධම්ම සුඛයට මගකි.

වීරියේන දුක්‍ඛං අචෙවන්ති

වීරියෙන් දුක නැති වන බව බුදු දහම පෙන්වා දෙයි. වීර්ය, දිට්ඨ ධම්ම සුඛයේ මඟ බව එයින් පැහැදිලි වේ.

අතිසීතං අතිඋණ්හං
අතිසායං විදං අහු
ඉති විස්සට්ටිය කම්මන්තා
අත්‍ථා අචෙචන්ති මාණවා

යන්නෙන් පැහැදිලි වන්නේ දැන් ශීතයි, දැන් උෂ්ණයි, දැන් සවසයි, ඛ්ය කියා තම වැඩ කටයුතු අතපසු කිරිම පිරිහීමට හේතුවක් බවයි. එසේ අලසව සිටීම සම්පත් අහිමි වීමට හේතුවකි. ධන සම්පත් අහිමිවීම සැපයට බාධාවකි. දුකට මඟකි. දිට්ඨ ධම්ම සුඛය අහිමිවීමකි. මිනිසුන්ට දෛනික අවශ්‍යතා තිබේ. ඒවා පියවා ගැනීමට ආදායම් අවශ්‍යය. රැකියාවක් කර හෝ ලබන ආදායම සම්පූර්ණයෙන්ම පරිභෝජනය සඳහා වියදම් නොකළ යුතුය.

එය අනුවණ ක්‍රියාවකි. ආදායම අංශ තුනක් කරා ගලා යෑමට සැලසුම් කළ යුතුය. ඒ බව බුදුදහම පෙන්වා දෙයි. එනම්

ඒකේන භෝගෙ භුඤ්ජෙය්‍ය
ද්විහි කම්මං පයොජයෙ
චතුත්‍ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති

යනුවෙනි. එක කොටසක් පරිභෝජන සඳහාය. කොටස් දෙකක් ආයෝජනය සඳහා ය. තව කොටසක් ආපදාවකදී ගැනීම සඳහාය. ආදායම වෙන්කිරීම පිළිබඳ බෞද්ධ විග්‍රහය එයයි. බුදුදහමේ සඳහන් මේ ආර්ථික චින්තනය වැදගත්ය. එය බාධක වලින් තොර ජීවන රටාවකට යහපත් වෙයි.

ආර්ථික ක්‍රියාවලිය තුළ අයවැයද බහුලව සිදුවේ. “සමං ජීවිකං කපෙපති

අය වැය සමව තබාගත යුතුය.” එය බුදුදහමේ ඉගැන්වීමයි. එය පීඩාකාරි නොවන නිදහස් ආර්ථිකයට රුකුලක් වනවා මෙන්ම දිට්ඨ ධම්ම සුඛයට මගකි.

ආදායමට වඩා වියදම ඉහළ නොයා යුතුය. එසේ වුයේ නම්, එය ණය ආර්ථිකයකි. පුද්ගලයා ණය බරින් මිරිකීම සැපයට බාධකයකි. අරපිරිමැසුම්දායක බවට ද හානියකි. දිට්ඨ ධම්ම සුඛය ළඟාකර ගැනීමටද නොහැකි ය.

මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු හතරක් පිළිබඳව දීඝජාණුකෝලිය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එනම්

උත්සාහය (සම්පත් බිහිකර ගැනීම සඳහා)
ආරක්ෂාව (සම්පත් රැක ගැනීම සඳහා)
කල්‍යාණ මිත්‍රත්වය (යහපත් ආශ්‍රය සඳහා)
සමජීවිකතාව (අයවැය සමව පැවතීම සඳහා )

මෙම කරුණු හතර පිටුපස ඇත්තේ ද සාර්ථකත්වයයි.

දිට්ඨ ධම්ම සුඛය යි.

අචරිවා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤවාව ඣායන්ති
ඛීණ මචෙව පලෙලලේ
අචරිවා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපාති ඛීණාව
පූරාණානි අනුත්ථූනං

යන ගාථාවලද සඳහන් වන්නේ දිට්ඨ ධම්ම සුඛය ළඟාකර ගන්නා මගකි. කෙනෙකු තම ජීවිතය ගත කළ යුතු අන්දම එහි සඳහන්ව ඇත. තමන් බ්‍රහ්මචාරියාව හෝ ධන උත්පාදනය හෝ තෝරා ගත යුතුය. කුමන හෝ මාර්ගයක් යහපත් අන්දමින් පවත්වාගත යුතුය. එය අසාර්ථක වූ විට දිය සිඳුන මසුන් ඉවර වූ විලක් අසල දුක්වන ලිහිණියකු මෙන් පසුතැවිලිවීමට සිදුවෙයි. ඒ වගේම ඉවත් කළ දුන්නක් මෙන් අතීතය ගැන සිහිකරමින් ශෝක වන්නටද සිදුවේ. එයින් ජීවිතය දුකට කරදරයට පත්වේ. පිරිහීමටද පත්වේ. ඒ ජීවන සැපය දුරස්වීමකි.

දුක සැප දෙකේ අන්තගාමීවීමද සැපය නැති කරන්නකි.

1. ශරීරයට අධික සැපදීම (කාමසුඛල්ලිකානු යෝගය)
2. ශරීරයට අධික දුක් දීම (අත්තකිලමථානු යෝගය)

පුද්ගලයා මේ අන්ත දෙකේ රැඳීම සුබවාදී නොවේ. තමාගේ පිරිහීමත් රෝගියකුවීමටත් මෙය රුකුලකි. යා යුතු මඟ හැටියට මැදුම් පිළිවෙත බුදුන් වහන්සේ දේශනා කළ සේක. එයින් මෙලොව පරලොව සැපවත් බව උදාවෙයි.

දිට්ඨ ධම්ම සුඛය ළඟා කිරීමට ධර්මානුකූල දිවිපැවැත්මද හේතුවෙයි. සිල්වත්වීම, පුණ්‍ය කටයුතු වල නිරත වීම තුළින් තම ජීවිතය දුසිරිත්වලට නොපෙළඹෙයි. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් අන්දමට

සුරා පානය
නොකල්හි වීදි සංචාරය
සීමා ඉක්මවා නෘත්‍ය දර්ශන නැරඹීම
සූදුව
පාප මිත්‍ර සේවනය
අලසකම

ආදි කාරණා වලින් වැළකීම සුචරිතවත් දිවි පැවැත්මට උපකාරී වෙයි. මේ නිසා තම ධනය ආරක්ෂා වෙයි. සෞභාග්‍ය සම්පන්න ජිවිතයක් උදාවෙයි. ඒ වාගේම පුද්ගලයා ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, බොරුකීමෙන් ආදි සතර කර්ම ක්ලේශයන්ගෙන් වෙන්වීමද සැපයට හේතුවකි. එයින් පුද්ගලයා පංච ශීල ප්‍රතිපදාවට යොමුවේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර වසල පරාභව සූත්‍රද අතිශයින් වැදගත් වෙයි. එම සූත්‍රවල සඳහන් කරුණු අධ්‍යයනය කිරීමෙන්ද පැහැදිලි වන්නේ පුද්ගල පාරිශුද්ධියට හිතකර කරුණු එහි අන්තර් ගත බවයි. ඒවා තම ජීවිතවලට සම්බන්ධ කිරීම ලෞකික ජීවිතයට ආශිර්වාදයකි. භවභෝග සැප සම්පත් වර්ධනයට හේතුවකි.

මේ කාරණා පිළිබඳ සලකා බැලීමෙන් පුද්ගලයා ගේ අධ්‍යාත්මික බාහිර දෙඅංශයේම දියුණුවක් උදා කරගත හැකි බව පෙනෙයි. පුද්ගලයා ලබන මෙම දියුණුව දිට්ඨ ධම්ම සුඛය අත්විඳින්නට හේතු වෙයි. මෙලොවදී ලබන එම සැපය පරලොවට ද වැඩදායක වන අන්දමට භුක්ති විඳීමට පුද්ගලයා වග බලා ගත යුතුය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.